සටහන-අමිල උඩවත්ත
පැරකුම්බාවන්ට පෙර ලංකාවේ තත්ත්වය.
මහා විජයබාහු රජතුමා මිය යන්නේ ක්‍රි. ව. 1110 දීය මින් පසු උප රාජ ජයබාහු රජ විය. ජයබාහු යනු විජයබාහු රජු ගේ සොයුරා ය. ජයබාහු රජු ගේ උපරාජ පදවියට මාණාභරණ කුමරු පත්වීය. ඔහු වීරබාහු නමින් ප්‍රකට විය. මාණාභරණ වනාහි මහා විජයබාහු රජුගේ සොයුරිය වූ ද, පාණ්ඩ්‍ය කුමරෙකු ගේ භාර්යාව වූ ද මිත්තා නම් කුමරියගේ පුතුන් තිදෙනාගෙන් කෙනෙකි. එහෙත් උපරාජ පදවිය උරුම වීමට තිබූයේ විජයබාහු රජුගේ පුත්‍ර වික්‍රමබාහු කුමරුටය. ඔහු ඒ වන විට මහානාගහුල මූලස්ථානය කරගනිමින් එහි නැවතී රෝහණය පාලනය කරමින් සිටියේය. විජයබාහු රජු මිය ගිය පුවත හෝ ඔහුට දන්වා නොතිබුණි. මෙම කුමන්ත්‍රණය පිටුපස වනවාසී නිකායට අයත් භික්ෂූන් වහන්සේලා ද සිටි බව කියැවේ.
රුහුණේ රජකම් කළ වික්‍රමබාහු රජුගෙන් ඉදිරියේ දී එල්ල විය හැකි අභියෝගය පිළිබඳ සලකා ජයබාහු හා මාණාභරණ දෙදෙනා සේනාවක් පිරිවරාගෙන වික්‍රමබාහු රජු ඝාතනය කිරීම පිණිස පිටත් වූහ. බුත්තල දී දෙපාර්ශ්වය අතර සටන් ඇති විය.
සුළු සේනාවක් රැගෙන විත් විශාල සතුරු හමුදාවක් සමග සටන් කළ ද පිය උරුමයෙන් ලද සටන්කාමී බව හේතුවෙන් සියලූ සටන් ජය ගැනීමට රුහුණේ වික්‍රමබාහු රජු සමත් විය. පසුව ඔහු පොළොන්නරුවට පැමිණ රජරට රජු වශයෙන් කටයුතු කළේය.
මහා විජයබාහු රජු ගේ පුත් වික්‍රමබාහු රජු අතින් පරාජය වූ ජයබාහු රජු ඇතුළු පිරිස රුහුණු රාජධානිය හා දක්ඛිණ දේශය අල්ලා ගත්හ. මිත්තා කුමරියගේ පුතුන් තිදෙනා වූූ මාණාභරණ දක්ඛිණ දේශයත් සිරිවල්ලභ හා කිත්සිරිමේඝ දෙදෙනා රුහුණු රාජධානියත් පාලනය කළහ. ඊට අනුව
- මාණාභරණ කුමරු හෙවත් වීරබාහු කුමරු පුංකගාමය හෙවත් දැදිගම වසමින් දක්ඛිණදේශය ද
- කිත්සිරිමේඝ කුමරු මහානාගහුල වසමින් ද්වාදසසහස්සකය(දොළොස්දහස් රට) ද
- සිරිවල්ලභ කුමරු උද්ධනද්වාරයේ(උඳුන්දොර) වසමින් අට්ඨසහස්සසකය(අටදහස් රට) ද පාලනය කළහ.(සිතියම බලන්න.)
මේ තිදෙනා යළි වරක් සංවිධානය වී වික්‍රබාහු රජුට විරුද්ධව යුධ කිරීමට සැරසුණි.
වික්‍රමබාහු රජු සේනා සමග දක්ඛිණ දේශයට පැමිණ බෝධිසේන පබ්බතයේ දී සතුරු සේනා පරදා ඔවුන් පසුපස කැලණිය දක්වා පැමිණෙද්දී, වීරදේව නම් විදේශාක්රමණිකයෙක් මහාතිත්ථයට ගෙඩ බැස්සේය. වික්‍රමබාහු රජු දේශීය සතුරන් හා යුද්ධය පසෙක තබා විදෙස් සතුරාට මුහුණ දීම පිණිස මන්නාරමට ගිය ද සතුරු සේනා අතින් පරාජය විය. පලායමින් සිටි වික්‍රබාහු රජු පසුපස ලූහුබැඳ ආ වීරදේව කොටසර දී වික්‍රමබාහු සේනා අතින් මැරුම් කෑ අතර ඔහුගේ සේනාව විනාශ විය. වික්‍රමබාහු රජු යළි පොළොන්නරුවට ගොස් රජකම අත්පත් කර ගත්තේය. මින් පසු සුපුරුදු ලෙස ම
- වික්‍රමබාහු රජු පොළොන්නරුවේ වසමින් රජරට ද
- මාණාභරණ කුමරු හෙවත් වීරබාහු කුමරු පුංකගාමය හෙවත් දැදිගම වසමින් දක්ඛිණදේශය ද
- කිත්සිරිමේඝ කුමරු මහානාගහුල වසමින් ද්වාදසසහස්සකය(දොළොස්දහස් රට) ද
- සිරිවල්ලභ කුමරු උද්ධනද්වාරයේ(උඳුන්දොර) වසමින් අට්ඨසහස්සසකය(අටදහස් රට) ද
කලක් යුධ ගැටුමින් තොරව පාලනය කළහ. එහෙත් මොවුන් සියලූදෙන ම හිංසාකාරී පාලකයෝ වූහ. අසාධාරණ ලෙස බදු අයකරමින් ජනතාව පීඩාවට පත් කළහ. වික්‍රමබාහු රජු භික්ෂූන්වහන්සේලා විහාරස්ථාන වලින් පළවා හැර විහාරස්ථාන වල පිටරැටි කුලී හේවායන්ට නවාතැන් සලසා දුන්නේය.
