ඉන්දියාවේ උතුරුදිග කඳු පන්තියේ වැදගත්කම

ආසියා මහද්වීපයට අයත් සුවිශාලම අර්ධද්වීපික කොටසක් වන ඉන්දියාව අපූර්ව හා අද්විතීය භූ ලක්ෂණවලින් යුක්ත රටකි. ලොව උසස්ම කඳු ශිඛරය හිම පතනය වන ප්‍රදේශ මෙන්ම කාන්තාර ද එහි ඇත්තේය. උතුරු දිගින් ඇති කඳුවැටි පන්තිය ඒ අතරින් විශේෂ වන්නේ වර්ෂ ලක්ෂ ගණනක් තිස්සේ ඉන්දීය උපමහද්වීපය ආරක්ෂා කිරීමේ ලා ලබා දී ඇති අනභිභවනීය දායකත්වය නිසාවෙනි. ඉන්දීය උපමහද්වීපයට අයත් කඳුපන්ති අතර වඩාත් වැදගත් වන්නේ එහි උතුරින් ඇති කඳුපන්තීන් වේ. උතුරු දිගින් ඇති කඳු ලෙස හඳුන්වන්නේ,

හිමාලයානු වැටිය          සුලෙයිමාන්

කාර්කෝරම්                චිත්‍රාල්

හින්දුකුෂ්                  ලඩාක්

කොහිබබා                 නංගපර්බට් වැනි කඳු හා කඳු පන්තීන් වේ.

මේ අතරින් හිමාලයානු වැටිය කොටස් දෙකකින් යුක්ත වේ. මහාහිමාලය හා කුඩාහිමාලය වශයෙනි. පාමීර් සානුවේ සිට නැගෙනහිරින් පිහිටි මියන්මාර් දේශය දක්වා විහිදෙන මහාහිමාල වැටිය අඩි විසිදහසකට වඩා උස් කඳු ශිඛර සියයකට වැඩි ප්‍රමාණයකින් සන්නද්ධව ඉන්දීය උපමහද්වීපයට දැඩි ආරක්ෂාවක් සපයයි.මෙය ආසන්න වශයෙන් කිලෝ මීටර දෙදහස් පන්සියයක් පමණ දුරට විහිදේ. මීට තරමක් දකුණු දෙසින් වන්නට ඇති  නංගපර්බට් කඳු ශිඛරයේ සිට ගිණිකොණ දිශාභිමුඛව විහිදෙන කඳුපන්තිය හඳුන්වන්නේ කුඩාහිමාලය කඳුපන්තිය වශයෙනි. බැලූ බැල්මට මහා හිමාල හෝ කුඩා හිමාල වැටි වෙන් කිරීම අපහසුය. හිමාලය ආශ්‍රිතවම කාර්කෝරම්, චිත්‍රාල් හා ලඩාක් වැනි කඳු පන්ති දි විහිදී තිබේ. එවරස්ට් හා කංචන් ජුංගා යන ශිඛර අයත් වන්නේ ද හිමාලයානු කඳු පන්තියටම ය. ගංගා නදියේ ශාඛා ගණනාවක් බිහිවන්නේ මේ කඳු පන්තිය ආශ්‍රිතවය. හිමාලයානු වැටියේ ඇති විල් පොකුණු ආදියේ ජලයෙන් උපත ලබා බටහිරට තරමක් දුරින් ගලා ගොස් යළි නිරිතදිගට බරව දකුණට ගලා යන්නා වූ සින්ධු නදිය පෝෂණය වන්නේ කාර්කෝරම් හා හිමාල වැටියේ බටහිර දෙසින් ඇරඹෙන අතුගංගා රැසකිනි.

හිමාලය පන්තියේ නැගෙනහිර ඉම සටහන් වන්නේ තරමක් දකුණට බරව මියන්මාරය දෙසට නැඹුරු වෙමිනි. එසේ මියන්මාරය වෙතර නැඹුරුවන කඳු පන්තිය හැඳින්වෙන්නේ පැට්කොයි හෙවත් පත්කොයි නමිනි. නාග කඳු හෙවත් නාගාලන්ත කඳු මෙයින් තරමක් වෙන්වී මනිපූර් සානුව දෙසට නැඹුරුව ඇසෑම් ප්‍රදේශය දක්වා විහිද යයි.

