1848 විමුක්ති සටනට තුඩු දුන් හේතු

1818 වර්ෂයේ සිදු වූ බ්‍රිතාන්‍ය විරෝධී අරගලයට පසු ලංකාවේ ඇති වූ එක ම හා අවසන් ආයුධ සන්නද්ධ අරගලය සේ සැලකෙන්නේ 1848 විමුක්ති අරගලය යි. මේ සඳහා හේතු සාධක වු කෙටි කාලීන හා දිගුකාලීන කරුණු කිහිපයක් හඳුනාගතහැකි වේ.

කෙටි කාලීන හේතු- 1818 ඌව වෙල්ලස්ස ප්‍ර දේශය මුල්කරගනිමින් ඇති වූ අරගලය නිල වශයෙන් ම නිමාවට පත් වූයේ සිංහල පාර්ශ්වයට අවාසි සහගත උඩරට ප්‍රකාශනය නම් ඒකපාර්ශ්වික ලියවිල්ල නිකුත්කිරීමත් සමගිනි.ඉංග්‍රීසීන් විසින් සිය මතය පමණක් සලකා නිකුත් කළ මේ ප්‍රකාශනය සමග උඩරට ගිවිසුම අහෝසි වූවා පමණක් නොව සිංහලයන්ට තවදුරටත් නිදහස හා තවත් වරප්‍රසාද ගණනාවක් ම අහිමි විය. මේ නිසා සිංහලයන් මේ සිදුවීමෙන් දශකයකටත් වඩා වැඩි කාලයක් යනතුරු ගතකළේ තරමක් නිහඬ ජීවිතයකි. තමන්ට අවැසි ප්‍රමාණයට පමණක් අවගාකරටයුතු සිදුකරමින් දෛනික ජීවිතය ගතකළ ඔවුන් ඉංග්‍රීසීන් සමග සබඳතා අඩු කළ බවක් පෙනී යයි. මේ නිසා 1818ට පසු ඉංග්‍රීසීන්ගේ ආදායම් තත්ත්වය ද අඩු විය. ලංකාවේ සාම්ප්‍රදායික කෘෂිකර්මයෙන් ඉංග්‍රීසීන්ට වාසි අත්නොවූ නිසාත් වාණිජ කෘෂිකරුමය කෙර් සිංහලයන්ගේ එතරම් නැඹුරුවක් නෙතිබූ නිසාත් එම තත්ත්වය උදාවිය. මේ නිසා ඉංග්‍රීසීන් 1833 කෝල්බෲක්-කැමරන් ප්‍රතිසංස්කරණ හරහා ලංකාවට විදෙස් ආයෝජකයින් ගෙන්වාගැනීමේ උත්සාහක නිරත විය. ඒ උදෙසා ලංකාවේ ආර්ථික හා පරිපාලන රටාවන් වෙනස් කළයුතු යැයි ඔවුන් තීරණය කළ නිසා ලාංකිකයින්ට තවදුරටත් පීඩාවට පත්වීමට සිදුවිය. විදේශීය වැවිලිකරුවන්ට යෝග්‍ය වන පරිදි ලංකාවේ සියලු අංශවල පරිපාලන ප්‍රතිසංස්කරණ හා අධිකරණ ප්‍රතිසංස්කරණ සිදුකළ අතර විශේෂ ආර්ථික ප්‍රතිපත්ති ද ක්‍රියාවේ යොදවන ලදී.