මිත්තා කුමරිය හා ඇයගේ සොයුරු ජයබාහු රජු රුහුණේ දී මිය ගියහ. වික්‍රමබාහු රජු පොළොන්නරුවේ සිට රජරට ප්‍රදේශය පාලනය කළ ද ඔහු අභිෂේක ලැබූ පාලකයෙකු නොවීය.
පැරකුම් කුමරු උපන් ස්ථානය. එකල දක්ඛිණ දේශයට අයත් වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුංඛගාමය (වත්මන් දැදිගම.)
පරාක්‍රමබාහු කුමරු ඉපදී නොබෝ කලකින් ඔහුගේ පියා වූ මානාභරණ රජු මියගියේය. එයින් දක්ඛිණ දේශය අරාජක වූයෙන් කිත්සිරිමේඝ රජු දක්ඛිණ දේසයට පැමිණියේය. සිරිවල්ලභ රජු සමස්ත රෝහණයම පාලනය කළේය. (මියගිය මානාභරණ රජුගේ පුත් පැරකුම් කුමරු සිරිවල්ලභ වෙත පැමිණි අතර මානාභරණ ගේ දියණිය වූ මිත්තා කුමරිය සිරිවල්ලභගේ පුත්‍ර මානාභරණ කුමරු සමග විවවාහ විය.)
පොළොන්නරුවේ වික්‍රමබාහු රජු මියගිය පසු ඔහුගේ පුත් ගජබා කුමරු පියා මෙන්ම අභිෂේක නොලබා ම රජරට පාලනය කළේය. ගජබා රජු පරාජය කිරීමට සිරිවල්ලභ හා කිත්සිරිමේඝ යැවූ හමුදාවෝ ගජබා සේනා අතින් පරාජය වූහ. ටික කලකට පසු පරාක්‍රමබාහු කුමරු සිය සුළු පියා වූ කිත්සිරිමේඝ රජුගේ රාජ සභාවට සම්බන්ධ විය. එහි දී පරාක්‍රමබාහු කුමරු භාෂා ශාස්ත්‍ර, ඉතිහාසය,ධනු ශිල්පය, අසුන් හැසිරවීම ආදී ශිල්පයන් උගත්තේය. කුඩා කල පටන් ම පරාක්‍රමබාහු කුමරුගේ අරමුණ වූයේ ලංකාව එක්සේසත් කොට එහි අගරජු වීමයි. එහෙත් වංසකථා වල පරාක්‍රමබාහු රජු ගේ වීරත්වය ඉස්මතු කිරීම පිණිස යොදාගෙන ඇති සියලූ සිද්ධි සත්‍යය ද, ඒවා සැබැවින් ම වීරක්‍රියා ද යන්න විමසිල්ලෙන් තීරණය කළ යුතුය.
වරක් කිත්සිරිමේඝ නම් සිය සුළු පියාගේ රජමැදුර පිහිටි හත්තානාගොඩින් නික්ම දක්ඛිණ දේශයේ සීමාවට ගිය පැරකුම් කුමරු එහිදී සිය ඉදිරි ගමන වැළැක්වූ සෙනෙවියෙකු අමානුෂික ලෙස ඝාතනය කළේය. මෙම සිදුධිය වංසකථා වල පැරකුම් කුමරුගේ වීරත්වය වර්ණනා කිරීම පිණිස යොදාගෙන ඇත. එහෙත් සෙනෙවියා උත්සාහ කළේ රජරට සීමාවට ඇතුළු වීම නිසා පරාක්‍රමබාහු කුමරුට සිදුවිය හැකි අන්තරාවෙන් ඔහු ගලවා ගැනීමත්, දෙරට(දක්ඛිණ දේශය හා රජරට) අතර ඇතිවිය හැකි අර්බුදකාරී තත්ත්වය වළක්වා ගැනීමත්ය. එබැවින් මේ ක්‍රියාව වීරක්රයාවක් ද, අසාධාරණ ක්‍රියාවක් දැ’යි බුද්ධියෙන් තීරණය කළ යුතුය.
මෙම සිදුවීමට පසු පරාක්‍රමබාහු කුමරු රජරට සීමාවට ඇතුළු වූ අතර ඔහු එහිදී රජරට පාලක ගජබාවන්ගේ සෙනවියෙකු අත්ලස් දිම මගින් තමාට අවනත කර ගත්තේ ය. මින් පෙනි යන කරුණක් නම් පරාක්‍රමබාහු කුමරු ගජබාවන් පරාජය කොට රජරට යටත් කරගැනීම උදෙසා යුද්ධයට පෙර යම් යම් උපක්‍රම යෙදූ බවයි. කෙසේ වෙතත් ගජබාවන් පරාක්‍රමබාහු කුමරු කෙරේ පළමුව දැක්වූයේ සුහද බවකි. ඔහු පැරකුම් කුමරුට ඉතා සුහදශීලීව පණිවිඩ යවා සිය මාළිගයට ගෙන්වා ගත්තේ ය. ඔහුගේ මේ ගමන වැළැක්වීමට කිත්සිරිමේඝ රජුගේ නිළධරයන් ද හේවායන් ද දැරූ තැත ව්‍යර්ථ විය.
