කෘෂ්ණ නදිය

කෘෂ්ණ යන්නෙහි අරුත කාල වර්ණය යන්නයි. ඊට අනුව මෙය භාරතයේ කළු ගඟයි. නමුත් ඊට මේ නම යොදා ඇත්තේ දේව විශ්වාසයක් මත පදනම්ව විය යුතුය. කෘෂ්ණ නදියේ ප්‍රධාන අතුගංගාව වන්නේ තුංගභද්‍රා නදියයි. මේ ගංගා අතර භූමිය රායිචූර් දෙගම්මැදිය නමින් හැඳින්වෙන සරුසාර භූමියකි. මේ නදියෙන් පහළ ප්‍රදේශය ද්‍රවිඩ ශිෂ්ටාචාරයේ තොටිල්ල වශයෙන් හැඳින්වෙන ඈත දක්ෂිණයයි. ඊට අනුව දක්ෂිණ භාරතයෙන් ඈත දක්ෂිණය වෙන්කරන සීමාව වශයෙන්ක්‍රියාත්මක වන්නේ මේ ගංගාවයි. බටහිරදිග කඳු පන්තියෙන් ඇරඹී නැගෙනහිරට ගලා යන මේ නදිය ඩෙකෑන් ප්‍රදේශය හරහා ගලා යන්නේ මන්දගාමීවය. ඒ නිසා එම ප්‍රදේශයේ වැසියන්ට කෘෂී කටයුතු සඳහා ජලය සපයා ගැනීමේ පහසුවක් ඇත. ඒ නිසා ප්‍රදේශයේ ආර්ථිකය ශක්තිමත් කරන්නට මේ ගංගාවෙන් විශාල දායකත්වයක් ලැබී ඇත. එකී හැකියාවක් මේ ගංගාවට හිමිවීම නිසා මේ ඔස්සේ වර්ධනය වූ රාජධානියක් ද වෙයි. ඒ අන්ද්‍රා දේශයයි. අමරාවතී කලා සම්ප්‍රදාය ඉන්දියාවට දායාද කළ අන්ද්‍රාව පෝෂණය වූයේ මේ නදියෙනි. රායිචූර් දෙගම්මැදිය අතිශය සරුසාර ප්‍රදේශයක් වූයෙන් ඒ ප්‍රදේශය අත්කරගැනීමට ඉතිහාසයේ අවස්ථා කිහිපයකම යුද්ධ සිදුවිය. චෝල හා චාලුක්‍යයන් අතර ඇති වූ කොප්පම් හා කුදල් සංගමම් සටන් ඊට උදාහරණ වේ. ක්‍රිෂ්ණා නදී මෝදර පිහිටි වෙංගිය ද වරායක් වශයෙන් වැදගත් ස්ථානයකි.