කෝල්බෲක් ප්‍රතිසංස්කරණ යටතේ උඩරට හා පහතරට ඒකාබද්ධ කිරීම – මෙතුවක් උඩරට ප්‍රෙද්ශයට හිමිව තිබූ සාම්ප්‍රදායික අනන්‍යතාව විනාශයට පත්විය. මේ පිළිබඳ උඩරැටියන් තුළ දැඩි කණස්සල්ලක් ඇතිවිය. ලංකාවේ පහතරට ප්‍රදේශ වල විවිධ දේශපාලන අර්බුධ පැනනුගුණු කාලවල දී පවා උඩරැටියන් තම දේශපාලන, සමාජ, ආර්ථික හා සංස්කෘතික අනන්‍යතා රැකගනිමින් කටයුතු කළහ. ඊට හේතුවූයේ එය වෙනම ම දේශපාලන, සමාජ, ආර්ථික හා සංස්කෘතික ඒකකයක් වශයෙන් අනන්‍යතාවක් යටතේ වර්ධනය වී තිබීම නිසාවෙනි. නමුත් මෙම නව තීරණය ක්‍රියාවේ යෙදවීමත් සමග උඩරටට හිමිව තිබූ එකී අනන්‍යතාව අහිමිවිය. මෙය දිගුකාලීන වශයෙන් 1848 අරගලයට බලපෑ බව පෙනී යයි.

ලංකාව පළාත් පහකට බෙදීම- මේ නිසා ලාංකිකයන්ට විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවිය. එතුවක් කාලයක් ලංකාවේ ග්‍රාමීය වශයෙන්, ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වූ සාමාන්‍ය පරිපාලන කටයුතු පවා ඒ අනුව පළාත් පාලන ඒකක වලට යටත්කිරීම නිසා ග්‍රාමීය ස්වාධීනත්වය තවදුරටත් අහිමි විය. පළාත් පාලන මධ්‍යස්ථාන වල සිට ඉතා දුරින් පිහිටි ගම්මාන වල වැසියන්ට ඉමහත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවිය. මෙවැනි අවස්ථාවල දී පාලනාධිකාරිය දෝෂදර්ශනයට ලක්වීම අදටත් පොදු ධර්මතාවකි. මේ නිසා ඉංග්‍රීසීන් පිළිබඳ මෙරට වැසියන් තුළ තිබූ අප්‍රසාදය තවදුරටත් වර්ධනය විය. එවන් වාතාවරණයක් යටතේ එකී පාලනයට විරුද්ධව වර්ධනය වන බලවේගයකට වැසියන් එක්වීම හෝ ඊට සහය දැක්වීමට පෙළඹීම නොවැලක්විය හැක්කකි.

රාජ්‍ය සේවකයන්ට පෞද්ගලික ව්‍යාපාර වල නිරතවීමට අවස්ථාව දීම- කෝල්බෲක් ප්‍රතිසංස්කරණ අනුව රාජ්‍ය වියදම් අඩුකිරීමේ ප්‍රතිපත්තිය අනුව රාජ්‍ය සේවකයින්ට විශ්‍රාම වැටුප් ගෙවීම නවතා දමන ලදී. ඉන් එකී සේවකයින්ට සිදුවන පාඩුව අවම කිරීම පිණිස රාජ්‍ය සේවයේ නිරතව සිටියදී ම පෞද්ගලික ව්‍යාපාර වල නිරතවීමේ අවස්ථාව ඔවුන්ට ලබාදෙන ලදී. නමුත් රාජකාරී වේලාව තුළ පෞද්ගලික ව්‍යාපාර වල නිරතවීමට අවස්ථාවක් නොවී ය. රාජකාරී කාල සීමාවෙන් බාහිරව එකී කටයුතු කළයුතු විය. නමුත් ඇතැමු නිළධාරීන් මේ නීති රීති වලට බාහිරව යමින් රාජකාරී කාලසීමාවේ පවා තම පෞද්ගලික ව්‍යාපාරික කටයුතු සඳහා කාර්යාලයෙන් බැහැර ගිය හ. මේ නිසා මහජනයා විශාල අපහසුතාවකට පත්වූවා පමණක් නොව නිළධාරීන් හා මහජනයා අතර සබඳතා ද දුර්වල තත්ත්වයකට පත්විය. රාජ්‍ය නිලධාරීන්ගේ මෙම දුබලතාව ප්‍රෙයා්ජනයට ගෙන දේශීය මුලාදෑනිවරුන් දතම රාජකාරී කටයුතු අතපසුකිරීමට පෙළඹුනහ. මෙහි අවසන් ඵලය වූයේ සාමාන්‍ය ජනයා දැඩි පීඩනයකට ලක්වීම යි. කඳුකර හා දුෂ්කර ප්‍රෙද්ශවල පරිපාලන කටයුතු වඩාත් අවුල්සහගත විය. මේ නිසා ජෝන් ස්ටුවර්ට් සිය ලේඛනයක පෙන්වා දෙන්නේ 1848 අරගලයේ මූල බීජ කෝල්බෲක්-කැමරන් ප්‍රතිසංස්කරණ තුළ ම ගැබ් වී තිබූ බව යි.

