ඉන්දු ගංගා මිටියාවතේ ඓතිහාසික වැදගත්කම

ඉන්දු ගංගා මිටියාවත වනාහී ගංගා – අතුගංගා රැසකින් පෝෂණය වූ භූමි ස්කන්ධයකි. ඉහළ කඳුකර ප්‍රදේශවලට වර්ෂාව පතිත වනවිට මේ ගංගාවල ජල මට්ටටම ඉහළ යයි. ඇතැම් විට පිටාර ගලයි. මේ නිසා ගංගාව ආශ්‍රිත භූමිය ඉතා සශ්‍රීකත්වයට පත්විය. මේ සශ්‍රීක භූමිය තුළ ඉන්දීය සංස්කෘතිය, දේශපාලනය, ආර්ථිකය, සමාජය ආදී බො‍හෝ අංශවල නොයෙකුත් බලවේග ක්‍රියාත්මක විය.

ඉන්දු නදී මිටියාවත

ඉන්දු නදී මිටියාවත යනු පැරණි ඉන්දියාවේ වඩාත් බටහිරට හා වයඹ දෙසට වන්නට ඇති සීමාබද ගංගාවේ මිටියාවතයි. මෙය වඩාත් ප්‍රකට වූයේ හරප්පා සභ්‍යත්වය මේ ආශ්‍රිතව පැනනැගුණු නිසාවෙනි. දැනට ලැබී ඇති සාධක අනුව පෙනී යන්නේ ක්‍රි.පූ.6000 තරම් ඈත කාලයකදීත් මෙහි ජනාවාස පැවති බවයි. බටහිර පාකිස්ථානයට අයත් මෙහාර් නම් නවශිලා යුගයේ ගම්මානය ඉන්දුනිම්න තැනිතලාවටත් එතැනින් බලුකිස්ථානයටත් සම්බන්ධ වී තිබුණි. මේ ජනාවාස ක්‍රි.පූ.8000ට පමණ අයත් වේ. රානාඝුන්දායි හා කිලි ගුල් මුහම්මද් ප්‍රදේශවල ද ක්‍රි.පූ. 5000දී පමණ එවැනි ජනාවාස ව්‍යාප්තව පැවතුණි. මේ එකිනෙක ගම්මාන අතර සබඳතා පැවති බවට ද සාධක හමුව තිබේ. ඔවුන් ගවයා ගෘහාශ්‍රිත කර තිබූ අතර තිරිඟු හා බාර්ලි වගා කළහ. තවත් වනසර භෝග කිහිපයක් ද ආහාරයට ගෙන ඇත. ඔවුන් නිවාස තැනූයේ මඩ ගඩොලිනි.

පසු කාලයේ ඉන්දු නිම්නයෙන් සොයාගත් ස්ටීටයිට් නිර්මාණවලට මූලපාදක වන්නට ඇතැයි සැලකිය හැකි ස්ටීටයිට් පබළු මේ ප්‍රදේශවල කැණීම්වලදි හමුවී තිබේ. මීට අමතරව කාශ්මීරයෙන් හා ස්වාත් නිම්නයෙන් හමුවී ඇති නවශිලා යුගයට අයත් ගම්මාන හතළිහකට ආසන්න ප්‍රමාණයෙන් පෙනී යන්නේ ඒ වනවිට ඒ ප්‍රදේශ තරමක් ජනාකීර්ණව තිබූ බවයි. මේ නිසා නාගරික ජීවිතයක මූලික ලක්ෂණ එහි තිබෙන්නට ඇත. මෙකී කරුණු සලකා බලා පුරාවිද්‍යාඥයෝ පොදු මතයකට එළැඹී සිටිති. ඒ ක්‍රි.පූ. 6000 වන පමණ විට ඉන්දු ඉරානීය සානුවේත් , ඉන්දු ගංගා නිම්නයේත් මූලික ජනාවාස බිහිවී තිබූ බවයි. ගෘහාශ්‍රිත කරන ලද ගවයින් ද ගෘහාශ්‍රිත කරන ලද ධාන්‍ය වර්ග ද රැගෙන ඔවුන් ඉන්දු නිම්නයට සංක්‍රමණය වූයේ ක්‍රි.පූ. 3000දී පමණ යැයි පිළිගැනෙයි. ඔවුන් තවත් වර්ෂ දහසකට පමණ පසුව එනම් ක්‍රි.පූ. 2000දී පමණ එහි නාගරික ශිෂ්ටාචාරයක් නිර්මාණය කිරීමට සමත් වූහ. නැගෙනහිර ඉන්දු නිම්නයේ වැඩි වශයෙන් පැතිරගිය මේ ජනාවාස වත්මන් යුගයේ හඳුන්වන්නේ ප්‍රාදේශීයකරණ යුගයේ ජනාවාස නමිනි.

