වයඹදිග දුර්ග මාර්ග ඉන්දීය ඉතිහාසයට ඇතිකළ බලපෑම

ආසියා මහද්වීපයට අයත් විශාල උපමහද්වීපයක් වන ඉන්දීය භූමිය කඳුවැටි, ගංගා, දුර්ග ආදියෙන් බහුල භූමියකි. මෙම දුර්ග මාර්ග විවිධ කාලවල විවිධ ආකාරයෙන් ඉන්දීය ඉතිහාසය කෙරෙහි බලපෑම් ඇතිකර තිබේ. නමුත් ඉන්දීය ඉතිහාසය කෙරේ වැඩිම බලපෑම් ඇති කළේ වයඹදිග දුර්ග මාර්ගයන් වේ. එබඳු දුර්ග මාර්ග කිහිපයක් වයඹදිග ඉන්දියාවේ පිහිටා තිබේ.

  1. කාබුල් නදී නිම්නයේ සිට පෙෂවෝරය දක්වා වැටී ඇති කයිබර් දුර්ගය
  2. සුලෙයිමාන් කඳුවලට බටහිරින්, කයිබර් දුර්ගයේ සිට කිලෝමීටර 800ක් දකුණෙන් පිහිටි බෝලාන් දුර්ගය.
  3. කිර්තාර් කඳු හා අරාබි මුහුද අතර, බෝලාන් දුර්ග මාර්ගයේ සිට කිලෝමීටර 480ක් දකුණෙන් පිහිටි මක්‍රාන් දුර්ගය.
  4. ඇෆ්ගන් කඳු ආශ්‍රිතව ඇරඹී ඉන්දු නිම්නය තෙක් විහිදෙන හේරාත් දුර්ගය.

ඉහත දුර්ග මාර්ග දෙස පොදුවේ විමසුම යොමුකළ විට පෙනී යන්නේ වයඹදිග දුර්ග ස්ථානගත වී ඇත්තේ කඳු ආශ්‍රිතව බවයි. මේ දුර්ග ඉන්දීය ඉතිහාසය කෙරේ යහපත් මෙන්ම අයහපත් ආකාරයෙන් ද බලපා තිබේ. බටහිර හා මධ්‍ය ආසියාව සමග භාරතීය සබඳතා රැකුණේ මේ දුර්ග නිසාවෙනි. උතුරුදිග හා වයඹදිග කඳු පන්ති නිසා ආසියානු දැවැන්ත භූමි ස්කන්ධයෙන් වෙන්වී හුදෙකලා රටක් වශයෙන් වර්ධනය වීමට ඉන්දියාවට සිදුවුව ද එකී හුදෙකලාව බොහෝ දුරකට ඉවත් කරන්නට මේ දුර්ග මාර්ග සමත් වී තිබේ. කාබුල් නිම්නය ඔස්සේ බාමියන් නිම්නයට පිවිසී එතැනින් වැටී ඇති, ගොඩබිම් සේද මාවතට සම්බන්ධවීමට ඉන්දියානුවෝ සමත් වූයේ මේ දුර්ග මාර්ග නිසාවෙනි. මේ නිසා භාරතයේ පූර්ණ හුදෙකලාව බිඳුණි. ආර්ය සංක්‍රමණය සිදු වූයේ ද මේ ඔස්සේය. එය භාරතීය ඉතිහාසය නව ඉසව්වකට දිශානුගත කළ සිදුවීමක් ලෙස පිළිගැනෙයි. ඔවුහු ඉන්දු නදී ශිෂ්ටචාරය නිමා කිරීමට මුල් වුවද ගංගා නිම්නයේ මහා අධිරාජ්‍ය බිහිකිරීමට දායක වූහ. මධ්‍ය ආසියාතික යු-එ-චී ගෝත්‍රයෙන් බෙදී ආ කුෂාණයෝ ද මේ ඔස්සේ භාරතයට පිවිස එහි නැවුම් සංස්කෘතියක් බිහිකළහ. ගන්ධාර කලා සම්ප්‍රදාය භාරතයට දායාද කළේ ඔවුහුය. ග්‍රීක ආභාසයෙන් වුවත් දේව රූප කාගෙන් වුවත් මුල් බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කළේ මොවුන් යැයි පිළිගැනීමක් තිබේ. රොලිස්සන් පඬිතුමා පවසන්නේ සංක්‍රමණික ආක්‍රමණික ජනයා මෙන්ම සාමකාමී වෙළෙඳුන් ද භාරතයට පිවිසියේ මේ ඔස්සේ බවයි. මේ මාර්ගය ඔස්සේ පිවිසි වෙළෙඳුන් තක්ෂිලාවේ සිට භාරතයේ සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත වීමේදී අවන්තියේ අගනුවර වූ උජ්ජේනිය හරහා ගමන් කළ බවට සාධක තිබේ. උජ්ජේනිය හරහා ගංගා නිම්නයට මෙන්ම දකුණු ඉන්දියාවට පිවිසීමට ඇති බැරෝඩාවට ද මාර්ග පහසුකම් විය. මේ නිසා එකල ඉන්දීය උපමහද්වීපයේ ප්‍රමුඛ වෙළඳ නගරයක් වශයෙන් වර්ධනය වන්නට උජ්ජේනියට හැකිවිය. ලංකාවේ ලියැවුණු ගුත්තිල කාව්‍ය සඳහා පාදක වූ ගුත්තිල ජාතකයේ ද මේ නගරයේ වෙළඳ කටයුතු පිළිබඳව යම් යම් ඉඟි ඇතුළත්ව තිබේ.