කලක් සිට කිත්සිරිමේඝ, මාණාභරණ(පැරකුම්බාවන්ගේ පියා. ඒ වන විට මියගොස් සිටියේ ය.) සිරිවල්ලභ හා තුන්සොහොයුරන් සමග යුද්ධ කරමින් එදිරිවාදිකම් දැක්වූ ගජබා රජු වෙත පරාක්‍රමබාහු කුමරුන් පැමිණීම වනාහී ඔහුගේත් රටේත් අනාගතයේ විශේෂ සන්ධිස්ථානයක් විය. පැරකුම්බාවන් පිවිස සිටියේ ඔහුගේ එදිරිවාදියෙකු වෙතය. පැරකුම් කුමරු උපන් අවස්ථාවේ ම වාගේ මොහු දිනෙක මෙරට එක්සේසත් කොට එහි අග්‍ර පාලකයා වන වගට දෛවඥ අනාවැකි පළ වී තිබූ බව ගජබා රජු ද දැන සිටියේ ය. මෙවන් වාතාවරණයක් තුළ පැරකුම්බාවන්ගේ මෙම ගමන අන්තරාදායක විය. තීරණාත්මක විය. එහෙත් ගජබා රජු පළමුව පැරකුම් කුමරුන් සුහදව පිළිගනිමින් රාජකීය ලාභ සත්කාර කළේය.
එසේ කිරීමට ද හේතුවක් තිබේ. ගජබාවන්ට පසු රජරට රාජ්‍යත්වයට ඔහුගේ පුතුන් දෙදෙනාම සුදුසු නොවූ ගජබා රජු අවබෝධ කොටගෙන සිටියේ ය. එබැවින් ඥාතීත්වය අනුව සිය මස්සිනා වූ පැරකුම්බාවන් තමාට අවනත කොටගෙන ඔහුට රජරට රාජ්‍යත්වය ලබාදීම ගජබා රජුගේ බලාපොරොත්තුව විය. එහෙත් පරාක්‍රමබාහු කුමරු තුළ වූයේ වෙනස් අරමුණක් බව පෙනේ. ඔහු රජරට ගජබා රජුගේ සියලූ තොරතුරු එහි රැඳී සිටි කාලය තුළ සොයාගත්තේ ය. යුද්ධ ශක්තිය, ආර්ථීක ශක්තිය, පාලන තන්ත්රය, ගජබා රජුට පක්ෂ නිළධාරීන් විපක්ෂ නිළධාරීන් ආදී කරුණු රැස් කළේ ය. ඉන් පෙනී යන්නේ ගජබාවන්ගේ ළෙංගතුකම හෝ රාජකීය සැළකිලි අබියස පැරකුම් කුමරු සිය අරමුණ වෙනස් නොකළ බවයි. පැරකුම් කුමරුන් තුළ කුඩා කළ පටන් පැවති දැඩි අධිෂ්ඨානශීලීත්වය, අවසන් අරමුණ කෙරේ තදින්ම කැපවීම වැනි ගුණාංග මින් කැපී පෙනේ.
ගජබා රජුට විපඬ රාජ්‍ය නිළධාරීන් වඩාත් සිය සමීපයට ගැනීමට ද පැරකුම්බා කුමරු ක්‍රියා කළේය. එයින් අනාගත අරමුණ ඉටුකර ගැනීමට ඔහු ක්‍රමයෙන් ක්‍රියා කළ අයුරු ද ඔහුගේ දූරදර්ශී භාවයද හෙළි වේ. සිය නැගණිය වූ භද්දවතී කුමරිය මෑණියන්ගේද අවසරය පිට රුහුණේ සිට කැඳවාගෙන වුත් ගජබා රජුට විවාහ කර දීමටපැරකුම්බා කුමරු ක්‍රියා කළේය. මෙය පැරකුම්බාවන්ගේ උපක්රමශීලිත්වය හෙළිවන කදිම උදාහරණයකි. ගජබාවන්ට තමා ළෙංගතු බව පෙන්විමට ඔහු අවසන් මෙහොතේත් ක්‍රියා කළේය. යුධ ශක්තිය ධනය හා බලය වැනි සාධක සාක්ෂාත් කර ගැනීමට ප්‍රථම ගජබාවන් තමාට එරෙහි වීම වැළැක්වීම ඔහුගේ අරමුණ විය.
මෙම සිදුවීමෙන් පසු පරාක්‍රමබාහු කුමරු යළි දක්ඛිණ දේශය බලා ඒමට පිටත් වූයේ ගජබා රජු ඒ වන විටත් පැරකුම්බාවන්ගේ නොපනත් ක්‍රියා පිළිබඳ අවබෝධය ලබා සිටි හෙයිනි. එහෙත් පරාක්‍රමබාහු කුමරු යනු තමා පිළිබඳව අභිමානයෙන් පසු වූ, අන්‍ය අණපනත් වලට යටත් වීමට අකමැති වූ චරිතයකි. ඔහු දක්ඛිණ දේශය බලා පැමිණිය ද දක්ඛිණ දේශයට ඇතුළු නොවී රජරට සීමාවේ රැඳී සිටි අතර ඔහු දක්ඛිණ දේශයට ගෙන්වා ගැනීමට කිත්සිරිමේඝ රජු හෙවත් පැරකුම්බාවන්ලේ සුළු පියා එවූ නිළධාරීන් ද මහා සංඝයා ද කොතෙක් උත්සාහ කළ ද අසාර්ථක විය. ඒ කිසිවෙකුට නතු නොවූ හෙතෙම අවසානයේ දක්ඛිණ දේශයට ඇතුළු වන්නේ ඔහුගේ මෑණියන් වූ රත්නාවලී බිසවගේ ඉල්ලීම නිසාවෙනි.