මේ ජනාවාස සමස්තය මේහාර් ප්‍රධාන කරගනිමින් ව්‍යාප්ත වූ බවට ද සාධක තිබේ. ඔවුන් මැටි බඳුන් නිෂ්පාදනයට විශාල නැඹුරුවක් දැක්වූ අතර ලෝකඩ ද යම් තරමක් භාවිත කළහ.  එනම් ඔවුන් කැල්කොලිතික සමයට පිවිස තිබුණි. ඔවුන්ගේ වළං, නාල් හා ක්වේටා යනුවෙන් සම්ප්‍රදාය දෙකකින් හමුවීමත් ඒක වර්ණ ද්විවර්ණ හා බහුවර්ණ වළං හමුවීමත්, සකපෝරුව භාවිත කර තිබීමත් අනුව පෙනී යන්නේ ඔවුන් සැලකියයුතු තරමේ දියුණුවක් අත්කරගෙන සිටි බවයි.

තඹ භාවිතය ඇරඹීම, ක්‍රමවත් සුසාන ක්‍රම භාවිතය, යුප්‍රටීස්-ටයිග්‍රීස් වැනි බාහිර ශිෂ්ටාචාර සමග සබඳතා පැවැත්වීම වැනි දියුණු තත්ත්වයකට පත්වීම නිසා ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ  මූලික ලකුණු පහළ වී තිබුණි. මක්‍රාන් වෙරළට නුදුරුව ඉන්දු නිම්නයේ ඇති බලකොත්හි පූර්ව හරප්පා ලක්ෂණ රැසක් දැකිය හැකි වේ. ගවයා, එළුවා, බැටළුවා ඇතිකළ ඔවුන් ගැසල් මුවන් දඩයම් කළහ. මුහුදු බෙල්ලන් හා වනසර භෝග පරිභෝජනය කළහ. බාර්ලි වගාකළහ. සකපෝරුව භාවිත කර සිත්ගන්නා මැටිබඳුන් නිපදවූහ. ආයත චතුරස්‍රාකාර නිවාස ඉදිකළහ. ඒවා කාමරවලට ද වෙන්කර තිබුණි. ඉන්දුනිම්නයේ මෙකී ජනාවාස ඇරඹී වර්ධනය වීමත් සමග උදාවූ කාලය පුරාවිද්‍යාඥයන් සලකන්නේ කොත්දිජි(කොට්ඩිජි) සමය නමිනි. ඒ කාලයේ ඔවුහු ගෝලාකාර හැඩ මැටිබඳුන් නිපදවීමට සමත් වූහ. ඒවා පින්තාරු කිරීමටත් මතුපිට කැටයම් කිරීමටත් පෙළඹුනාහ.

ඉන්දුනදී ශිෂ්ටාචාරයේ වර්ධිත අවස්ථාව වනවිට එහි ප්‍රධාන නගර ගණනක් වර්ධනය විය. මොහෙන්ජොදාරෝ, හරප්පා, ඩොලවිර, රුචිගාර් ආදී වශයෙනි. මේ අතරින් ප්‍රධාන නගරය වශයෙන් හඳුනාගෙන ඇත්තේ රුචිගාර් නගරයයි. ආසන්න වශයෙන් අක්කර 198ක භූමියක පැතිර පැවතියේය. මෙසේ මෙවැනි නගර වර්ධනය වීමත් සමග ඉන්දුනිම්නයේ වටිනාකම ද ඉහළ ගිය වග ද පැහැදිලිය. ඉන්දු නදිය මේ ශිෂ්ටාචාරයේ පෝෂණයට විශාල දායකත්වයක් දක්වා ඇත.