මේ කඳු පන්තීන් විසින් අතීතයේ සිටම භාරතය දැවැන්ත ආසියානු භූමිස්කන්ධයෙන් වෙන්වී පැවතියා මෙන්ම තවත් වාසි රැසක් ද අත්කර දී ඇත්තේය. විශේෂයෙන්ම භාරත දේශය පෝෂණය කළ ගංගා රැසකට ප්‍රභවස්ථාන සපයා ඇත්තේ මේ කඳු පන්තියයි. ඒ අතරින් වඩාත් කැපී පෙනෙන ගංගා යුගය වශයෙන් සින්ධු නදිය හා ගංගා නම් ගඟ දැක්විය හැකි වේ. මේ ගංගා දෙක හා ඒවායේ ශාඛා උපශාඛා ආදිය ඉන්දීය පුරාණ ශිෂ්ටාචාරයට ලබා දී ඇති පෝෂණය අනභිභවනීය වේ. මේ ගංගා දෙක මගින් ආවරණය වන නදී නිම්න ප්‍රදේශය හැඳින්වෙන්නේ ඉන්දු ගංගා නදී නිම්නය නමිනි. එය සින්ධුනදී මෝදර පටන් ගංගා නදී මෝදර දක්වා ඇඳීමට හැකි සරළ රේඛාවේ සිට හිමාල වැටියේ දකුණු බෑවුම දක්වා විහිද යයි. එය බටහිර සිට නැගෙනහිරට ආසන්න වශයෙන් කිලෝ මීටර තුන්දහස් දෙසීයක් පමණ දිගු වන අතර, පළලින් කිලෝමීටර දෙසීයත් හාරසියයත් අතර අගයක් ගනී. ඉහතින් කී ගංගා දෙකට අමතරව බ්‍රහ්මපුත්‍ර නදිය ද උතුරදිග කඳුවලින් ඇරඹෙන නමුත් එහි සම්පූර්ණ ගැලුම් මාර්ගයෙන් වැඩි කොටස අයත්වන්නේ හිමාලයානු කඳු පන්ති ප්‍රදේශයටමය. මේ නිසා එය ඉන්දීය අර්ධද්වීපයට ඇතිකළ බලපෑම සින්ධු හා ගංගා-යමුනා නදීන් තරමටම ප්‍රබල හෝ ප්‍රමුඛ නොවේ. ගංගා නදිය ආශ්‍රිතව තිබූ අභ්‍යන්තර තොටුපළ අතර කල්කට, ගෞල්පොරා, දිබ්රගාර්, ගෞලෙන් ආදිය ප්‍රකටය. මේ නදිය ඔස්සේ 19වන සියවසේදීත් නෞකා යාත්‍රා කළ බවට සාධක තිබේ. ගංගා නදිය ඔස්සේ අලහබාද් දක්වා යාත්‍රා කෙරෙන නෞකා එතැන් සිට යමුනා නදිය ඔස්සේ අග්‍රා තෙක් යාත්‍රා කර තිබේ. සංස්කෘත භාෂාවෙන් ගංගා නදිය හැඳින්වීමට නම් හතළිස් පහක් තිබේ. කන්‍යා, සුරංගනා, ආකාශ ගංගා, භාගිරථි  ආදිය ඉන් කිහිපයකි.   හින්දු දේව කතා අනුව බලන කල ගංගා නදිය ඇරඹෙන්නේ විෂ්ණු දෙවියන්ගේ පාදයෙනි. මුලදී එය අහසේ ගලාගිය ගඟක් යැයි ද පසු කාලයේ විෂ්ණු විසින් පොළොවට යොමු කළේ යැයි ද සඳහන් වේ.