දුර්ග මාර්ග ඔස්සේ ඉන්දීය භූමියට සංක්‍රමණ හා ආක්‍රමණ එල්ල වූවා පමණක් නොව මධ්‍යාසියාතික ප්‍රදේශවලට භාරතීය බලපෑම ද එල්ල විය. කණිෂ්ක රජු චීනයේ දේශ සීමාව තෙක් සිය දේශපාලනය ව්‍යාප්ත කළේ ය.ඉන්දීය වෙළෙන්දෝ ගොඩබිම් සේද මාවතට සම්බන්ධ වූයේ ද වයඹදිග කයිබර් දුර්ගය ඔස්සේය. කාබුල් නිම්නය, බාමියන් නිම්නය ඔස්සේ ඔවුහු බටහිර සමග ගනුදෙනු කළහ. ඇලෙක්සැන්දර් ආක්‍රමණ සමග භාරතීයයන්ගේ යුරෝපා සබඳතා වර්ධනය වූ බව පිළිගැනෙයි. ඊට හේතුව එකී ප්‍රදේශ එකම පාලනයකට නතුවීම නිසා අන්තරායකර තත්ත්වයන් පහව යෑමයි. මධ්‍යාසියාතික ප්‍රදේශවලට බුදුදහම ව්‍යාප්තවීම කෙරෙහි ද මේ දුර්ග බලපා තිබේ. බාමියන් නිම්නයෙන් හමු වුණ බෞද්ධ සංඝාරාම නටබුන් හා මෑතකාලීනව තලේබාන් මුස්ලිම් අන්තවාදී සංවිධානය විසින් බිඳහෙළූ සුවිසල් බාමියන් බුද්ධ ප්‍රතිමාවලින් පෙනී යන්නේ භාරතීය සංස්කෘතිය මේ නිම්නය ඔස්සේ මධ්‍යාසියාවට ගලා ගොස් ඇති බවයි.