ඉන්දු නදී නිම්නයේ ඇති වැදගත්කම නිසාම ඉන්දු නදී සභ්‍යත්වය ද යටපත් කරමින් ආර්යයෝ පංජාබයේ ජනාවාස තනාගත්හ. සරුසාර පංජාබය පෝෂණය වූයේ ඉන්දු නදියේ ශාඛා හා උපශාඛාවලිනි. ඒ යුගයේ එහි ශාඛා නදී හතක් තිබූ නිසා සප්ත සින්දු නමින් හඳුන්වා ඇත. ඔවුන් එහි ගත කළේ ගෝත්‍රික ජීවන රටාවකි. නමුත් රාජන්වරයෙකු යටතේ පාලනය වූ ජන නම් ඒකකයක්, ඒ තුළ විෂ් නම් ඒකක කිහිපයක් ඒ ඔවුන්ගේ පරිපාලන ක්‍රමවත් බවට දෙස් දෙයි.විෂ් ඒකකය පාලනය කළේ විෂ්පතිවරයාය. ඔහු යටතේ ග්‍රාම කිහිපයක් විය. එකී ග්‍රාමයන් පාලනය කළේ ග්‍රාමනීන් විසිනි. කෘෂීකර්මය, සත්ව පාලනය, වෙළඳාම හා විවිධ වෘත්තීන් ඔවුන්ගේ ආර්ථිකයේ ප්‍රධාන අංග විය. මුදල් භාවිතය පිළිබඳ මුල් සාධක ඔවුන්ගේය. ඒවා නිෂ්ක නමින් හඳුන්වා ඇත. භාරතයට පිතෘ මූලික සමාජ ක්‍රමයක් හඳුන්වා දුන්නේද ,කුල ක්‍රමය හඳුන්වා දුන්නේ ද ඔවුන් යැයි පිළිගැනෙයි. වත්මන් ඉන්දියාවේ ව්‍යවහාරික භක්තිවාදී ආගම් ද ඔවුන් විසින් හඳුන්වා දුන් ඒවාය. ඉන්දියාවට වරින්වර ආ ග්‍රීක, ශක, කුෂාණ, හූණ, මූගල් ආදී ආක්‍රමණික සංක්‍රමණික ජන කොට්ඨාස ද පළමුකොට ජනාවාස පිහිටුවා ගත්තේ මේ ඉන්දු නදී නිම්න ප්‍රදේශයේය. ඉන්දුනිම්න ප්‍රදේශයට ආරාබි ආක්‍රමණ එල්ලවීමත් සමග එකී ප්‍රදේශාශ්‍රිත ඉන්දීය දේශපාලන බලය දුර්වල විය. මුහම්මද් ඉබන් කාසිම් , ඇල්ප්තිජින් , සබුක්තිජින්, වැන්නන්ගේ ආක්‍රමණ නිසා ඉන්දුනිම්නය ආශ්‍රිත ඉන්දීය බලය දුර්වල විය. මුහම්මද් ඉබන් කාසිම් ක්‍රි.ව. 712දී එල්ල කළ ආක්‍රමණය නිසා සින්ධි පාලක දහීර් ද මියයාම ඊට සාධකයකි. මේත් සමගම මුස්ලිම්වරුන්ගේ සංස්කෘතිය ඉන්දු මිටියාවතේ ව්‍යාප්ත වන්නට පටන් ගැනුණි. ගවයා පූජනීය වස්තුවක් කරගත් ජනයාගෙන් ගවයා ආහාර කරගත් ජන කොටසකට ඉන්දුනිම්නයේ දේශපාලන බලය හුවමාරු වීමේ අවසන් ඵලය වූයේ 1947 වැන්නේදී පමණ මොහොමඩ් අලි ජින්නා මුල් වී පිහිටුවාගත් පාකිස්ථාන රාජ්‍යයයි.

