ගංගා නම් නදියේ අග නිමවී ඇති ඩෙල්ටාවන් අතරින් බටහිරට වන්නට ඇති කොටසේ පිහිටි සුප්‍රසිද්ධ නෞකා තොටුපළකි. බුරුමය, චීනය, සියමය, ශ්‍රී ලංකාව වැනි රටවල් සමග අතීතයේ සිටම ඉන්දියානුවන් සබදතා පැවැත්වූයේ මේ තොටුපළ ඔස්සේය. විශේෂයෙන්ම උතුරු ඉන්දීය වෙළඳුන් ගිනිකොණ දිග ආසියාව හා සම්බන්ධ වූයේ මේ වරාය ඔස්සේය. මේ තොටුපළ අසලින් ඇරඹෙන ජල මාර්ගයක් ද ගොඩබිම් මාර්ගයක් ද පැවතියේ ය. ඒ දෙකම වාණිජ කටයුතුවලට සම්බන්ධ මාර්ග වේ. ඉන් ජල මාර්ගය ගංගා නම් ගග ඔස්සේ අලහබාද් දක්වා විහිදුණු අතර එතැනින් යමුනා නදිය ඔස්සේ අග්‍රා දක්වා විහිදුණි. ගොඩබිම් මාර්ගය පාඨලීපුත්‍රයටත් එතැනින් බරණැස හරහා වයඹදිග ඉන්දියාවේ කාබුල් ප්‍රදේශය දක්වාත් විහිද තිබුණි.
ලංකාවට ආ භද්දකච්චායනා කුමරිය මෙහි ආයේ තාම්‍රලිප්තිය හරහා ය. අශෝක රජු හා දූත සබඳතා පැවැත්වූ ලංකාවේ තිස්ස රජු ද සිය දූතයින් පිටත්කර හැරියේ තාම්‍රලිප්තියටය. එතැනට යාමට සතියක් ගතවූයේ යැයි මහාවංසයේ සඳහන් වේ. එතැන් සිට පාඨලීපුත්‍රයට ගොඩබිම් මගින් යාමට සතියක කාලයක් ගතවිය. ශ්‍රී ලංකාවේ මහාතිත්ථ, ජම්බුකොල, ගෝකණ්ණ වැනි වරායන් ඔස්සේ තාම්‍රලිප්තිය සමග සබඳතා පවත්වා ඇති බව මෙරට සාහිත්‍ය මූලාශ්‍රය අනුව පෙනී යයි. තාම්‍රලිප්ති වරාය වර්තමානයේ තම්ලුක් නමින් හැඳින්වේ.
තාම්‍රලිප්ති වරාය නිසා වංග දේශයට විශේෂ වැදගත්කමක් ද හිමිවිය. තාම්‍රලිප්තියේ සිට බුරුමය දෙසටත් දකුණු ඉන්දියාවටත් පහසුවෙන් යාත්‍රාකළ හැකි වීම නිසාය. වංග දේශය හරහා වෙළෙන්දන් තාම්‍රලිප්තියට පැමිණ ගනුදෙනු කිරීමට පෙළඹී තිබුණි.
ගෞඩ දේශයේ සාසංක රජුගේ මරණින් පසු ඔහුගේ රාජ්‍ය කොටස් 5කට බෙදී ගිය බව හ්‍යුංසාං හිමි සඳහන්කර තිබේ. ඉන් එකක මූලස්ථානය වූයේ තාම්‍රලිප්තියයි. අශෝක අධිරාජ්‍යයාගේ නැගෙනහිර සීමාව වූයේ ද තාම්‍රලිප්තියයි. තාම්‍රලිප්තියේ අශෝක රජුගේ යැයි අනුමාන කළහැකි ස්තූපයක් ද වූ බව හ්‍යුං සියැං හිමි සඳහන් කර තිබේ. තාම්‍රලිප්තිය හරහා ලංකාව, ඉන්දුනීසියාව, ඉන්දු චීනය සමග සබඳතා තිබූ බව චීන සංචාරකයින් සඳහන්කර තිබේ.