ආර්ය  සංක්‍රමණවලින් ඇරඹී අහමඩ් ෂා අබ්දාලි දක්වා වන සංක්‍රමණික හා ආක්‍රමණික ජනයා භාරතයට පිවිසියේ වයඹදිග දුර්ගමාර්ගවලින් යැයි සඳහන් කළේ ආචාර්ය බැනර්ජි විසිනි. නමුත් මේ බහුතරය භාවිත කළේ කයිබර් දුර්ගයයි. ඊට අනුව ඒ ඔස්සේ භාරතයට පිවිසි පිරිස අතර ග්‍රීක, පර්සියන්, ශක,කුෂාණ, හූන, මුස්ලිම්, මෝගල් වැනි ආක්‍රමණික සංක්‍රමණික කණ්ඩායම් රැසක් හඳුනාගත හැකි වේ. මෙම කණ්ඩායම් භාරතයට පිවිසි පසු ඔවුන් ඉනිදීය උපමහද්වීපයේ ඉතිහාසය ගොඩනැංවීමත් , හැඩගැන්වීමටත් අතිමහත් බලපෑමක් සිදුකර තිබේ. මක්‍රාන් දුර්ගය වැටී ඇත්තේ අරාබි මහුද හා බිර්නාර් කඳුපෙළ අතරිනි. මෙය අධික උෂ්ණත්වයක් පවතින ප්‍රදේශයක් වන අතර කාන්තාර ප්‍රදේශ හරහා හමා එන  දැඩි උණුසුම් සුළඟකින් ද යුක්තය.නමුත් ඉන්දුනිම්න වැසියන් මේ හරහා බටහිර රටවල් සමග සබඳතා පැවැත්වී යැයි පෝල්මන් චයිල්ඩ් වැනි ඉතිහාසඥයින් සඳහන් කර ඇත.

දේශපාලනික බලපෑම්-

ආර්යයන් මේ ඔස්සේ භාරතයට පිවිස පළමුකොට පංජාබයේත් පසුව ගංගා නිම්නයේත් ජනාවාස පිහිටවූහ. ඔවුන් පංජාබයේ සිටියදී ගෝත්‍ර වශයෙන් සංවිධානය වූ අතර රාජන්වරයකු යටතේ පාලනය වූහ. රාජන්වරයා යටතේ වූ විෂ් නමැති පාලන ඒකකය විෂ්පතිවරයා විසින් ද විෂ් ඒකකය තුළ වූ ගම් නමැති පාලන ඒකකය ගම්පතියා හෙවත් ග්‍රාමණීවරයා යටතේ ද පාලනය විය. කුඩා යුධ හමුදා පවා පිහිටුවා ගනිමින් ගෝත්‍ර අතර වරින්වර ඇති වූ යුද්ධ ද සහිතව ඔවුන් ඉන්දීය අර්ධද්වීපයට වෙනස් දේශපාලන රටාවක් හඳුන්වා දුන්හ. යුධකාමී නොවූ සමකාමී ඉන්දුනිම්න වැසියන් වෙනුවට රණකාමී විජිගීෂාවෙන් කුලුගැන්වුණු රාජන්වරුන් සමග ගංගා නිම්නයට පිවිසි ඔවුහු මහා අධිරාජ්‍ය දක්වා වර්දනය වූහ. රාජාණ්ඩු හා සමූහාණ්ඩු නිර්මාණය කළහ. ඉන්දු, ග්‍රීක,ශක, කුෂාණ, පහ්ලව, වැනි විජාතීය බලවේග කලින්කලට උත්තර භාරතීය දේශපාලනයේ තේමාවන් මාතෘකාවන් බවට පත්විය. ඔවුන් උතුරු ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවකම තම බලය ව්‍යාප්ත කළ අතර හූණ වැනි ප්‍රබල ආක්‍රමණික ජාතීන් නිසා ගුප්තවරුන්ට පවා ඉන්දීය ඉතිහාසයේ සිය පරිච්ඡේදය නිමාකරන්නට සිදුවිය.

තොරමාණ හා මිහිරකුල යටතේ සංවිධානය වූ හූණයෝ ගුප්ත අධිරාජ්‍යයට පහර දී එය අඩපණ කළ අයුරු ඉන්දීය ඉතිහාසය විමසන්නෙකුට පෙනී යනු ඇත. යශෝවර්මන්ට පහසුවෙන්ම ගුප්තයන් පරාජය කිරීමට හැකිවූයේ හුණයන් මෙලෙස ගුප්තයන් අඩපණ කොට තිබූ නිසාවෙනි.

