ඉන්දියාවේ වඩාත් දකුණට වන්නට පිහිටි වැදගත් ගංගාවක් වන මෙය ඒ ආශ්‍රිත ප්‍රදේශයේ කෘෂි කටයුතු සඳහා ජලය සැපයූ ප්‍රධාන ගංගාවයි. ලංකාවේ වංකනාසිකතිස්ස රජ දවස ලාංකිකයින් දොළොස්දහසක් පැහැරගෙන ගොස් මේ නදිය ආශ්‍රිතව ජල ව්‍යාපෘතියක් පිණිස යෙදවූයේ යැයි ලංකාවේ මූලාශ්‍රයවල කියැවේ. ඊට ආසන්න කාලයක මේ නදිය හා ක්‍රිෂ්ණ නදිය අතර භූමියේ නියඟයක් පැවති බවට ශ්‍රී ලංකාවේ වසභ රාජ්‍ය සමයට සම්බන්ධ විස්තරයක් වේ. එරජ දවස ඉන්දියානුවන් ලංකාවෙන් ආහාර ආනයනය කිරීමට ඉල්ලීමක් කළ බව ද සඳහන්ය. ද්‍රවිඩ සාහිත්‍යයට අනුව කාවේරි නදිය පූජනීය නදියකි. ඔවුන්ගේ සාහිත්‍ය කෘතිවල මේ නදියපිළිබඳනිතර සඳහන් වේ. හේමවතී, අර්කවතී, කම්බානි ආදී අතුගංගා කිහිපයකින් පෝෂණය වන මේ නදිය තංජෝර්, කොයිම්බතූර් හා තිචිනාපොලි ආදී ප්‍රදේශ කිහිපයකටම ජලය සම්පාදනය කිරීම පිණිස යොදාගෙන තිබේ.
බටහිර මලබාර් වෙරළේ සිට කොයිම්බටෝර් කපොල්ල හරහා කාවේරි තැන්නටත්, එතැනින් නැගෙනහිර වෙරළේ පොන්ඩිචෙරි අසල අරික මේඩුවටත් විහිද තිබූ පැරණි වෙළඳ මාර්ගයක් පිළිබඳ රොමිලා තාපර් මහත්මිය සඳහන් කර තිබේ.
නර්මදා , කෘෂ්ණ ගෝදාවරී, කාවේරි නදීන්ගේ පහළ කොටස් ජල මාර්ග වශයෙන් ද යොදාගෙන ඇත.
මුල් දෙමළ සාහිත්‍යයේ, භාණ්ඩ තොග රැගෙන කාවේරි පටුනට පැමිණි යවනයන් පිළිබඳ සඳහන් වේ.
කාවේරි පටුනට ආ රෝමානුවන් නිසා කාවේරි පටුන සමෘද්ධිමත් නැව් තොටක් වශයෙන් වරධනය විය. එහිදී ඔවුන්ට කුළුබඩු, මැණික්, රෙදිපිළි පමණක් නොව සුරතල් සතුන් වශයෙන් වඳුරන් ගිරවුන් හා මොනරුන් ද ලබාගතහැකි විය. කාවේරි පටුන පසුබිම් කරගනිමින් නිර්මාණය වුණු ප්‍රේම කතාවක් ශීලප්පදිකාරම් කෘතියේ විස්තර වේ. කෝවලන් හා රාජ මන්දිර අභිසාරිකාවකගේ ප්‍රේම වෘත්තාන්තය දක්ෂිණ භෘරතයේ ප්‍රමුඛ තොටුපළ වූ කාවේරි පටුන ආශ්‍රිත සිදුවීම්වලින් සරසා ඇත.
චෝලයෝ ද කාවේරි පටුන ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් කරගත්හ. මුහුදින් එතෙර වෙළඳාමෙන් සිය රාජ්‍යය ශක්තිමත් කරගැනීමට ඔවුන්ගේ වැඩි අවධානයක් යොමුව තිබුණි.