දක්ඛිණදේශයේ පාලකයා වීම
මෙම සිදුවීමට කෙටි කලකට පසු පැරකුම්බාවන්ගේ සුළු පියා වූ ද දක්ඛිණ දේශයේ පාලකයා වූ ද කිත්සිරිමේඝ රජු අපුත්රකව ම(පුතුන් නොමැතිව) මිය ගියේ ය. එබැවින් දක්ඛිණ දේශයේ පාලකයා වශයෙන් පත්වීමට පැරකුම්බාවන්ට අවස්ථාව උදාවිය. පැරකුම්බා රජු බුද්ධිමත්, ස්ථානොචිත ප්‍රඥාවෙන් යුතු, උපායශීලී, ස්වාධීනත්වය හා ප්‍රමුඛත්වය අගය කරන නායකයෙකු වන වගට ලකුණු කුඩා කල පටන් ම දක්නට ලැබුණි. ඒබ ව ඉහත උදාහරණ වලින් ම පෙනේ. දක්ඛිණ දේශයේ පාලකයා වූ පසු ද හෙහෙතෙම කිසිවෙකු සමග හෝ යුද්ධයට නොගොස් දක්ඛිණ දේශය සමෘද්ධිමත් කිරීමට පියවර ගත්තේය. ඊට අනුව මෙතුමා
- පාලන මධ්‍යස්ථානය හත්තාතාගොඩ සිට පරක්කමපුරය (වත්මන් පඬුවස්නුවර) දක්වා ගෙන ගියේය.
- එහි රජ මාළිගයක් ඉදි කර ආරක්ෂක විධිවිධාන සැලසීය(එහි නටබුන් අද ද දක්නට ලැබේ.)
- ඒ ආසන්නයේ වූ පණ්ඩවාපි නම් වැව විශාල කොට පරාක්‍රම සමුද්‍රය යැයි නම් කළේය.( මේ වනාහි මෙතුමා ඉදි කළ පළමු පරාක්‍රම සමුද්‍රය යි. දෙවැන්න හෙවත් වඩා විශාල පරාක්‍රමසමුද්‍රය අප සැම එම නමින්ම දන්නා පොළොන්නරුවේ සුප්‍රකට පරාක්‍රම සමුද්‍රය යි.)
- දැදුරු ඔය(ජජ්ජර නදී) හරස්කොට බැමි බඳවා ආසන්න ප්‍රදේශ වලට කෘෂි කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීය. කළුතර ප්‍රදේශයේ වගුරු බිම් වල ජලය බැස යාමට සලස්වා සරුසාර වගාබිම් ඇති කළේය.
- විදේශ සබඳතා ඇතිකර ගත්තේය. කලාඔය මුවදොර වූ කල්පිටියත්, කැළනි ගඟ මුවදොර වූ කොළොම්තොටත්(වත්මන් කොළඹ) දක්ඛිණ දේශයේ ප්‍රධාන නැව් තොටවල් වීය.
- පාලන තන්ත්රය ප්‍රතිසංවිධානය කළේය.
- අයබදු එකතු කිරිම විධිමත් කොට ඒ සඳහා භාන්ඩාගාරිකවරු පත් කළේය.
- යුධහමුදාවට සෙබළුන් බඳවා ගත්තේය.(ඔහුගේ හමුදාවේ දේශීය සෙබළුන් මෙන් ම දකුණු ඉන්දීය (56)කර්ණාටක හා කේරල සෙබළුන් ද වූහ)
- යුධ කාර්යයට අවශ්‍ය සෙසු සේවා ඇති කළේය.(ආයුධ තැනීම, නෞකා තැනීම, අසුන් හා ඇතුන් රැස් කිරීම…)
දක්ඛිණ දේශය මෙලෙස සෑම අංශයකික් ම ප්‍රබල තත්ත්වයකට ගෙන එන තුරුම කිසිදු යුධමය කාර්යයකට සම්බන්ධ නොවීමට පරාක්‍රමබාහු රජු වග බලා ගැනීමෙන් ම ඔහුගේ බුද්ධිය ප්‍රකට වේ. හුදෙක් සිය බලපරාක්‍රමය ප්‍රදර්ශනය කිරීමට වඩා සිය අවසන් අරමුණ වූ ලංකාවේ අගරජු වීම ට ඔහු තදින් ම කැප වී සිටියේ ය.
රජරට යටත් කර ගැනීම
මේ සඳහා එක් යුද්ධයක් නොව යුද්ධාවලියක් ම මෙහෙයවීමට පරාක්‍රමබාහු රජුට සිදු විය. වරෙක පරාජය වෙමින් ද එහෙත් ධෛර්යසම්පන්නව පසු නොබසිමින් ද වරෙක ජය ලබමින් ද දැඩි අධිෂ්ඨානයෙන් පෙරට යමින් ද සිය අවසන් අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා යුධ වැදුණේ ය. පරාක්‍රබාහු රජු රජරට යටත් කර ගැනීම සඳහා සිදුකළ යුද්ධ හා යෙදූ උපායමාර්ග තුළින් ඔහුගේ යුධකාර්යකුෂලතාව කෙතරම් දැයි මැනවින් සාක්ෂාත් වේ. ඊට අමතරව මේ සියල්ල පැරකුම්බාවන්ගේ බුද්ධිය, කැපවීම, ධෛර්යය, නොසැලීම, එඩිතර බව ආදී ගුණ ද මතු වේ.