ගංගා නිම්නය

ඉන්දු ගංගා නිම්නය මෙන්ම ගංගා නිම්නය ද ඉන්දීය ඉතිහාසයට අතිමහත් බලපෑමක් සිදුකර තිබේ. ගංගා නිම්නයෙන් මෙතෙක් හමුවී ඇති පැරණිතම සාධක නව ශිලා යුගයට අයත්ය. ගංගා නිම්නයේ චොපානි මන්දො, මනගරා හා කොල්දිනවා යන ස්ථානවලින් ඇඹරුම්ගල් අත්ගල් හා සිදුරු විදින ලද ගල් හමුවී තිබේ. ඔවුන් කෘෂි හෝ ජල අවශ්‍යතා පිණිස පොළාව කණිනවිට භාවිත කළ උල් ලී දඬුවලට බර වශයෙන් එල්ලීමට සිදුරු කළ ගල්පතුරු භාවිත කළහ. වනසර වී වර්ග ප්‍රධාන ආහාරය කරගත් ඔවුන් ගෘහාශ්‍රිතකරණයට ලක්නොකළ ගවයින්, එළුවන් හා බැටළුවන්ගෙන් ද යැපුණාහ. චොපානි මන්දො ප්‍රදේශයෙන් සොයාගත් නිවාස දහතුනක නටබුන්වලින් මෙකී සාධක හමු වී තිබේ. අශ්වයා හා ඌරා ද ඔවුන්ගේ ජනාවාස ආශ්‍රිතව සිටි බවට සාධක ලැබී තිබේ.

වත්මන් ඉන්දීය භූමියේ විශාල ප්‍රමාණයක් ආවරණ කරමින් කිලෝමීටර 2525ක දුරක් ගලාගොස් බෙංගාල බොක්කෙන් සමුදුරට මුහුවන ගංගා නදිය ආශ්‍රිතව පසු කාලයේ බිහි වූ ශිෂ්ටාචාරය හඳුන්වන්නේ ගංගා නිම්න ශිෂ්ටාචාරය නමිනි. ඉන්දු නදී ශිෂ්ටාචාරය බිඳවැටීමෙන් පසු ක්‍රි.පූ. 1200- 500 අතර කාලය පුරා විද්‍යාඥයින් හඳුන්වන්නේ අඳුරු යුගය නමිනි. එකී යුගය අඳුරු යුගය ලෙස හඳුන්වන්නේ කිසිඳු කැපී පෙනෙන අධිරාජ්‍යයක් හෝ ශිෂ්ටාචාරයක පිබිදීමක් දක්නට නොලැබෙන බැවිනි. නමුත් මේ කාල පරාසය තුළ ගංගා නිම්නයේ නිහඬව සිදු වූ වෙනස්කම් රැසක් විය.

  • පරික්ෂිප්ත ජනාවාස බිහිවීම (පවුරකින් හෝ වැටකින් වටකළ ජනාවාස)
  • සැලසුම් සහගත නගර බිහිවීම.
  • ඉන්දුනිම්නයේ භාවිත වූවා සේ මුද්‍රා භාවිත වීම.
  • මැටි වළං නිෂ්පාදනය හා භාවිතය ඉහළයාම
  • යකඩ ලෝහය භාවිතයට ඒම.
  • දාර්ශනික චින්තන ධාරා සඳහා පසුබිම සකස්වීම
  • ඉන්දියාවෙන් පිටත බටහිර අධිරාජ්‍යයන් සමග සබඳතා වර්ධනය වීම.

මේ අතරින් අවසන් ලක්ෂණය ඉතා වැදගත්ය. තක්ෂිලා, බෙග්‍රම්,කන්දහාර් ආදී වයඹදිග ප්‍රදේශාශ්‍රිතව ඒ වනවිට ආකිමේනියානු පාලන මධ්‍යස්ථාන බිහිවී තිබුණි. පාඨලීපුත්‍රයෙන් හමුවන මෞර්ය රාජ මාලිගාවේ මූලික සැලසුම ආකිමේනියානු වාස්තුවිද්‍යා ශෛලියකට සකසා තිබීමෙන් මේ සබඳතා කොයි තරම් ප්‍රබල ද යන්න තහවුරු වේ. වයඹදිග ප්‍රදේශයේ ශිලාලේඛන පිහිටුවීමේදී අශෝක අධිරාජයා භාවිත කළ ඇරමයික් බස ඇකිමේනියාවු අධිරාජ්‍යයේ භාවිත වූ භාෂාවයි. වයඹදිග වූ මේ නාගරික ප්‍රදේශවල වූ ශක්තිමත් බලකොටු පසුකාලයේ ගංගා නිම්නයේ රාජධානි වර්ධයේදී මූලාදර්ශය වන්නට ඇත.