මුස්ලිම්වරුන්ගේ ආක්‍රමණ නිසාවෙන් ද ඉන්දීය ඉතිහාසය තීරණාත්මක අයුරින් වෙනස් විය. ඉන්දීය භූමියේ හින්දු හා බෞදධ පදනම් සුණුවිසුණු කරනු පිණිස ම්ලේච්ඡත්වය භාවිත කළෝ ඔවුහුය. ඔවුන්ගේ ආක්‍රමණශීලී ම්ලේච්ඡ  ප්‍රහාර නිසාවෙන් නාලන්දා බෞද්ධ විශ්වවිද්‍යාලයේ භික්ෂූන් වහන්සේලා දහස් ගණනකට ජීවිත අහිමි විය.

බලුකිස්ථානයේ විසූ ද්‍රවිඩ ජනයා ඉන්දියාවට සංක්‍රමණය වූයේ බෝලාන් දුර්ගයෙන් යැයි හෙරස් පියතුමා පවසයි.  ආරාබීන්ගේ ඉන්දීය ආක්‍රමණ හා ඇලෙක්සැන්දර්ගේ ආපසු ගමන සිදුවූයේ මැක්‍රාන් දුර්ගයෙනි. අශෝක හා කණිෂ්ක රජවරු මධ්‍යාසියාව හා සබඳතා පැවැත්වූයේ මේ දුර්ගවලිනි.

කුෂාණවරුන් ඉන්දිය දේශපාලනයට බලපෑම් කළේ වෙනස් අයුරකිනි. ග්‍රීක වැනි අපරදිග බලවේග සමගත් චීන වැනි පෙරදිග බලවේග සමගත් සබඳතා පැවැත්වූ කුෂාණයෝ වයඹදිග ඉන්දියාව මුල්කරගත් අධිරාජ්‍යයක් ගොඩනැංවූහ. කයිබර් දුර්ග මුඛයේ අධිරාජ්‍යයක් තනවා සාමාන්‍ය ජනාවාසයක් පවා පවත්වාගැනීම අභියෝගයක් වූයේ සතුරා කුමන මොහොතක සක්‍රීය වේදැයි කිව නොහැකිවන නිසාවෙනි. නමුත් කුෂාණයෝ සිය බලය භාරතය තුළට මෙන්ම ඉන් පිටතට ද ව්‍යාප්ත කළ නිසා ඔවුන්ට අභියෝගයකින් තොරව අධිරාජ්‍යයක් නිර්මාණය කළ හැකිවිය. මේ වංශයේ ප්‍රබලතම පාලකයකු සේ අවිවාදයෙන්ම පිළිගන්නා කණිෂ්කයන් විසින් භාරතීය දේශපාලන හා සංස්කෘතික කටයුතු ඉන්දියාවෙන් ඔබ්බට ද ව්‍යාප්ත කරන ලදී. මේ නිසා මේ යුගය භාරතීය දේශපාලනය දේශසීමා අභිභවනය කළ යුගයක් වශයෙන් පිළිගැනෙයි. එහි ගෞරවයේ වැඩි බර කණිෂ්කයන් වෙත යොමු වේ.

මේ ආකාරයට ඉන්දීය බලය වර්ධනය කිරීමට මෙන්ම මර්දනය කිරීමට ද සමත් වූ ආක්‍රමණික සංක්‍රමණික පිරිස් ඉන්දියානු භූමියට පිවිසෙන්නේ මේ දුර්ග ඔස්සේ ය. පහ්ලව, ඉන්දුග්‍රීක වැනි ජන කණ්ඩායම් සම්බන්ධයෙන් ද මේ තත්ත්වය අදාළ වේ.