- රජරට අල්ලාගැනීමේ පළමු පියවර ලෙස රජරටට අයත්ව තිබූ මහා මලයදේශය අල්ලා ගැනීමට පරාක්‍රමබාහු රජු තීරණය කළේය. එම තීරණය වනාහි පැරකුම්බාවන්ගේ අසහාය උපායශීලීත්වය ප්‍රකට කරවන කදිම නිදසුනකි.(සිතියම බලන්න)
- රජරට ආක්රමණයේ දී සතුරා රජරටට අයත්ව තිබූ මහා මලය දේශය හරහා දක්ඛිණ දේශයට ප්‍රහාරයක් එල්ලකිරීමට ඉඩ තිබුණි. එය වළක්වාගත යුතුය.
- රජරට ආක්රමණයේ දී සතුරා ආරක්ෂාව පතා මලය රටට පැන යා හැක. එය ද වළක්වා ගත යුතුය.
- මේ නිසා පළමුව මහා මලය දේශය අල්ලා ගැනීමට පරාක්‍රමබාහු රජු තීරණය කළේය.
යුධමය වශයෙන් වැදගත් වුව ද මෙම ප්‍රදේශය අල්ලා ගානීම උදෙසා පරාක්‍රමබාහු රජු එක්වරම යුධ හමුදාවක් පිටත් කළේ නැත. රජරට ගජබා රජු යටතේ වූ මෙම ප්‍රදේශයේ ආරක්ෂාව භාරව කටයුතු කළේ රක්ඛ නමැති සේනාපතියාය. පරාක්‍රමබාහු රජු උපායශීලීව රක්ඛ සේනාපති අල්ලස් දීමෙන් තමාට නතු කර ගත්තේය. රක්ඛ සේනාපති වනාහි මහා මලය රට පිළිබඳව හොඳින් දන්නා සෙන්පතියෙකි. අල්ලස් දීමෙන් ඔහු නතු කර නොගෙන ඔහු හා යුද්ධයට ගියේ වී නම්, තරමක් නුහුරු පරිසරයක, යුධමය අතින් වැදගත් වන මර්මස්ථාන නොදන්නා ඉසව්වක දී එම ප්‍රදේශය පිළිබඳව හොඳින් දන්නා දක්ෂ සෙන්පතියෙකු සමග යුධ වැදීම තුළින් සිය සේනාවේ විශාල පිරිසක් අහිම් කර ගැනීමට මහා පරාක්‍රමබාහු රජුට සිදු වේ. එවිට අවසන් සටනට පෙර ම දුර්වල වීමට පැරකුම්බාවන්ට සිදු වේ. තවත් අතකින් බැලූවහොත් මහා මලය දේශය හා ඍජුව ම යුද්ධයට යාම වනාහි රජරට පාලකයා වූ ගජබා රජු ඕනෑවටත් ඉක්මනින් කුපිත කරවීමකි. මේ නිසා පරාක්‍රමබාහු රජුගේ මෙම උපක්‍රමය අතිශය වැදගත් වේ. ඉන් ඔහුගේ බුද්ධිය ද, දක්ෂ උපායශීලීත්වය ද ප්‍රකට වේ.
මෙම සිදුවීම සැලවීමත් සමග සිය සෙනවියාගේ (රක්ඛ සෙනවියාගේ)ද්‍රෝහී ක්‍රියාව පිළිබඳව කුපිත වූ ගජබා රජු ඔහු අල්ලා ගනු පිණිසත් මහා මලය රට තවදුරටත් සිය ආදිපත්යයෙහි ම තබා ගනු පිණිසත් සන්නද්ධ බලඇණියක් පිටත් කර එවීය. පරාක්‍රමබාහු රජු රක්ඛ සෙනවියාගේ සහයට සන්නද්ධ බලඇණියක් පිටත් කළේය. පරාක්‍රමබාහු රජු එවූ බලඇණිය මෙහෙයවූයේ මහාමලය දේශය පිළිබඳ හොඳින් දන්නා රක්ඛ සේනාපතියා නිසා යුද්ධයේ ජය පැරකුම්බාවන්ට හිමි විය. මෙම යුද්ධයේ දී රක්ඛ සේනාපතියා ම සේනා මෙහෙයවීම පිණිස යොදාගත හැකි වූයේ පරාක්‍රමබාහු රජු කල්තබාම උපක්රමශීලීව මෙම සෙනවියා තමාට අවනත කොටගෙන සිටි නිසාය. මෙයින් ද පැරකුම්බාවන්ගේ බුද්ධිය ද, දක්ෂ උපායශීලීත්වය ද ප්‍රකට වේ. මින්පසු ඇති වූ යුද්ධ වල දී ජය හා පරාජය ගජබා-පැරකුම්බා දෙදෙනා අතර දෝලනය විය.
