සිව්වන බුවනෙකබාහු රජු

 

සටහන-අමිල උඩවත්ත

කුරුණෑගල අවසන් පාලකයා වූයේ Vවන විජයබාහු රජු ය. ඔහුට පසු බලයට පත්වන්නේ IVවන බුවනෙකබාහු රජු ය. ඔහු කුරුණෑගල මධ්‍යස්ථානය අත්හැර ගංගාසිරිපුරට හෙවත් ගම්පොළට රාජධානි මධ්‍යස්ථානය රැගෙන ගියේ ය. ගඟසිරිපුර යනු ද මේ රාජධානිය ම ය. සුන්දර මහවැලි ගංමිටියාවතේ පිහිටි රාජධානියකි. මේ අයුරින් රාජධානිය මාරු කිරීම සඳහා බලපෑ හේතුව පැහැදිලි නැතැ‘යි සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි. මේ සිදුවීම ක්‍රි.ව.1341-1347 අතර කාලයේ සිදුවිය. ඉබන්බතූතා ලංකාවට පැමිණෙන්නේ ක්‍රි.ව.1344 වැන්නේ දී පමණ ය. ඔහුගේ වාර්තවල සඳහන් වන ආකාරයට ඒ කාලය වනවිට යාපනයේ ආර්ය චක්‍රවර්තී පරපුරේ පාලකයාට විශාල යුධ හා ආර්ථික ශක්තියක් තිබී ඇත. ඔහු සතු නාවික හමුදාව පිළිබඳවත් ඔහු නෞකා යොදාගනිමින් කළ විදෙස් වෙළඳාමත් පිළිබඳව ඉබන්බතූතා විස්තරකර තිබේ. ආර්ය චක්‍රවර්තී පරපුර යටතේ යාපන රාජධානියේ පිබිදීම, බලවත්වීම, දකුණේ රාජධානියට අභියෝගයක් වනු ඇතැයි සිතා IVවන බුවනෙකබාහු රජු ගම්පොළ තෙක් රාජධානිය රැගෙන ගියා ද යන්න සිතන්නට සිදුවේ.

මේ යුගය සම්බන්ධයෙන් අධ්‍යයනයේ දී මුහුණ දෙන ප්‍රධානතම ගැටළුව නම් රාජ්‍ය වර්ෂ පිළිබඳ ඇති ගැටළු සහගත බව යි. මේ යුගයේ රජවරු තමන් ඈපා පදවි දැරූ වර්ෂයේ සිට තම රාජ්‍ය වර්ෂ සඳහන් කිරීම නිසා මේ අවුල සිදු වී ඇත. ඔවුන් සඳහන් කරන කාල වකවානු අනුව ඉතිහාසය ගොඩනැගුවහොත් එක ම කාලපරිච්ඡේදයේ රජවරුන් දෙදෙනෙකු බැගින් සිටි අවස්ථා හමු වේ. නමුත් එය නිවැරදි නොවන වග විශේෂයෙන් ම සඳහන් කළයුතුව තිබේ.