මේ සංක්‍රමණික ජනයා හා ආක්‍රමණික කණ්ඩායම් ඉන්දීය සංස්කෘතියට ද විශාල බලපෑමක් කර තිබේ. ඉන්දු නිම්නයේ ජනයා අතර පැවතියේ ආධ්‍යාත්මික චින්තනයක මුල් අවස්ථා පිළිඹිඹු කළ ආගමික ඇදහිලි හා විශ්වාසයන් ය. අමුර්තවාදී නිරූපණ විධි අනුව කළ මාතෘ දෙවඟන, පුරුෂ දේව, ලිංග පූජා ආදී ක්‍රම ඊට උදාහරණ වේ. නමුත් ඔවුන් යටපත් කරමින් පැතිර ආ නව ආර්ය සංස්කෘතිය තුළ ඇත්තේ භක්තිය හා මිථ්‍යව මුල්කරගත් ආගමික චින්තනයන්ය. පසු කාලයේ උත්තර භාරතය මුල්කරගෙන ලෝකයටම දාර්ශනික සිතුවිලිධාරා පැතිර ගිය ද අදවන විට යළිත් භාරතය මිථ්‍යා හා භක්තිවාදී ආගම්වල පූර්ණ ගොදුරක් බවට පත්ව තිබේ. ආර්යයන් රැගෙන ආ යාග හෝම දේව වන්දනා , ගිනි, ජල, වෘක්ෂ වන්දනා ක්‍රම භාරතීය භූමියේ දිගුකාලීන වශයෙන් මුල්බැසගෙන ඇති වග ඉන් පෙනීයයි. මීට අමතරව මුස්ලිම් ආක්‍රමණයන්හි ඵලයක් ලෙස ඉන්දියාවේ සැලකිය යුතු තරමේ මුස්ලිම් ජනකායක් ද ව්‍යාප්තව සිටී. ඔවුන් ඉන්දීය සංස්කෘතියට මූගල් කලාව එක් කළ ද ඉස්ලාමය තුළ කලාවක් වශයෙන් පැවතියේ  අල් කුරාණයේ ශුද්ධ පාඨ අලංකාර කැලිග්‍රැෆියෙන් ලිවීමේ ක්‍රම පමණි. නමුත් භාරතීය අධ්‍යාත්මික කලාවේ ආභාසය ඇතිව ඔවුන් භාරතයේදී වෙනස් කලාවක් බිහි කළහ. ඉස්ලාමයේ කලාව පිළිබඳ ඇති සීමා අභිභවනය කොට නව ඉසව්වකට පිවිසුණහ. කජුරාඕ වැනි ස්ථානවල හින්දු කලාවේ ශුංගාරාත්මක අංශය ඔවුන් වැඩි වශයෙන් අනුකරණය කර ඇති බවක් පෙනී යයි.