මෙලෙස කෝල්බෘෘක් ප්‍රතිසංස්කරණය යෝජනා මගින් ඇතිවෙමින් පැවති ධනවාදී අර්ථ ක්‍රමයේ විවිධ අංග කෙරෙහි වැසියන් කලකිරී සිටි බවක් දක්නට ලැබේ.

ඊට අමතරව කෝල්බෘෘක් ප්‍රතිසංස්කරණවලින් ද රාජකාරි ක්‍රමය අහෝසි කිරීම නිසා සම්ප්‍රදායික ඉඩම් භුක්ති ක්‍රමයේ හටගත් වෙනස්කම් ඒ ඒ ජන කණ්ඩායම් අතර ආණ්ඩු විරෝධී අදහස් පැන නැගෙන්නට හේතුවිය. අතීතයේ සිට රාජකාරී ක්‍රමය මෙරට ක්‍රියාත්මක වූයේ සමාජයේ පොදු කටයුතු පහසුවෙන් ඉටුකරගැනීමේ අරමුණෙනි. සමාජයේ ජීව ගුණය රඳා පැවතියේ මෙම ක්‍රමය නිසාවෙනි.නමුත් ඉංග්‍රීසීන් මේ ක්‍රමය පිළිබඳ නිසි අවබෝධයකින් කටයුතු කළ බවක් නොපෙනෙයි.⁣එය වහල් ක්‍රමයක් යැයි ද, නූතන යුගයට උචිත නොවේ යැයි ද හඳුන්වමින් එය අහෝසිකිරීමට කටයුතු කළේ ඒ නිසා ය. එසේ අහෝසි කිරීමෙන් ඔවුන් තවත් යමක් බලාපොරොත්තු විය.ඒ ඔවුන්ගේ වතු වගාවට අවශ්‍ය ශ්‍රමය බාධාවකින් තොරව සපයා ගැනීම යි.

ඉංග්‍රීසීන් සිය ආයෝජකයින් කෙරෙහි දැක්වූ නම්‍යශීලී ප්‍රතිපත්ති නිසා ද ලාංකිකයෝ අපහසුතාවට පත්වූහ. විශේෂයෙන් රජය වැවිලිකරුවන්ට ලබාදුන් වරප්‍රසාද හා පහසුකම් කඳුකර වැසියන්ගේ තත්ත්වය පහත වැටීමට හේතුවිය. උඩරැටියන් පාරම්පරිකව භුක්ති වින්ද ඉඩම් 1840 පනවන ලද අංක 12 දරණ ඉඩම් අත්පත්කර ගැනීමේ ආඥාපණත ක්‍රියාත්මක කිරීම නිසා අහිමි විය. තව ද යුරෝපීයන්ට විශාල වශයෙන් ඉඩම් විකිණීම නිසා කුඹුරුවලට හා ගම්මැද්දට පමණක් සීමා වූ ගම්මාන විශාල වතු යායවල්වලට මැදිවී විනාශවීමේ තර්ජනයකට මුහුණපෑවේය. මේ වනවිට පාලනය ද අවුල්වී පැවැති නිසා දේශීයන්ගේ අවශ්‍යතා ගැන රජයේ අවධානය යොමු නොවීය. 1818 කැරළි මර්දනය කරනවිට අනුගමනය කළ බිම්පාළු ප්‍රතිපත්තිය නිසා වැව් අමුණු විනාශවීම හා ඒවා කාලයක් ප්‍රතිසංස්කරණය නොවීම නිසා කෘෂිකාර්මික කටයුතු අන්තයට පිරිහී ගියේය. මේ ආර්ථික විනාශය නිසා මන්දපෝෂණය හා ලෙඩරෝග පැතිරී යාම ජනයා මහත් අසරණ තත්ත්වයට පත් කළේය. කෘෂි ආර්ථික පරිහාණිය හේතුකොටගෙන ආර්ථිකය බිඳවැටුණි. ලෝක ආර්ථික පරිහාණිය නිසා අපනයන වෙළඳාම් පහත වැටුණි. ඒ නිසා පහත වැටුණු රාජ්‍ය ආදායම පියවා ගැනීමට ආණ්ඩුකාරවරයා වූ වයිකවුන්ට් ටොරින්ටන් අලුත් බදු කීපයක් පැනවීය. ඔප්පුතිරප්පු, මුද්දර, කරත්ත, ඔරුපාරු, වෙළඳ හා තුවක්කු යනුවෙන් නව බදු කීපයක් පැනවිය. අනිවාර්ය රාජ්‍ය සේවයෙන් නිදහස් වීමට ගෙවිය යුතු ඇඟ බද්ද හෙවත් පාර බද්ද හා බලු බද්ද මීට ඇතුළත් විය. මේවා ආර්ථික වශයෙන් දුප්පත් ගැමියන්ට දරාගත නොහැකි විය. තව ද ගෙවල් දොරවල් ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කළ පත්‍රිකා අනුව තවදුරටත් බදු අය කරනු ඇතැයි ගැමියෝ බිය වූහ.