ගජබා රජු රුහුණේ සිරිවල්ලභට පසු රජපත් ඔහුගේ පුත් මානාභරණ රජු සමග ගිවිසුමකට පැමිණි අතර මානාභරණ රජු ගජබාහුගේ සහයට සේනා යැවීය. එහෙත් ඒ සියල්ලෝ පරාජය වූහ. පරාක්‍රමබාහු රජුගේ ප්‍රබලත්වය වටහා ගත් මානාභරණ රජු ගජබා රජු සමග තිබූ ගිවිසුම පසෙක ලා පරාක්‍රමබාහු රජුට එක්විය. ගජබා රජු පොළොන්නරුව රැකගන්නට උත්සාහ කළ ද පැරකුම්බා – මානාභරණ දෙදෙනා පොළොන්නරුව ට දෙපසින් පහර දෙමින් එය අල්ලා ගත් අතර ගජබා රජු අත්අඩංගුවට ගැනුණි. ගජබා රජුට සිරකරුවෙකු ලෙස නොව රජෙකුට සේ සැලකීමට පැරකුම්බාවෝ සිය සේනාවට අණ දුන්නේය. මෙයින් පෙනී යන්නේ පැරකුම්බා රජුගේ මූලික අරමුණ වූයේ රට එක්සේසත් කිරීම මිස කිසිවෙකුගෙන් හෝ ද්වේශසහගත ලෙස පළිගැනීම නොවූ බවය. අවශ්‍ය අරමුණට ඔහු කොතරම් කැපවී ද යන්න මෙය ද කදිම නිදසුනකි.
ගජබා රජු ජීවත්ව සිටීම අවදානම් බව පැරකුම්බා රජුගේ සෙනෙවියෝ රජුට දන්වා සිටි අතර ගජබා රජු ඝාතනය කළයුතු යැයි තීරණය කෙරිණි. එහෙත් භික්ෂූන් වහන්සේලා මැදිහත් වි එම අපරාධය නතර කළ අතර මහලූ ගජබාවන්ට දරුවන්ද නොසිටි නිසා ඔහුගේ මරණින් පසු පැරකුම්බාවන්ට නියත වශයෙන්ම රජරට හිමිවන බව පෙන්වා දුන්හ. පසුව දෙදෙනා අතර සමගි ගිවිසුමක් ඇති කිරීමට මැදිහත් වූ භික්ෂූන් වහන්සේලා එම ගිවිසුම ගලක කොටා මැදිරිගිරි විහාරයේ තැම්පත් කළ බව වංසකතා වල සඳහන් වේ. අද එම ලිපිය දක්කට නැතත් එහි පිටපතක් සේ පිළිගැනෙන ශිලාලේඛනයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංගමු විහාරයේ ඇත. සංගමු විහාර ලිපිය නමින් එය ප්රකටය. ඒ වනාහී ඓතිහාසික සාම ගිවිසුමකි. එයට අනුව මේ දෙමස්සිනාවරු එකිනෙකාට එදිරිව යුධ නොවදින අතර දෙදෙනාගෙන් පළමුව මිය යන්නාගේ රාජ්‍යය අනෙකාට හිමි වේ.
ගජබා රජු මියගිය පසු ඔහුගේ ඇමතිවරු ගිවිසුම කඩකොට රුහුණේ සිටි මානාභරණට රජරට භාරගන්නැයි ඇරයුම් කළහ. ඒ අතර පැරකුම්බාවන් රජරට රජු සේ අභිෂේක ලබා තිබුණි. මානාභරණ සේනා කැටිව ආ අතර මෙතැන්පටන් දෙපාර්ශ්වය අතර යුධ මාලාවක් ඇති විය. ජය පරාජය දෙදෙනා අතර දෝලනය විය. වරෙක මානාභරණ පොළොන්නරුව අල්ලා ගත්තේ ය. පරාක්‍රමබාහු රජු විටෙක පරාජය වුව ද ඉන් නොසැලී යුධකොට අවසානයේ පොළොන්නරුව නිදහස් කොට ගත්තේ ය. මානාභරණ රජු රුහුණට පැන ගිය ද ඔහුගේ පුත් සිරිවල්ලභ පරාක්‍රමබාහු හමුදා අත්අඩංගුවට පත් විය. මානාභරණගේ යුධෝපකරණ හා වස්තුව පරාක්‍රමබාහු රජුට හිමි විය. රුහුණට ගොස් නොබෝ කලකින් මානාභරණ මියගිය නිසා සමස්ත දිවයින ම පැරකුම්බා රජු සතු විය. 1153දී පැරකුම්බාවෝ දෙවන වරට ද අභිෂේක ලැබීය. ඒ මුළු දිවයිනේම රජු ලෙසිනි.
පරාක්‍රමබාහු දිවයිනේ අගරජු වී නොබෝ දිනකින් මානාභරණ(මියගිය) රජුගේ මව වූ සුගලා දේවිය රුහුණේ කැරැල්ලක් ඇති කළා ය. මානාභරණ රජු රුහුණට ගෙනගොස් තිබූ දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව ද ඇය සතු විය. මේවා රාජ්‍යයත්වයේ සංකේත වූයෙන් ඒවා තමා නතුකර ගැනීමේ අවශ්‍යතාවය පැරකුම්බාවෝ දුටුවෝය. ඒ අතර රජරට ප්‍රදේශයේ ද කැරැල්ලක් ඇති විය. ඊට හේතු අපහැදිලි නමුත් රජු වසින් එය තදින් පාලනය කළ බව සඳහන් වේ. ඊට පසුව රුහුණ ආක්‍රමණය කළ අතර මහානාගහුල සිටි සුගලා බිසව ධාතූන් වහන්සේලා රැගෙන මොනරාගල ආසන්නයට පලා ගිය ද පරාක්‍රමබාහු හමුදාවෝ ධාතූන් වහන්සේලා තමන් සතු කරගත්හ. සුගලා බිසව පලා ගියාය.