ග්‍රීක- ඇරමයික්, චීන, උර්දු, පර්සියන් , රෝම ආදී භාෂෘවන් මෙන්ම එකී භාෂෘවන් අයත් මුල් රටවල සංස්කෘතිකාංග ද භාරතයේ ව්‍යාප්ත වූයේ මේ ආක්‍රමණ හා සංක්‍රමණ හේතුවෙනි. ග්‍රීක මූර්ති කලාව ගන්ධාර මුල්කලාව තුළ හොඳින්ම ප්‍රකට විය. බුදුරදුන්ගේ දුෂ්කරක්‍රියාව පිළිබඳ ගන්ධාර මූර්තිය ඊට කදිම උදාහරණයයි. බුද්ධිය හා ආධ්‍යාත්මිකත්වය සංකේතවත් කරමින් නළල්තගය කේන්ද්‍ර කරගෙන හිසට පිටුපසින් විහිදෙන රැස් මාලාව වෙනුවට ගන්ධාර ශිල්පියා බුද්ධ රශ්මි මාලාවට කේන්ද්‍රය ලෙස යොදාගන්නේ නාසිකාග්‍රයයි. එහි අරුත ලෞකිකත්වය, කායික පැවැත්ම ආදියට සම්බන්ධ වේ. පර්සියානු හා රෝමානු ගෘහ නිර්මාණ ලක්ෂණභාරතීය භූමියේ දැකීමට හැකි වේ. මෑතකදී වයඹදිග ඉන්දියාවේ කළ කැනීමකදී සොයාගත් කොරින්තියානු කුලුණු ශීර්ෂය රෝම කලාවේ ආභාසයෙන් කළ එකකි. සුප්‍රකට ට්‍රෝජන් ස්තම්භයේ ඇති පුද්ගල රූප බහුල කලා ලක්ෂණයට සමාන කලා නිර්මාණ අමරාවතී හා මාමල්ලපුරම් කැටයම් අතර ද දක්නට ලැබෙයි. ඉන්දීය දාර්ශනික චින්තන ධාරව තුළ හමුවන අභ්‍යවකාශය පිළිබඳ යථාවබෝධය බෞද්ධ සප්ත සූර්යෝද්ගමන, අග්ගඥ්ඥ වැනි සූත්‍ර ධර්මයන්හි ප්‍රකට වේ. නමුත් ආර්යයන් මාර්ගයෙන් භාරතීය භූමියට ආ මිත්‍යා අදහස් ග්‍රහ තාරකා සම්බන්ධ මුසාවන් පසුව ජ්‍යොතිෂය වශයෙන් වර්ධනය විය. ‘ඈත අහසේ ඇති තාරකාවන්ට කළ හැකි යමක් නැත‘ යනුවෙන් බෞද්ධ ඉගැන්වීම් තුළ සඳහන්වීමෙන් ම පෙනෙන්නේ ජ්‍යොතිෂය අමූලක විෂයයක් වශයෙන් පවතින බවයි. මේ විෂයට පදනම් වූ දර්ශනය භාරතයට පිවිසියේ ආර්යයන් සමගින් යැයි දැනට පිළිගැනෙයි.

භාරතය තුළ කුල ක්‍රමය හා පිතෘ මූලික සමාජයක් බිහිවීමට දමෙකී ආක්‍රමණ හා සංක්‍රමණ හේතු වී ඇත. ඉන්දු නදී සභ්‍යත්වයෙ පැවති මාතෘ මූලික සමාජය වෙනුවට සංචාරක එඬේරුන් අතර පැවති දරදඪු වීරත්වය මත පදනම් වූ පිතෘ මූලික සමාජයක් භාරතයේ පැතිරුණි. මාතෘ දෙවඟන වන්දනා කළ ඉන්දු වැසියන් මව සිය සමාජ සන්ධර්භ තුළ ප්‍රධාන භූමිකාවක් වශයෙන් විශ්වාස කළහ. නමුත් පසුකාලීනව බිහිවූ වෛදික සමාජයේ පිතෘ මූලික ලකුණු වර්ධනය වූ අතර සියල්ලෝ පියාට අවනත වියයුතු යැයි පොදු සම්මතයක් ඇති විය. පශ්චාත් වෛදික යුගයේ ද එය ස්ත්‍රිය අධික ලෙස පීඩාවට පත් කරනා අමූලක මිථ්‍යා විශ්වාසයක් තරමටම වර්ධනය විය.කුල ක්‍රමය ද වර්ධනය වූයේ ඒ අයුරිනි. හරප්පා සභ්‍යත්වයේ ආදි ඔස්ට්‍රොලොයිඩ් , මොංගොලොයිඩ් ඇල්පයින් හා මධ්‍යධරණී ජනවර්ග එක්ව වාසය කළ බවට සාධක තිබේ. ඔවුන් එකී වාර්ගික පදනම මත බෙදීසිටි බවක් පෙනෙන්නට නැති. නමුත් ආර්ය ශිෂ්ටාචාරය තුළ එය වෙනස් විය. සෘග් වේදයේ පුරුෂ සුක්තයේ දැක්වෙන පරිදි සමාජයට මහාබ්‍රහ්මයා විසින් කුල 4ක් නිර්මාණය කර තිබේ. බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය හා ක්ෂුද්‍රයනු ඒ කුල හතරයි.

