ඉන්දියාවට සමීපව පිහිටීම ශ්‍රී ලංකාවේ ඉතිහාසය කෙරේ බලපෑ අයුරු

ඉන්දීය උපමහද්වීපයට සමීපව පිහිටීම ලංකාවේ ඉතිහාසය කෙරේ නොයෙක් ආකාරයෙන් බලපා තිබේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇත්තේ කිලෝමීටර 32ක පටු මුහුදු තීරයකි. මෙය පෝක් සමුද්‍රසන්ධිය නමින් හැඳින්වේ. මේ නිසා දෙරටේ පස, දේශගුණය, සත්ත්ව සංතතිය ආදිය බොහෝ දුරට සමාන වේ. ඊට අමතරව ලංකාවේ දේශපාලන, ආර්ථික, ආගමික, සංස්කෘතික හා සාමාජික තත්ත්වයන් කෙරේ ද මෙකී සමිපස්ථ බවේ බලපෑම් ඇති වී තිබේ. එපමණක් නොව මෙකී හේතුව නිසා ඉන්දියානුවන්ට ද විවිධාකාරයෙන් උපකාර කිරීමට ද ලාංකේය රජවරුන්ට සිදුවිය. ඉන්දියාවට සමීපව පිහිටීම නිසා ලංකාවට

  1. දේශපාලනික බලපෑම්
  2. ආර්ථික බලපෑම්
  3. සංස්කෘති බලපෑම්
  4. ආගමික බලපෑම්
  5. සාමාජික බලපෑම්

ආදිය ඇතිවිය. දේශපාලනික වශයෙන් ලංකාවට ක්ෂත්‍රීය අභිෂේකය ලැබුණි. දෙවන පෑතිස් රජ දවස උතුරු ඉන්දියාව සමග තිබූ සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස මේ ක්‍රමය ලංකාවට හඳුන්වා දෙන ලදී. සමීපස්ථ බව නිසා ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වූ ආර්යයෝ මෙරට ගංගා නිම්න වල ජනාවාස පිහිටුවාගෙන පසුකාලීනව දේශපාලන බලයක් ද වර්ධනය කර ගත්හ. මල්වතු ඔය නිම්නයේ පිහිටුවාගත් උපතිස්සගාමය හා අනුරාධගාමය මුල්කාලයේ ආර්ය ජනපද වශයෙන් තිබී පසුව පාලන මධ්‍යස්ථාන වශයෙන් ද වර්ධනය විය. උරුවේල, විජිතගාම, දීගගාම ආදී ජනපද ද ප්‍රකට ඒවා විය. ආර්ය සංක්‍රමණ වලට අමතරව දකුණු ඉන්දීය ආක්‍රමණ රැසක් ද ලංකාවට එල්ල වූයේ ලංකාව ඉන්දියාවට සමීපව පිහිටි නිසා ය. සේන ගුත්තික, එළාර ආදීන්ගේ සිට රාජරාජ, රාජේන්ද්‍ර, කාලිංග මාඝ ආදීන් දක්වා මෙවැනි ආක්‍රමණ ගණනාවකි. චෝඩගංග, කාලිංගරායර ආදීන්ගේ ආක්‍රමණ මෙකී සමීපස්ථබව නිසා එල්ල වී තිබේ. දෙරටේ රජවරුන් එකිනෙකාගෙන් උපකාර ඉල්ලා ඇත්තේ ද මේ සමීප බව නිසා ය. ලංකාවේ පළමු කාශ්‍යප රජුට විරුද්ධව පළමුවන මුගලන් රජු, ලම්බකර්ණිකයාන්ට විරුද්ධව ඉලනාග රජු,  හත්ථදාඨ රජුට විරුද්ධව මානවම්ම කුමරු ඉන්දීය උපකාර ලබාගත්තවුන් අතර ප්‍රධාන වේ. පස්වන කාශ්‍යප රජු, මහා පරාක්‍රමබාහු රජු ඉන්දීය රජවරුන්ට උපකාර කර තිබේ.ලංකාවේ රාජ්‍ය උරුමය පිණිස කුමාරවරුවන් නොමැති වූ අවස්ථාවල ඉන්දීය කුමාරවරුන් ආදේශකරගත් අවස්ථා ද ඇත්තේ ය. වික්‍රමපාණ්ඩ්‍ය, පරාක්‍රමපාණඩ්‍ය ආදීහූ උදාහරණ වේ. පොළොන්නරු යුගයේ දී රාජ්‍යත්වය මාතෘපාර්ශ්වයට තරමක් නැඹුරුව උරුම වූයේ ද දකුණු ඉන්දීය ආභාසය නිසා යැයි විශ්වාසයක් පවතී. මහා විජයබාහු රජුට පසු බලයට පත් ඔහුගේ දරු මුණුබුරු දෙදෙනා වූ වික්‍රමබාහු හා ගජබාහු දෙදෙනා අභීෂේක නොලබා සිටිය දී, මිත්තා කුමරියගේ උරුමය අනුව ලංකාවේ දේශපාලනයේ වැඩි බලය කිත්සිරිමේඝ, සිරිවල්ලභ හා මානාභරණ අත පැවතුණි. මහ පැරකුම්බාවන් මානාභරණයන්ගේ පුත්‍රයාය. මේ යුගයේ කාන්තාවන් වැඩි වශයෙන් බලයට පැමිණියේ ද දකුණු ඉන්දීය ආභාසය නිසා විය යුතු ය. දේශපාලනයට සම්බන්ධ ඇතැම් නිළධාරී නාමයන් ද ඉන්දීය ආභාසයෙන් ලැබී තිබේ. පුරෝහිත, සේනාපති, මෛයික්කාප්පර්, වැනි නාම උදාහරණ වේ. මුටසිව රජ පුත් තිස්ස රජුට පසු බලයට පත් රජවරු කිහිපදෙනෙක් ද භාවිත කළ දෙවනපිය අභිදානය ද ඉන්දීය එකකි. අශෝක රජු එකී අභිදානය පිරිනැමූ බවට මූලාශ්‍රයගත සාධක තිබේ. ගම්සභා ක්‍රමයේ මූල බීජය ද ලංකාවට ලැබුණේ ඉන්දියාවෙන් යැයි පිළිගැනේ. ලංකාවේ පාලන කටයුතු වලට සම්බන්ධ වූ මෞර්ය, ලම්බකර්ණ, කාලිංග, පාණ්ඩ්‍ය,නායක්කර්  වැනි වංශයන් ද ඉන්දීය මූලයක් සහිත රාජවංස වේ.