ඉන්දු නදියේ නැගෙනහිර කොටසේ ශාඛා විසින් ඉන්දු ගංගා තැනිතලාවේ බටහිර කොටස පෝෂණය කරන අතර එහි නැගෙනහිර කොටස පෝෂණය වන්නේ ගංගා-යමුනා නදී යුග්මයෙන් හා එහි ශාඛා උපශාඛා ආදියෙනි. මේ නිම්නයේ වඩාත් නැගෙනහිර කොටසේ පෝෂණය කිරීමේදී බ්‍රහ්මපුත්‍ර නදිය ද වඩාත් වැදගත්කමක් උසුලයි.

මේ ආකාරයට උතුරුදිග කඳුවැටියෙන් ඇරඹෙන්නා වූ ගංගාවලින් පෝෂණය වූ මෙම උතුරුදිග දියලු නිම්නය ඉන්දීය ඉතිහාසයේ අතිශය වැදගත්ම හා කේන්ද්‍රීය යුගයන් නිර්මාණය කර තිබේ.

සින්ධු නදී නිම්නයේ බිහි වූ ඉන්දුනිම්න ශිෂ්ටාචාරය හෙවත් හරප්පා සභ්‍යත්වය ඉන්දියාවට එතුවක් හිමිව තිබූ කෙටි ඉතිහාසය වසර දහස් ගණනකින් දීර්ඝ කර දුන්නේය. මේ ශිෂ්ටාචාරය ලොව ශිෂ්ටාචාරවලට සාපේක්ෂව ඉතා උසස් නාගරික ශිෂ්ටාචාරයක් ද අධ්‍යාත්මික කලාවක් ද බිහිකර පෝෂණය කර ඇත්තේය. පසු කාලීන ඉන්දීය ශිෂ්ටාචාරයට ද ආගමික සංකල්ප ඇතුළු උසස් සංකල්ප කිහිපයක්ම දායාද කළේ මෙම සින්ධු නදියෙන් පෝෂිත ශිෂ්ටාචාරය විසිනි. පශුපති වන්දනාවෙන් ඇරඹී අද දක්වාත් පවතින ශිව දේව වන්දනය ඊට උදාහරණ වේ. ඉන්දුනිම්න ශිෂ්ටාචාර භූමියේ කළ කැණීම් මගින් එහි මෙකී ඇදහිල්ල පැවති බව සනාථ කරන මූර්ති හා මුද්‍රාවල නටබුන් හමුව තිබේ.

මේ නදී නිම්නය හා එහි ප්‍රධාන අතුගංගාවක්  වන ජෙලම්, චේනාබ්, රාවි, බියස්, සත්ලේජ් හා දැනට අදෘෂ්‍යව පවතින සරස්වතී හා දෘෂද්වතී  අතුගංගා ආශ්‍රිත ප්‍රදේශය පසු කාලයේ සංක්‍රමණික ආර්යයන්ට තෝතැන්නක් විය. කෘෂිකර්මය හා සත්ව පාලනය පිළිබඳ පසුකාලීන හා වත්මන් ඉන්දියානුවන් තුළ පැවති හා පවතින්නා වූ දැනුමට මහගෙදර වූයේ මේ සංක්‍රමණික ආර්යයන් මුලින්ම පදිංචි වූ සප්තසින්ධු ප්‍රදේශයයි. එනම් වත්මන් පාකිස්ථානයට අයත් පංජාබයයි. වෛදික සාහිත්‍යය ඉන්දියානුවන්ට තිළිණ කළෝ ද ඔවුහු ය. එකී සාහිත්‍ය කෘති ඉන්දීය භූමියේදී දාර්ශනික අදහස් බිහිවීමට මුල් බිම වූ බව විද්වතුන් අවිවාදයෙන්ම පිළිගනු ලබයි. මේ දාර්ශනික චින්තන ධාරාවන්ට පෝෂණය දුන්නේ ද මේ සරුසාර භූමියයි. පසු කාලයේ මේ සාහිත්‍ය කෘති තුළ වූ භක්තිවාදී අදහස් යටපත් කර බුද්ධිවාදය ඉස්මතු වුව ද එකී බුද්ධිවාදය බිහිවූයේ වෛදික සාහිත්‍ය විසින් නිර්මාණය කළ දර්ශනය දිගින්දිගටම විභාග කිරීමට යෑම තුළිනි. මේ නිසා පංජාබය ද අතිශය වැදගත් ප්‍රදේශයකැයි කීම යුක්තිඋක්ත වේ.