මානාභරණ රජු යටතේ සිටි සූකර භාතුදේව නම් නායකයා පොළොන්නරු සිරගෙයින් පලා විත් රුහුණේ යළි කැරැල්ලක් ඇති කළ අතර පරාක්‍රමබාහු හමුදා කඤ්චුකිනායක රක්ඛ හා දමිළාධිකාරී රක්ඛ යටතේ ගොස් සූකරභාතුදේව ඝාතනය කර කැරැල්ල මැඩපැවත්වීය. කැරැල්ලට උපකාර කළවුන්ට මහානාගහුල දී දරුණු වධ හිංසා පමුණුවන ලදී.
පසුව බද්දේගම දී සුගලා දේවිය හා ඇයගේ අනුගාමිකයන් අල්ලාගත් පරාක්‍රමබාහු හමුදා අනුගාමික පිරිසට දරුණු වධ හිංසා පමුණුවා ඝාතනය කොට සුගලා දේවිය කැටිව පොළොන්නරුවට ආහ. ඉහත අවස්ථා දෙකට ම අනුව පෙනී යන්නේ රුහුණ පරාක්‍රමබාහු ආධිපත්‍යය පිළිගැනීමට අකමැති වූ බවයි. එහෙත් පරාක්‍රමබාහු රජු ඒ කිසිවක් නොසලකා තමාට එදිරි වූවන්ට පළමු අවස්ථාවේ දීම දරුණු දඬුවම් පැමිණ වීම තුළින් මහජනයා තුළ භීතියක් ඇති කළ බව පෙනේ. එහෙත් රජුගේ 8වන රාජ වර්ෂයේ දී රුහුණේ තවත් කැරැල්ලක් ඇති වූ බව වංසකථා වල සඳහන් වේ.
මහා පරාක්‍රමබාහු රජුගේ බුරුම ආක්‍රමණය
මහා පරාක්‍රමබාහු රජුගේ එකොළොස්වැනි හෝ දොළොස්වැනි රාජ්‍ය වර්ෂයේ දී (1164 හෝ 1165) මෙය සිදු වී ඇත. ආක්‍රමණයට ලක්වූයේ පහළ බුරුමය හෙවත් රාමඤ්ඤ දේශයයි. මේ ආක්‍රමණයට හේතු කිහිපයක් විය.
- එකල බුරුමය පාලනය කළ මහලූ අලවුංසිතු රජු දෙරට අතර තිබූ වෙළඳ ගිවිසුම කඩකිරීම. දෙරට අතර කලක් තිස්සේ තිබූ සුහද වෙළඳ සබඳතා නිසා මෙරටින් ද එරටට විවිධ තෑගිබෝග රැගත් නෞකා යාත්‍රා කළ අතර එසේ යාත්‍රා කළ නැව් සුහදව හා රාජකීය ලීලාවෙන් පිළිගෙන යළි පැමිණෙන විට ඇතෙකු තෑගි දීම බුුරුම පාලකයෝ සිරිතක් වශයෙන් සිදුකළහ. බුරුම හස්තීන් මිල දී ගැනීමට ගිය ලාංකික නෞකා වලට ද මෙලෙස ඇතෙකු තෑගි දිම සිදුවිය. එහෙත් අලවුංසිතු මේ ගිවිසුම කඩකොට ඇතුන් අළෙවි කිරීම සිය ඒකාධිකාරයක් බවට පත්කර ගත්තේය. එපමණක් නොව ඇතුන්ගේ මිල අසාධාරණ ලෙස දෙතුන් ගුණයකින් වැඩි කළේ ය.
- එතුවක් කලක් මෙරටින් යැවූ රාජකීය දූතයන්ට බුරුමයේ දී ඉතා උසස් අන්දමින් සැලකූ අතර ඔවුන්ට රාජකීය පිළිගැනීමක් ලබාදෙන ලදී. එහෙත් වරක් රන්පතක ලියූ හසුනක් ද රැගෙන බුරුමයට ගිය ලංකාවේ රාජකීය දූත පිරිසකට අසත්‍ය චෝදනාවක් මත ම්ලේච්ච ලෙස සැලකූ අලවුංසිතු රජු ඔවුන් කඳුකර සිරකඳවුරක, පා විලංගු සහිතව රඳවා සිරගෙවලට දිය ඇදීම සඳහා යෙදවීය. ඔවුන් සතුව තිබූ ධනය ද පැහැරගත් රජු ඉන් නොනැවතී බුරුමයෙන් ම ඔවුන් මිල දී ගෙන තිබූ ඇතුන් හා නැව් ද පැහැරගත්තේ ය. පසුව දූත පිරිස තමා අබියසට කැඳවූ අලවුංසිතු රජු මින් ඉදිරියට ලංකාවේ නැව් තම රටට නොපැමිණිය යුතු බවත් එසේ පැමිණියහොත් එම නෞකා වල පැමිණෙන්නන් මරා දමන බවත් පවසමින් තර්ජනය කළේය. අනවසරයෙන් මෙරටට පැමිණෙන ලංකා නාවුකයන් මරා දැමීම වරදක් නොවන බවට ගිවිසුමක් ද බලහත්කාරයෙන්ම මෙරට නියෝජිතයන් ලවා අත්සන් කරවා ගැනිමට උත්සාහ කළ රජු අවසානයේ දූත පිරිස සිදුරු සහිත නෞකාවක නංවා පිටත්කර හැරියේ ය.