වතුවගාවේ දියුණුව කෙරෙහි බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ විශේෂ උනන්දුවක් යොමුවුණු අතර, දේශීය කෘෂිකර්මාන්තය ගැන ආණ්ඩුවේ අවධානය අඩුවිය. එනිසා යැපුම් කෘෂි කර්මාන්තය බිඳ වැටුණි.වැවිලි ආර්ථික කටයුතු නගාසිටුවීම සඳහා යටිතල පහසුකම් වශයෙන් මාර්ග ඉදිකිරීමට මහාමාර්ග ආඥාවක් මගින් අනිවාර්ය රාජකාරි සේවයක වැසියන් යොදවන ලදී. නමුත් එය සාම්ප්‍රදායික ක්‍රමයට වඩා බෙහෙවින්ම වෙනස් විය. ඒ අනුව වයස අවුරුදු 18- 55 අතර සෑම පිරිමියෙක්ම අවුරුද්දකට සති 03ක් මහාමාර්ග තැනීමේ අනිවාර්ය සේවයේ නිරතවිය යුතුය. මේ තත්ත්වය මත දුරබැහැර ප්‍රදේශවලට ගොස් රාජකාරිවල නිරතවීම නිසා ජනතාවගේ ගොවිබිම් මෙන්ම පවුල් ජීවිත ද විනාශ විය. ගම්මුලාදෑනිවරු එම රාජකාරි සඳහා නොගිය අතර හිතවත් අය හා අල්ලස් දුන් අය රාජකාරිවලින් නිදහස් කොට සෙසු අය ඒ සඳහා සෙසු අය ඒ සඳහා නිතර නිතර යවන ලදී. මේ නිසා ඔවුන්ගේ ගොවිබිම් මෙන්ම ජීවිතය ද නැති වූ අවස්ථා වේ. “ මම මගේ අන්තිම ගවයාත් අල්ලස් වශයෙන් ආරච්චිලට දුනිමි. මීළඟට දීමට දෙයක් නැති හෙයින් රාජකාරියට යන්නට සිදුවේ.“ යනුවෙන් තමා ඉදිරියේ ප්‍රකාශකොට රාජකාරියට ගිය ගොවියා වැඩපොළේදී මියගිය බව වොජ්සන් නම් සිවිල් නිලධාරියෙකු සඳහන් කොට ඇත. මෙයින් පැහැදිලි වන්නේ බ්‍රිතාන්‍යයන් අනුගමනය කළ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව තුළ දැඩි කලකිරීමක් වර්ධනය වෙමින් පැවති බවයි.