පසු කාලයේ කුරු ක්ෂේත්‍රය ඔස්සේ ගංගා නිම්නයට සංක්‍රමණය වූ ආර්යයෝ ඒ පුළුල් භූගෝලීය කලාපය තුළ රාජාණ්ඩු හා සමූහාණ්ඩු නිර්මාණය කළහ. ඔවුන්ගේ මුල් ඉන්දීය දිවිය පෝෂණය කළ සින්ධු නදිය හා එහි ශාඛා උපශාඛා අත්හැර ඔවුන් මෙලෙස ගංගා යමුනා තැනිතලාවට ආ පසු එකී තැනිතලාව ඔවුන් සාදරයෙන් පිළිගෙන නවාතැන් දුන් බව පෙනෙන්නට තිබේ. ඒ නිසා එහි ඔවුන් විසින් නිර්මාණය කළ රාජාණ්ඩු හා සමූහාණ්ඩු ආදියත් ඒවායේ සිටි ශ්‍රේෂ්ඨ නරපතියන්ගේ අනුග්‍රහයෙන් පෝෂණය වුණු උත්තර භාරතීය ආගම, දර්ශනය, කලා ශිල්ප, සාහිත්‍යය හා දේශපාලනික චින්තනයන් ද භාරත  මාතාවට විශ්වීය වටිනාකමක් එක්කරන ලදී. ආර්ථික කටයුතුවලදී ද මේ ගංගා නිම්න ඉතා වැදගත් විය. ගංගා නදී මෝදර සිට ඉහළට යාත්‍රා කිරීමට ජලයාත්‍රාවන්ට හැකි වූ නිසා එය ආර්ථික වැදගත්කමකින් යුතු ගංගාවක් බවට ද පත්විය. කෝසලය, වජ්ජි රාජ්‍යය වැනි රාජධානි පෝෂණය වීමේදී ගංගා නදියේ තොටුපළවලින් අයකළ බදු අතිශය වැදගත් විය. එපමණක් නොව මෙම ගංගා ජලයෙන් උත්තර භාරතීය වැසියෝ කෘෂි කටයුතු ද සිදුකළහ. කාසි ජනපදය යනු එවැනි කෘෂි ජනපදයකි. කුරු, පංචාල, කෝසල රාජ්‍යයෝ ද මේ නදී දියෙන් පොහොසත් වූහ. වරක් මේ නදියේ ජලය සම්බන්ධයෙන් කුරු හා පංචාල වැසියන් අතර ගැටුමක් ද ඇතිවිය.

මගධ, ගුප්ත හා හර්ෂවර්ධන අධිරාජ්‍යයන් වර්ධනය වන්නේ ද මේ නදී නිම්නයේ ය. දිල්ලි කපොලු ප්‍රදේශය ද මේ ගංගා නිම්නයේ ස්ථානගතවී ඇත. ඒ ආශ්‍රිතව ඓතිහාසික සටන් ගණනාවක් ම සිදුව ඇත. කුරු පාණ්ඩව යුද්ධය ඉන් ප්‍රකට එකකි. කෞරවයෝ හා පාණ්ඩවයෝ මෙහිදී යුධ කළහ. කුරුක්ෂේත්‍රය ආශ්‍රිතව ඇති ශුද්ධ තටාකය අදත් මෙහි දැකිය හැකි වන අතර එය පුරාණ කුරු රාජ්‍යයේ පාලකයකු විසින් කරවී යැයි මතයක් පවතී. එහි ඇති විශේෂත්වය නම් අදටත් මේ සූර්යග්‍රහණ අවස්ථාවල මේ ජලාශයේ ස්නානය කිරීමට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පැමිණීමයි.