ඉන්දීය සමාජය වාණිජකරනය වීමේ මුල් පියවර හමුවන්නේ ද මෙම දුර්ග ඔස්සේ පිවිසි  ජනයා මගින් ඇතිකළ සමාජ ආර්ථික ක්‍රමය තුළිනි. ඔවුන් මුදල් මුල්කරගත් ගනුදෙනු කටයුතු කළ අතර එය ඉන්දීය සමාජයට ද පවරා දුන්හ. සංචාරක එ‍ඬේර ජීවිතය තුළ ඔවුන්ට හමුවුණ විවිධ ගෝත්‍ර සමග ඇතිකරගත් සංවේදී නොවන ගනුදෙනු තුළ වර්ධනය වූයේ හුවමාරු ක්‍රමයකි. මේ නිසා මුදල් භාවිතය වර්ධනය විය. පේෂ කර්මාන්තය ඉන්දු නිම්නයේ ද වර්ධනය වී තිබුණි. නමුත් කුල ක්‍රමය පදනම් කරගත් වෘත්තීන් වර්ධනය වූයේ ආර්ය සංක්‍රමණවලින් අනතුරුවය. සෘග් වේදයේ පුරුෂ සුක්තයේ එන පරිදි කුල ක්‍රමය වර්ධනය වූ අතර ඒ ඒ කුල අතර වෙනස රැඳී තිබුණේ වැඩි වශයෙන්ම  රැකියාව අනුව ය. බ්‍රාහ්මණයින් හැර අන් කිසි කුලයකට ඉගැන්වීමේ අයිතියක් නොවීය. රාජ්‍ය පාලනය ක්ෂත්‍රීයන්ට ද වෙළඳ හා කෘෂි කටයුතු වෛශ්‍යයන්ට ද උරුම කරදී තිබීම ඊට උදාහරණ වශයෙන් දැක්විය හැකිය.

මෙලෙස වයඹදිග කපොලු ඉන්දීය සංස්කෘතියට, දේශපාලනයට, ආගම හා සමාජයට ඇතිකළ බලපෑම නිසා කලින්කලට, පත්වූ පාලකයන් මේ දුර්ග ආශ්‍රිත ප්‍රදේශ ආරක්ෂා කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ ආකාරය පෙනී යයි. ඒ අතරින් කයිබර් දුර්ගයේ ආරක්ෂාවට වැඩි අවධානය යොමුවිය. චන්ද්‍රගුප්ත මෞර්ය රජු මේ ප්‍රදේශය තුළ තම බලය පැතිරවීම විශේෂ අවශ්‍යතාවය සේ සලකා කටයුතු කළබව සෙලියුකස් හා ඇතිකරගත් ගිවිසුමෙන් ම පෙනෙයි. ඔහු මෙහි ද්වාර පාලකයකු තැබූ බව ද සඳහන් ය. එනම් දුර්ගය රකින්නෙකි. බිංදුසාර රජු මේ ප්‍රදේශයේ ඇතිවූ අරගලයට විශේෂ අවධානයක් යොමු කර එය නිරාකරණයට අන් කවරකු හෝ පත් නොකර සිය පුත්‍ර අශෝක කුමරාවම පිටත් කළේය . අශෝක රජු ද බලයට පත් වූ පසු මේ ප්‍රදේශයේ සංචාරය කළ බව ඔහුගේ ටැම්ලිපි අනුව පෙනී යයි.අශෝක රජු ටැම්ලිපි පිහිටවනු ලැබුයේ තමා සංචාරය කළ ප්‍රදේශවලය. කන්දහාර් ටැම්ලිපිය බෝලාන් දුර්ගයට සමීපව පිහිටා තිබේ. රංජිත් සිං ද කයිබර් දුර්ගයේ ද්වාර පාලකයකු පත් කළේ ය.

මේ ආකාරයට අවධානය යොමු කළේ මෙම දුර්ග ඔස්සේ පිවිසෙන සංක්‍රමණික ආක්‍රමණික පිරිස් ඉන්දීය සමාජයට, දේශපාලනයට , ආගම හා සංස්කෘතියට ඇති කළ බලපෑම විශාල වූ හෙයිනි.