ක්‍රි.පූ. 8-6 සියවස් ආසන්න කාලයේ ගංගා නිම්නය ආශ්‍රිතව තිබූ සිය ගණනක් ජනාවාස අතරින් දහසයක් කැපී පෙනෙන රාජධානි වශයෙන් වර්ධනය වූ අතර ඉන් හතරක් තවදුරටත් වර්ධනය වී ප්‍රමුඛ රාජ්‍යය බවට පත්විය. ඒ අතරින් ද වඩාත් ප්‍රබල වූයේ මගධයයි. ගංගා නිම්නයේ අතිශය වැදගත් සිථානයක් මුල්කරගනිමින් වර්ධනය වූ මගධය මුල් කාලීනව පාලනය කළේ හර්යංක වංශිකයින් විසිනි. පසුව එහි පාලනය සිසුනාග වංශයටත් එතැනින් නන්ද වංශයටත් හිමිවිය. නන්දවරුන් අතර අවසානයා වූ ධනනන්ද පරදා චන්ද්‍රගුප්ත මෞර්ය රජු මගධයේ පාලකයා බවට පත්වූ පසු එය ඉන්දීය භූමියේ වැඩිම ප්‍රදේශයක ව්‍යාප්ත වූ අධිරාජ්‍යයක තත්ත්වයට වර්ධනය විය.

ඉන්දියානු භූමියේ වඩාත් සශ්‍රීක භූමිය වශයෙන් සැලකෙන ගංගා නිම්නය ආර්යාවර්ථය නමින් ද හඳුන්වයි. මෙය ක්‍රි.පූ. 6වන සියවස වනවිට විමුක්තිකාමී දාර්ශනිකයින් බහුල ප්‍රදේශයක් බවට ද පත්විය. ජෛන මහාවීරතුමා ඇතුළු ශඩ් ශාස්තෘවරු, බුදුන්වහන්සේ වැනි දාර්ශනිකයෝ ඉන්දියානු දේශපාලනය, සමාජය, සංස්කෘතිය නව මානයකට යොමු කළහ. ඔවුන් සිය දර්ශනය දේශනා කළේ මෙම ගංගා නිම්නයේ ය. මේ දර්ශනය ඉන්දීය දේශපාලනයට ද සැලකිය යුතු තරමේ බලපෑමක් කර තිබේ. බෞද්ධ හා ජෛන දහම මේ දේශපාලකයින්ට ආශිර්වාදයක් වී ඇත. පාඨලීපුත්‍ර නගරය විවෘත කරනු ලැබුයේ  බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයා වහන්සේලා විෂයෙහි මහා දානමය පුණ්‍ය කර්මයක් සිදුකිරීමෙන් අනතුරුව යැයි සඳහන් වේ. හර්යංක වංශිකයින්ගෙන් පසු මෞර්යෝ ද මෙකී ආගමික පදනම අනුව කටයුතු කළහ. මේ නිසා මේ ප්‍රදේශයේ විශාල ආගමික හා සංස්කෘතික ප්‍රබෝධයක් ද ඇතිවිය. බරාබර්හි සහ නාගර්ජුන් කොණ්ඩේ හි ඇති ආගමික මධ්‍යස්ථාන මථුරා, අග්‍රා, සාරානාත්, රුමින්දෙයි වැනි ස්ථානවල ඇති ඉදිකිරීම් ඊට සාක්ෂි වේ. ලෝමස් සෘෂි ලෙන පිහිටා ඇත්තේ බරාබර් කන්දේය. එය සමකාලීන භාරතීය දැවමය ගොඩනැගිලි කලාව අනුකරණය කළ ප්‍රවේශද්වාරයකින් යුක්තය. අජාසත් රජු පාඨලීපුත්‍රයේ පැවැත්වූ පළමු ධර්ම සංගායනාව, අශෝක අධිරාජයා පැවැත්වූ තෙවන ධර්ම සංගායනාව හර්ෂවර්ධනයන්ගේ ආගමික සම්මේලනය ආදිය මේ නිම්නය ආශ්‍රිතව පැවැත්වූ ආගමික උත්සව ආදියට උදාහරණ වේ.