1833 කෝල්බෘෘක් ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට පෙර ගම්සභාව සතුව පැවති අධිකරණ බලතල එම ප්‍රතිසංස්කරණවලින් පසු ඒවාට අහිමිවිය. ගම්සභා අකර්මන්‍ය වීම නිසා ගැමි ජනතාවගේ ප්‍රශ්න උග්‍ර විය. සුළු කරුණක් නිරවුල් කරගැනීමට පවා ඈත පිටිසර ගම්වල සිට දුරබැහැර ප්‍රදේශවල තිබුණු  අලුත් උසාවිවලට යාමට ද, නීතිඥ හා උසාවි ගාස්තු ගෙවීමට ද ගැමියන්ට සිදුවිය. තව ද මුද්දර ගාස්තු අය නොකළ නිසාම ඔවුන්ට සාධාරණව නිතිය ක්‍රියාත්මක නොවීය. මේ නිසා උඩරැටියන් තුළ බ්‍රිතාන්‍ය පාලකයන්ට එරෙහිව විශාල කලකිරීමක් මෙන්ම විරෝධතාවන් ද ක්‍රමයෙන් වර්ධනය වන්නට විය.

මේ අනුව වැවිලිකරුවන් වූ යුරෝපීයන් ද වතු කම්කරුවන් වූ ඉන්දීය ද්‍රවිඩයින් ද වෙළඳ ව්‍යාපාරිකයන් වූ මුස්ලිම්වරුන් ද අනෙකුත් වෘත්තීන් සඳහා මුහුද්බඩ වැසියන් ද කඳුකර ප්‍රදේශවලට පැමිණිම නිසා එහි පැවති හුදකලා බව නැතිවිය. අලුතින් පැමිණි අය අතර හොරු, මංකොල්ලකරුවන් මෙන් ම නොයෙක් දාමරිකයන් ද විය. එනිසා එවැනි ක්‍රියාමාර්ග පැතිරි යන්නට විය. රජය විසින් පිහිටවූ තැබෑරුම් ද ඒ සඳහා අනුබල දීමක් විය. උඩරට ප්‍රදේශවල ද සුරාසැල් විවෘත කිරිම හේතුකොටගෙන සමාජ දුරාචාර වේගයෙන් ව්‍යාප්තවිය. මෙවැනි ක්‍රයාමාර්ග නිසා ඉංග්‍රීසි ආණ්ඩුව කෙරෙහි උඩරට සමාජයේ සෑම ජන කොට්ඨාසයක් තුළම කලකිරුණු තත්ත්වයක් ඇතිවූහ. එනිසා ඔවුන් තම නිදහස මුල්කරගෙන සන්නද්ධ අරගලයකට සූදානම් විය.

මෙලෙස 1848 දෙවන නිදහස් අරගලයට වසර දහයක පහළවක සිට ඇතිවුණු අපේක්ෂා භංගත්වය මෙන්ම පීඩනයත් වඩාත් උත්සන් වූයේ බ්‍රිතාන්‍ය පාලකයන් ස්වකීය ආදායම් වැඩිකරගැනීම සඳහා නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසාය. ටොරිංටන් ආණ්ඩුකාරවරයා විසින් නව බදු වශයෙන් කඩසාප්පු බද්ද,, කරත්ත බද්ද, ඔරුපාරු බද්ද, තොටුපළ බද්ද, තුවක්කු බද්ද, ඇඟ බද්ද, මුද්දර බද්ද,  සුනඛ බද්ද වශයෙන් නව බදු ගණනාවක් අය කරන්නට විය. එනිසා ඇති වූ ජනතා නැගී සිටීම නිසා ටොරිංටන්ගේ බදු ප්‍රතිපත්තිය මෙම අරගලය සඳහා ආසන්නම හේතු සාධකය වශයෙන් පෙන්වාදිය හැක.