ලංකාවේ  ආර්ථිකයට ද ඉන්දියානු බලපෑම් ඇතිවූයේ මේ සමීපස්ථ බව නිසා ය. ඉන්දීය වෙළෙන්දෝ ලංකාවට ආ ගිය බව, දිව්‍යාවදානය, ජාතකපොත, හියුන්සාන් හිමියන්ගේ වාර්තා වැනි මූලාශ්‍රය වලින් පෙනෙයි. මෙකී වෙලෙන්දන්ගේ ආභාසය ලංකාවේ වෙළඳුන්ට ද ලැබෙන්නට ඇත. ලංකාවේ වෙළඳුන් නොසිටියේය යන්න ඉන් අදහස් නොවේ. රසවාහිනියේ කතා කිහිපයක ම මෙරට වෙළඳුන් පිළිබඳ සඳහන් වේ. මහාතිත්ථයේ නන්දි නමැති වෙළෙන්දා ඉන් එක් අයෙකි. ඉබ්බන්කටුව සුසානයන් හමු වී ඇති සාධක අනුව පෙනී යන්නේ ලංකාවේ පූර්ව ඓතිහාසික මානවයා පවා භාණ්ඩ හුවමාරු ක්‍රමයට හෝ ගනුදෙනු කළ බව යි. නමුත් ගැල් කණ්ඩායම් වශයෙන් සංවිධානය වී දුර බැහැර පෙදෙස් වල තවලම් ක්‍රමයට වෙළඳාමේ යාම කෙරේ ඉන්දීය ආභාසය ලැබෙන්නට ඇත යන්න පිළිබඳ විශ්වාසයක් තිබේ. පූග යන සංස්කෘත ව්‍යවහාරය අනුව සකස්වුණු පුගිය යන වදනින් ඒ බව සැකකරන්නට පෙළඹවීමක් ඇති කරයි. පූගය යනු වෙළඳ කටයුතු එක්ව කරනු පිණිස ඇතිකරගත් වෙළඳ සංවිධානයකි. වී ගොයම සඳහා ගොයම් යන යෙදුම ආයේ ද භාරතීය ආභාසය නිසා යැයි පිළිගැනේ. ඉන්දීය මූලාශ්‍රය වල මේ සඳහා යෙදී ඇති ගෝධූම යන යෙදුම මේ සඳහා පාදක වන්නට ඇත. පූර්ව ඓතිහාසික යුගයේ දී අක්‍රමවත් අයුරින් ඇරඹි ලංකාවේ කෘෂිකර්මය විධිමත් වීමට ද ඉන්දීය ආභාසය ලැබී තිබේ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන කසී රට කෙත හා සම භික්ෂු චීවරය පිළිබඳ යෙදුම මේ සඳහා සාධකය වේ. ලංකාවේ කුඹුරු ගොවිතැනේ දී ලියැදි සකස් කළේ ද මේ අනුව ය. නමුත් එහි මුල් අවස්ථාව ඉන්දියාවේ පැවති බව පිළිගන්නට සිදු වේ.  ඉන්දීය ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් වූ ගවයා අනුරාධපුර පොළොන්නරු යුගවල ලංකාවේ ආර්ථිකයේ ද ප්‍රධාන සාධකයක් විය. ඉන්දීය සම්භවයක් සහිත උස් අං සහ අලංකාර තැල්ල සහිත සින්ධි වර්ගයේ ගවයින් අදත් ලංකාවේ වියළි කලාපයේ නිරන්තරයෙන් දැකීමට ද හැකි වන්නේ ය. කුලය පදනම් කරගත් රැකියා ක්‍රමය සඳහා පදනම වැටුණේ ද ඉන්දීය ආභාසයෙනි. සඟමිත් තෙරණිය හා සමග මෙරටට ආ ශිල්ප ශ්‍රේණි 18 කට අයත් පවුල් දහසක පිරිස මෙරට සමාජයේ මුහුවීමෙන් මෙකී තත්ත්වය ඇතිවන්නට ඇත. පිසඹුරුවත හා කැතිඅඩ වැනි බදු ක්‍රම ද ඉන්දීය ආභාසයෙන් ලැබී තිබේ. ලෝහමය මුදල් භාවිතය ද ඉන්දීය ආභාසයෙන් ඇරඹෙන්නට ඇත. භාරතයේ බිහිවූ බුදුදහමේ රන්රිදී පරිහරණය සම්බන්ධයෙන් පැනවූ කොසියවග්ග නීතියෙහි ජාතරූප හා රජතං යන වදන්වලින් කාසි පිළිබඳ අදහසක් තිබේ. අනාථපිණ්ඩික සිටාණෝ ජේතකුමරුගේ ඉඩම මිලදී ගත්තේ ඉඩම වැසී යන සේ කාසි ඇතිරීමෙන් යැයි ද සඳහන් වේ. මේ පිළිබඳ කැටයම් රූප ද තිබේ. විජය රජුගෙන් පසු ලංකාවේ ද සියය, දහස, ලක්ෂය ආදී සංඛ්‍යාවන් පිළිබඳ සඳහන් වෙතත් පළමුවරට කාසි පිළිබඳ සඳහන් වන්නේ එළාර රාජ සමය සමබන්ධයෙනි. එළාර රජුගේ සෑගිරි ගමනේ දී කරත්තයේ කඩ ඇණය වැදී සෑ ගිරියට හානි වූ නිසා රජු සෑගිරිය ප්‍රතිසංස්කරණයට කහවණු පසළොස්දහසක් පිරිනැමූ වග සඳහන් වේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විශ්වාස කරන්නේ ද ලංකාවේ මුල් කාලීන කාසි උතුරු ඉන්දියාවෙන් ගෙන ආ ඒවා විය යුතු බව යි.