හිමාලයානු කඳු පන්තියේ හා උතුරුදිග සෙසු කඳුවල  වෙනත්  ඓතිහාසික වැදගත්කම්.

හිමාලයානු කඳු පන්තිය තුළ අඩි විසිදහසට වඩා උස් කඳු ශිඛර 114ක් තිබේ. මේ කඳු පන්තියේ පළල කිලෝ මීටර 240-320ත් අතර වේ. මේ නිසා ආක්‍රමණිකයන්ට මේ කඳු පන්තිය මහත් බාධාවක් විය. ඔවුන්ගේ ධෛරයයක් මේ අභියස සිඳී ගියේය. එම නිසා ඒ ඔස්සේ ඉන්දීය භූමියට පැමිණියෝ විරලය. ධර්ම ප්‍රචාරක කටයුතු හා වෙළඳ කටයුතු පිණිස ආ ගිය පිරිසක් විය. නමුත් ඔවුන්ගෙන් ඉන්දීය ඉතිහාසයට මහත් බලපෑමක් වී යැයි පිළි නොගැනේ.

මේ කඳු පන්තිය ඔස්සේ කලින්කලට ආ ගිය වෙළඳුන්, සංචාරකයන්, ධර්මදූතයන් ඒ ඔස්සේ චීනය, මධ්‍යාසියාව හා මොංගෝලියාව වැනි ගමනාන්තවලට ළඟා වී ඇත. එහි සිට පැමිණි පිරිස් ද භාරතයට පැමිණ ඇත. නමුත් ඒ වා ඉන්දීය ඉතිහාසයේ හඳුන්වන්නේ හුදෙකලා සංක්‍රමණ වශයෙන් මිස ඉන්දීය ඉතිහාසයට බලපෑම් කළ සංක්‍රමණ වශයෙන් නොවේ. උතුරු දිගින් පිහිටි ටිබෙට් සානුව හරහා හමා එන්නා වූ වියළි ශීත සුළඟින් භාරත මාතාව රැකගත්තේ ද මේ කඳු පන්තියයි.

හිමාලයානු කඳු පන්තිය ඉන්දියාවේ උතුරු දිගින් ප්‍රාකාරයක් ආකාරයෙන් පැවතිය ද වයඹදිග කපොලු මාර්ග ඔස්සේ ආක්‍රමණ හා සංක්‍රමණ ද සිදුවිය. කාබුල් නදී ඉහත්තාවේ සිට වත්මන් පාකිස්ථානයේ පෙෂාවෝරය දක්වාවිහිද ගිය පාවුල් කඳුවැටිය ඔස්සේ ඇති කයිබර් දුර්ගය සංක්‍රමණික ආක්‍රමණික පිරිස් අතර වඩාත් ජනප්‍රිය දුර්ග මාර්ගයයි. මේ දුර්ගය ඔස්සේ පැමිණෙන්නෙකුට කිලෝ මීටර 33ක් දුර ගෙවියයුතු වේ. මාර්ගයේ පුළුල්ම ස්ථානය අඩි 450ක් වන අතර පටුම ස්ථානය අඩි 10කි. පෙෂාවෝරය සැතපුම් 10 1/2 ක් එනම් කිලෝමීටර 17ක් පමණ වයඹ දෙසින් ඇති මෙය පිළිබඳ ඇති පැරණිම ලේඛනගත වාර්තාව පර්සියාවේ ඩේරියස් රජ සමයට අයත් වේ. ක්‍රි.පූ. 5වන සියවසේදී හේ මේ දුර්ගය භාවිත කළේය. ඉන් අනතුරුව මහා ඇලෙක්සැන්ඩර් ඝෂ්නි මුහම්මද් , විමුරලේන්, බාඛර්, නදීර්ෂා වැනි ආක්‍රමණිකයෝ මේ ඔස්සේ වරින්වර භාරතයට ඇතුළු වූහ. මේ ඔස්සේ පිවිසෙන ආක්‍රමණිකයෝ පාලනය කරනු පිණිස ඉදිකළ බලකොටුවක් පසු කාලයේ පෙෂාවෝර් නගරය ලෙස දියුණු වූ වග කියවේ. මේ ඔස්සේ දියුණු වූ වග කියැවේ. මේ ඔස්සේ පිවිසෙන්නෙකුට පළමුව මුණගැසෙන්නේ සරුසාරවත් පංජාබයයි. මේ නිසා ඒ ඔස්සේ පිවිසෙන්නෙකුට ආහාරපාන හිඟයකට මුහුණදීමට සිදු නොවේ.