IVවන බුවනෙකබාහු රජු ත්‍රිසිංහලාධීශ්වර අභිධානය භාවිත කළේය. නමුත් යාපන හා වන්නි ප්‍රදේශ ඔහුට අවනතව නොපැවති බවට ප්‍රබල සාධක තිබේ. ඉබන්බතූතාගේ වාර්තාව ඉන් එකකි. ඔහු සඳහන් කරන්නේ මේ කාලයේ ලංකාවේ වෙරළාශ්‍රිත මුතුපර පවා ආර්ය චක්‍රවර්තීන්ගේ පාලනය යටතේ පැවති බවයි. ලංකාවේ මුතුපර පද්ධතිය විහිදී පවතින්නේ වයඹ හා බස්නාහිර වෙරළතීරය ආශ්‍රිතවය. මෙයින් පෙනී යන්නේ ආර්යචක්‍රවර්තීවරුන් යාපන අර්ධද්වීපය පමණක් නොව ඉන් පහළ ඇතැම් ප්‍රදේශවලට ද තම බලය පතුරුවා ඇති බවකි. අවම වශයෙන් වයඹ හා බටහිර වෙරළ තීරයේ වත් ඔවුන්ගේ බලය පැතිර තිබෙන්නට ඇත. ඉන් සනාථවන අනෙක් කරුණ නම් IVවන බුවනෙකබාහු රජු ත්‍රිසිංහලාධීශ්වර අභිධානය භාවිත කළ ද එය හුදු අභිධානයක් පමණක් බවයි. ආසන්න වශයෙන් ක්‍රි.ව.1344 වැන්නේ දී විල්ගම්මුල මහතෙරුන් වහන්සේගේ උපදෙසින් කරවූ ගඩලාදෙණිය හා ලංකාතිලක ශිලාලේඛනවල ද IVවන බුවනෙකබාහු රජු බලයට පත්වූ වර්ෂයක් සඳහන් නොවෙයි. බොහෝවිට මේ කාලය වනවිට ලංකාවේ දේශපාලන වියවුල් පැවති බවත් පහතරට තෙත් කලාපය ආශ්‍රිතව අලගක්කෝණාර වැනි ප්‍රභූ පවුල් ක්‍රමයෙන් බලවත් වෙමින් සිටි බවත් පෙනෙයි. මේ නිසා IVවන බුවනෙකබාහු රජු මෙකල ත්‍රිසිංහලයේ ම අධීශ්වරයා වීය, යන්න පිළිගැනීමට දුෂ්කර කරුණකි. සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ IVවන බුවනෙකබාහු රජු ගම්පොළ මුල්කරගත් පාලනයක් රැගෙන ගිය කාලයේම ඔහුගේ සොහොයුරා වූ Vවන පරාක්‍රමබාහු කෑගලු දිස්ත්‍රික්කයේ දැදිගම මුල්කරගත් පාලනයක් රැගෙනගිය බවයි. මේ දෙදෙනාම කුරුණෑගල අවසන් පාලකයා වූ Vවන විජයබාහු රජුගේ පුතුන් දෙදෙනෙකි.

Vවන පරාක්‍රමබාහු රජු දැදිගම සිට යම් කාලයක් ස්වාධීන පාලනයක් ගෙනගිය ද මේ වනවිට ආර්යචක්‍රවර්තීන්ගේ තර්ජන දකුණට තදින් දැනෙමින් පැවතුනි. දැදිගමට සැතපුම් 13ක් ඊසාන දිගින් පිහිටි කොටගම තිබී හමුවූ ශිලාලේඛනයක සඳහන් වන්නේ ශිංගෛයිනගර්හි ආරියන් රජු ලැබූ විශාල ජයග්‍රහණයක් පිළිබඳ තොරතුරුය. මේ  ශිංගෛයිනගර් ආර්යයන් යනු යාපනයේ ආර්යචක්‍රවර්තීන් බවට සැකයක් නැත. ඉන් පෙනී යන්නේ මේ කාලයේ දකුණේ රාජ්‍ය දුබල වෙමින් ඊට සමගාමීව උතුරේ රාජ්‍ය ප්‍රබල වෙමින් පැවති බවයි.

IVවන බුවනෙකබාහු රජුගේ මරණයෙන් පසු Vවන පරාක්‍රමබාහු රජු ගම්පොළට ගොස් පාලන කටයුතු මෙහෙයවීය. මෙයින් පසු දැදිගම පිළිබඳ අවධානය අඩුවිය. දැදිගම ඓතිහාසික පුරවරයකි. පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ පියා වූ මාණාභරණ කුමාරයා ද දක්ඛිණ දේශය පාලනය කළේ මෙම දැදිගම හෙවත් පුංඛගාමයේ සිට ය.