තව ද රජය හා ආගම අතර පැවති සාම්ප්‍රදායික සමීප සම්බන්ධතාවය යටත්විජිත ආණ්ඩුව විසින් නොසලකා හරින ලදි. බ්‍රිතාන්‍ය ආණ්ඩුව මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තියෙන් ඉවත් වි දළදා වහන්සේගේ ආරක්ෂාව භික්ෂූන් වහන්සේ හා දියවඩන නිළමේ වෙත පැවරීම නිසා ඉංග්‍රීසීන්ට තවදුරටත් රට පාලනය කිරීමට අයිතියක් නැති බව සමාජය පුරා පැතිර ගියේය. තව ද භික්ෂූන් වහන්සේලාට නායක පදවි පිරිනැමිම හා දේවාලවල බස්නායක නිළමේවරු පත්කිරීම නවතා දැමීය. 1815 ගිවිසුමේ 5වන වගන්තියෙන් බෞද්ධ හා දේශීය ඇදහිලි ක්‍රම පවත්වාගෙන යාමට හා ආරක්ෂා කිරීමට දෙනලද පොරොන්දු කඩකරන ලදී. එයින් රජය ඉවත්වී ඇතැයි වැසියෝ පිළිගත්හ. මේ නිසා ඇතිවූ අසහනකාරී තත්ත්වය ආණ්ඩු විරෝධී සටන් ව්‍යාපාර බවට පත්විය.

මේ අනුව ඇති වූ මෙම සියලු විරෝධතාවයන් නිදහ් සටන් ව්‍යාපාරයක් ලෙස මුලින්ම ඉස්මතු වූයේ මාතලේ, කුරුණෑගල යන ප්‍රදේශවලිනි. පසුව වාරියපොළ ද දඹුල්ල, මහනුවර හා කොළඹ ඇතැම් ප්‍රදේශවල ද ව්‍යාප් විය. මොරටු වැසියකු වූ පුරන්අප්පු, ගොන්ගාලේගොඩ බංඩා , ඩිංගිරාළ කෝරාළ යන අය ඒ සඳහා නායකත්වය ලබාදුන්හ. පසුව 1848 ජූලි මස ගොංගාලේගොඩ බංඩා දඹුල්ලේදී සිංහල රජු වශයෙන් ඔටුනු පළන්දන ලදී. පැල්මඩුල්ලේ බංඩා උපරජු වශයෙන් ද ඩිංගිරාළකෝරාළ සතර කෝරළේ රජු වශයෙන් ද පත්කරන ලදී. මොවුන් යටතේ පෙළගැසුණු ජනතාව දිගටම බ්‍රිතාන්‍ය පාලකයන්ට එරෙහිව කැරලි ගැසීය. නමුත් කැරලි මොනතරම් දරුණු මට්ටමට වර්ධනය වුවත් බ්‍රිතාන්‍ය පාලකයන් යුධනීතිය පනවා කැරලිකරුවන් සිර අඩස්සියට ගෙන එම කැරැල්ල ඉතා කෙටි කාලයක් තුළ මර්දනය කිරීමට සමත්විය. මේ අනුව දේශපාලනික, ආර්ථික, ආගමික, හා සමාජ සංස්කෘතික වශයෙන් විවිධ හේතු සාධක මත පැනනැගුණු දෙවන නිදහස් අරගලය ද අසාර්ථක වූ අතර එයින් බ්‍රිතාන්‍ය ආධිපත්‍යය තවදුරටත් මෙරටේ වර්ධනය කරගැනිමට හැකිවිය.

එහෙත් මෙම අරගලය නිසා ලැබූ ජයග්‍රහණයන් ද වූ බව අමතක කළ නොහැක. බ්‍රිතාන්‍යයන් ලංකාවේ වාරි පද්ධති අලුත්වැඩියා කරමින් දේශීය කෘෂිකර්මය කෙරෙහි ද අවධානය යොමු කරන්නේ මෙම අරගලයට පසු උදා වූ 1850 වසරේදී පමණ සිට ය. ඇතැම් විට මෙම අරගලය නොකළා නම් එවැනි හිමිකමක් හෝ නොලබන්නට තිබුණි. 1850 දශකයෙන් පසු බ්‍රිතන්‍යයන් විසින් සිදුකළ එවැනි වෙනස්කම් සමහරකට මෙම අරගලය කළ බලපෑම අනුව බලන කල අරගලය පූර්ණ වශයෙන් පරාජිත යැයි සැලකීමට හැකියාවක් නොවේ..