ගංගා යමුනා තැනිතලා ප්‍රදේශය ඉතා සාරවත් ප්‍රදේශයක් වූයෙන් කෘෂි කටයුතු සරුවට සිදුකරන ලදී. ගංගා නිම්න මාර්ග වශයෙන් ද භාවිත වූ නිසා මේ ප්‍රදේශයේ වර්ධනය වූයේ හුදෙකලා ගෝත්‍ර නොව දියුණු රාජධානීන්ය. මේ නිසා විශාල අධිරාජ්‍ය බිහිවීමට කිසිඳු බාධාවක් මේ නිම්නයේ නොවීය. ඉන්දියානු අධිරාජ්‍යවාදය සංකේතවත් කළ තොරණ වශයෙන් මේ ප්‍රදේශය හැඳින්වීමට හේතුව ද එයයි.

ඉන්දු හා ගංගා තැනිතලා ප්‍රදේශයේ ඉතා දියුණු නගර ද බිහිවිය. පැට්නා හෙවත් පාඨලීපුත්‍රය, අයෝධ්‍යා, කන්‍යාකුබ්ජ, හස්තිනාපුර, මථුරා, අග්‍රා, කෞෂම්භි, ඉන්ද්‍රප්‍රස්ත හෙවත් නූතන නවදිල්ලිය ඊට උදාහරණ කිහිපයකි.

ඉන්දු-ගංගා තැනිතලාව භාරතීය දර්ශනයේ මහගෙදර ද විද්‍යාෙව් මාතෘභූමිය ද විය. බුදුන්වහන්සේ, මහාවීරතුමා ඇතුළු විමුක්තිකාමී දාර්ශනිකයෝ මේ නිම්නයෙන් බිහිවී විශ්වීය සීමාවන් ද ඉක්මවා ගියහ. ලෝකයට විද්‍යාව බිහිවූයේ භාරතීය දර්ශනය ක්ෂේත්‍රයක් කරගනිමිනි. මේ නිසා ඉන්දු-ගංගා මිටියාවත්හි දාර්ශනික හා ආගමික වැදගත්කමක් ද ඇත්තේය.

සින්ධු නදිය නිසා සින්ධ් ප්‍රදේශය සරුසාර තැන්නක් බවට පත්විය. කිලෝ මීටර දහස් ගණනක ගමන නිමා කරන්නට ආසන්නව තිබියදී සින්ධු නදිය ඩෙල්ටාවන් රැසක් නිර්මාණය කරමින් ශාඛා රැසකට බෙදී අරාබි මුහුදට එක්වේ. මේ ආශ්‍රිත භූමිය සරුසාර වීමට මේ සාධකය අතිශයින්ම බලපාන ලද්දේය. සින්ධු ගංගා නදීන් නිසා ථාර් කාන්තාරයේ ව්‍යාප්තිය ද සීමා වී ඇත.

අරවල්ලි කඳු මධ්‍ය ඉන්දීය සානුවට බටහිරින් විහිද ගිය කඳුවැටියක් වන මෙහි එක් බෑවුමක් ථාර් කාන්තාරයටත් අනෙක් බෑවුම සශ්‍රීක ගංගා නිම්නයටත් සම්බන්ධ වේ. තුන්කොන් අරගලය අවස්ථාවේ ගුර්ජර ප්‍රතිහාරයෝ මේ කඳු ආසන්න මර්වාරයේ මන්දෝර් ප්‍රදේශය වාසභූමියක් වශයෙන් පවත්වාගෙන ගියහ.