ගංගා නිම්නයේ බිහිවූ මෞර්ය, ගුප්ත හර්ෂවර්ධන ආදී අධිරාජ්‍යයන්ට සමස්ත ඉන්දීය භූමියෙන් වැඩි කොටස පාලනය කිරීමට හැකි විය. චන්ද්‍රගුප්ත අධිරාජයා ඉන්දියාවේ පළමු අධිරාජයා සේ ද සැලකේ. මෞර්ය අධිරාජ්‍යයේ මූලාරම්භකයා ද විශ්ව කීර්තියට පත් අශෝක අධිරාජයාගේ ද මුත්තණුවන් වූ හෙතෙම උතුරු ඉන්දියාව, මධ්‍ය ඉන්දියාව, වයඹ ඉන්දියාව හා දකුණු ඉන්දියාවේ කාවේරිය දක්වා බලය ව්‍යාප්ත කළ බවට සාධක තිබේ. ඔහු මියයන්නේ ද කාවේරිය සමීප ශ්‍රමණ බෙල්ගෝල ආශ්‍රමයේදී ආගමික ප්‍රතිපත්ති අනුව ධ්‍යාන වඩමින් සිටියදී ය. සමුද්‍රගුප්ත, දෙවන චන්ද්‍රගුප්ත, ආදීන් ද ඒ ආකාරයටම මගධය හා ගංගා නිම්නය මුල්කරගත් පාලනයකට භාරතයේ බොහොමයක් ප්‍රදේශ යටත් කරගැනීමට සමත් වූහ.

ගංගා නිම්නයේ තවත් වැදගත්කමක් වූයේ ඛනිජ සම්පත් බහුල වීමයි. මගධයේ මුල් අගනුවර වූ රාජගෘහය අවට විශාල වශයෙන් නිධිගත ලෝහ සම්පත් විය. ඔවුහු ඒවා ගංගා නදියෙන් උතුරේ වූ ගෝත්‍රික රාජ්‍යවලට ද අළෙවි කළහ. විශාල යුධ ශක්තීන් වර්ධනය කරගැනීමේදී අවශ්‍ය වන ආයුධ නිපදවීමට ද මේ ලෝහ උපකාරී විය. ගංගා නිම්නයේ හා එහි ශාඛාවන්හි නිම්නවල මැණික් බහුල විය. මගධයේ ලිච්ඡවීන් සමග කළ යුද්ධයට එක් හේතුවක් වශයෙන් බෞද්ධ මූලාශ්‍රයවල දක්වා ඇත්තේ ගංගා නදියේ තොටපළක් අසල කඳු පාමුලකින් සොයාගත් මැණික් ඉල්ලමක් සම්බන්ධ සිදුවීමකි. මීට අමතරව මේ ප්‍රදේශයේ වන සම්පත ද බහුල වූයෙන් දැව හා අලිඇතුන් ආර්ථික භාණ්ඩ වශයෙන් වර්ධනය විය.

මේ නිම්නයේ පැවතියා වූ අනභිභවනීය උසස් ශිෂ්ටාචාරය, සංස්කෘතිය ද අරාබි මුස්ලිම්වරුන්ගේ ආක්‍රමණ නිසා විනාශ විය. නාලන්දාවේ දහස් ගණනක් භික්ෂූණ් වහන්සේ ලා මේ මුස්ලිම්වරුන්ගේ තියුණු අසිපතේ ගොදුරු බවට පත්වූයේ ශාස්ත්‍රාභිලාශීව සිටියදීය. හින්දු හා බෞද්ධ විහාරාරාම කලා නිර්මාණ රැසක් ඔවුන් විනාශකර දැමූයේ පිළිම වන්දනාව සම්බන්ධයෙන් ඔවුන් තුළ තිබූ නොකැමැත්ත නිසාවෙනි. නිසංසල සශ්‍රීක ගංගා නිම්නය රුධිරයෙන් ද කැපී කෙටී වෙන්වී ගිය මිනිස් හා සත්ත්ව සිරුරු වලින් ද වැසී ගියේය. මේ තත්ත්වය දිගින්දිගටම සක්‍රිය වූයෙන් ගංගා නිම්න ශිෂ්ටාචාරයේ නිමාව සනිටුහන් විය.

මේ ආකාරයට බ්‍රහ්මාවර්තයත්, ආර්යාවර්තයත් මුල්කරගෙන වර්ධනය වූ ඉන්දීය ශිෂ්ටාචරය නිසාවෙන් මේ ගංගා නිම්න දෙක ඉන්දීය ඉතිහාසයට අතිශය වැදගත් නිම්න දෙකක් බවට පත්විය.