ඇතැම් ඉන්දීය ආගම් ලංකාවේ ව්‍යවහාරයේ තිබූයේ ලංකාවට බුදුදහම හඳුන්වාදීමට ප්‍රථම ය. ඉන්දීය මූලයක් සහිත ජෛන,බ්‍රාහ්මණ, පරිබ්‍රාජක ආදී ආගම් පිළිබඳව ලංකාවේ පණ්ඩුකාභය රජ දවස සිට අසන්නට ලැබේ. ජෛන(නිඝණ්ඨයින්) සඳහා කරවූ ආරාම පිළිබඳවත්, අකුරු කරවූ පණ්ඩුල බ්‍රාහ්මණයා පිළිබඳවත්, පරිබ්‍රාජකාරාම පිළිබඳවත් පණ්ඩුකාභය යුගයෙන් අසන්නට ලැබේ. මේ ආගම් ඉන්දීය මූලයක් සහිත ආගම් බව ඉන්දීය ඉතිහාසය අනුව පැහැදිලි වේ. මේ ආගමිකයින් ලංකාවට සංක්‍රමණය වූයේ මේ සමීපස්ථ බව නිසා ය. බුදුදහම ලංකාවට හඳුන්වා දුන්නේ ද එකී සමීපස්ථ බව නිසා ය. ඉන්දීය තවුස්පැළ හෙවත් පණ්සල යන ව්‍යවහාරය ද ලංකාවට පැමිණියේ ය. මෑත ඉතිහාසයේ සායි දර්ශනය ද ලංකාවට පැමිණියේ මේ සමීපස්ථ බව නිසා ය.

මේ සමීපස්ථ බව නිසා ලංකාවේ සමාජයේ ද බොහෝ වෙනස්කම් ඇතිවිය. ප්‍රාග් ඓතිහාසික ලංකාවේ වියලි කලාපයේ ද ජනාවාස තිබූව ද වැඩි වශයෙන් ම ජනයා වාසය කළේ තෙත් කලාපයේ ය. එම ජනයා වියළි කලාපයට සංක්‍රමණය වූයේ මුල් ඓතිහාසික යුගයේ ය. ඊට හේතුව ඉන්දීය කෘෂි ආර්ථිකයකට හුරු වී සිටි ඉන්දීය ජනයා මේ යුගයේ ලංකාවට පැමිණ ගංගා නිම්න ආශ්‍රිතව පදිංචි වී බල මධ්‍යස්ථාන වර්ධනය කරගත් නිසා ය. මෙය ද මේ සමීපස්ථ බවේ ප්‍රතිඵලයක් සේ දැක්විය හැක.  උතුරු ඉන්දීය ගංගානදී නිම්නයේ පැවති අවමංගල චාරිත්‍ර ඇතැම් ඒවා ලංකාවට ද බලපා ඇත. අඟහරුවාදා සහ සිකුරාදා දිනවල අවමංගල කටයුතු සිදු නොකිරීම, අවමංගල පෙරහැර සමග මාර්ගයේ වැලි ඉසිමින් ගමන් කිරීම වැනි සිරිත් ඉන්දීය මූලයක් සහිත සිරිත් වේ. ජටාව ඉන්දීය මූලයක් සහිත හිස් වැසුමකි. ඉන්දියානු සාරිය ලංකාවේ වර්තමානයේ පවා ජනප්‍රිය වේ. තෝසේ, වඩේ, ඉට්ලි  වැනි ඉන්දීය ආහාර ද ලංකාවේ ජනප්‍රිය අහාර වේ.

ඉන්දීය ගෘහ නිර්මාණ හා වාස්තු විද්‍යා ලක්ෂණ ද ලංකාවට බලපා තිබේ. ගල් හා ගඩොල් භාවිතයෙන් ස්ථිර නිවාස තැනීමේ සම්ප්‍රදායන් ද ලංකාවට ලැබෙන්නට ඇත්තේ ඉන්දීය භූමිය හරහා ය. සාංචියේ ඡත්‍රාවලිය ලංකාවේ මුල් යුගයේ චෛත්‍ය වල තිබී ඇති බව පෙනෙයි. දැලිවල, මිහින්තලේ, රුවන්වැලිසෑය, අභයගිරිය වැනි චෛත්‍ය ආශ්‍රිතව ලැබී ඇති ධාතුකරඬු වල ඇත්තේ ඡත්‍ර ලක්ෂණ හා එහි විකාශ අවස්ථා වේ. ඒ අනුව ලංකාවේ ඡත්‍ර භාවිත වී ඇත. දකුණු ඉන්දීය ලෙන් විහාර සම්ප්‍රදාය පොළොන්නරු යුගයේ ලංකාවේ ද භාවිත වූ බවටය එක් සාධකයක් තිබේ. පොළොන්නරු ගල් විහාරයේ විද්‍යාධර ගුහාවයි. ගම්පොළ හා මහනුවර යුගවල දී ද මේ තත්ත්වය හොඳින් දක්නට ලැබේ. ගඩලාදෙණිය විහාරය ඉදිකිරීමේදී විජයනගර සම්ප්‍රදාය බලපා තිබේ. ගම්පොළ ලංකාතිලක විහාරයට ද, දකුණු ඉන්දීය ආභාසය ලැබී තිබේ. පැන්නුම් කුළුණු, විමාන හා ව්‍යාජ මහල් ක්‍රම ඉන්දීය ආභාසයෙන් නිර්මාණය විය.

මේ ආකාරයට දෙරටේ සමීපස්ථ බව නිසා ලංකාවේ ඉතිහාසයට විවිධාකාරයේ බලපෑම් එල්ලවී තිබේ.