- ඇතුන් මිලදී ගැනීම පිණිස මෙරටින් ගිය දූත පිරිසක් රැගෙන ගිය ත්‍යාග, පඬුරු ආදිය පිළිගත් අලවුංසිතු රජු ඇතුන් 14දෙනෙකු හා රිදියෙන් මුදලක් ගෙවීමට ඔවුනට පොරොන්දු වුව ද අවසානයේ ඒ කිසිත් නොදී එම පිරිස පිටත් කර එවී ය.
- බුරුමය හරහා කාම්බෝජය දක්වා ගමන් කළ සිංහල කුමාරිකාවක පැහැර ගත්තේය.
ඉහත හේතු සාධක මත තම දේශයට සිදුවූ අපහාසයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මෙරට නැව්තොට වලදී පස් මසක් පුරා නිපදවූ නෞකා විශාල සංඛ්‍යාවකින් දැවැන්ත හමුදාවක් බුරුම රට දක්වා පිටත් කර යැවීමට පරාක්‍රමබාහු රජු කටයුතු කළේය. සේනාවේ නායකත්වය කිත්නුවරගල් හෙවත් නගරගිරි කිත්ති සෙනෙවියා හා දමිළාධිකාරී ආදිච්ච විසින් දරන ලදී. ලාංකික නාවුක හමුදාව සමුද්‍රයේදී විවධ බාධාවන්ට මුහුණ දුන් අතර නෞකා කිහිපයක් කුණාටුවක් නිසා මුහුදුබත් විය. තවත් කිහිපයක් වෙනත් ප්‍රදේශ වලට පාවී ගියේ ය. බුරුමය බලා යාත්‍රා කළ නෞකා වල සිටි හෙළ සෙන්පතියෝ තොටුපළ දෙකකින් බුරුමයට ඇතුළු වූහ. දමිළාධිකාරි තෙම පිප්ඵලම වරායට ගොඩබැස බුරුම හමුදා පරාජය කරමින් උක්කමපුරමපුරයට පැමිණ එය යටත්කොට ගත්තේය. ඔහු අලවුංසිතු රජු ද ඝාතනය කළ බව මහාවංසයේ දෙවන කොටසේ සඳහන් වුව දඒ බව සනාථ කෙරෙන සාධක නැත. බුරුම වංස කතා ද ඒ බවක් සඳහන් නොකරයි. කිත්නුවරගල් සෙනෙවියා කුසුමී තොටුපළට (වත්මන් ‘බාසීන්’) ගොඩබැස බුරුම සේනා වනසමින් නගරය අල්ලා ගත්තේය. බුරුමයේ භික්ෂූන් වහන්සේලා යුද්ධයට මැදිහත් වූයේ මේ අතරතුරේ ය. දෙරටම බෞද්ධ රටවල් නිසාත් දෙරට අතර පැවති දීර්ඝකාලීන සබඳතාත් සිහිපත් කළ උන් වහන්සේලා දෙපාර්ශ්වය අතර සමගි සන්ධානයක් ඇති කළේ ය. අලවුංසිතු රජු පුරාණයේ පරිදිම මෙරට දූතයන්ට සැලකීමට ත් වෙළඳ ගිවිසුම් අනුව කටයුතු කිරීමටත් පොරොන්දු වූයෙන් ලංකා නාවික සේනාව යළි පැමිණියහ. ලංකාවට පැමිණි සේනාවට රජු උසස් අන්දමින් සංග්‍රහ සත්කාර කළේ ය. කිත්නුවරගල් සෙනෙවියාට රජු විසින් ලබාදුන් ගම්වරයක් පිළිබඳව දෙවනගල සෙල්ලිපියේ සඳහන් වේ. (මෙම ලිපිය පැරකුම්බාවන්ගේ 12 වන රාජ්‍ය වර්ෂයට අයත් වේ.)
මහා පරාක්‍රමබාහු රජුගේ පාණ්ඩ්යදේශ ආක්‍රමණය
පාණ්ඩ්යදේශ ආක්‍රමණය සිදුවූයේ රජුගේ 16වන රාජ්‍ය වර්ෂයේ දී පමණය. සැබැවින්ම මේ වනාහී මුලදී ආක්‍රමණ ස්වරූපයෙන් සූදානම් කළ එකක් නොවීය. පාණ්ඩ්‍ය කුමරෙකුට උපකාර පිණිස සේනාවක් යැවීම ඔහුගේ අරමුණ විය. පසුව එය මහා යුද්ධයක් බවට පත්විය. පාණ්ඩ්‍ය දේශයේ රජකමට පත්වූ පරාක්‍රම පාණ්ඩ්‍ය රජුට විරුද්ධව කුලශේකර නමැත්තෙකු සේනා මෙහෙයවීය. පරාක්‍රම පාණ්ඩ්‍ය කුමරු පරාක්‍රමබාහු රජුගෙන් යුධ ආධාර ඉල්ලු අතර මෙරටින් යුද්ධාධාර රැගෙන පරාක්‍රම සේනා මහාතිත්ථයේ සිටින අතරතුර කුලශේකර නම් ආක්රමණිකයා පරාක්රමපාණ්ඩ්ය කුමරු මරා මධුරාව අත්කරගෙන තිබුණි. එහෙත් පරාක්‍රමබාහු රජ අණින් පාණ්ඩ්‍ය දේශය කරා යාමට සිංහල හමුදාවෝ පිටත් වූහ. ඔවුන්ගේ අරමුණ වූයේ පාණ්ඩ්‍ය රටට ගොස් කුලශේකර පරාජය කර මියගිය පරාක්‍රම පාණ්ඩ්‍ය කුමරුගේ පරපුරෙහි කුමරෙකු පාණ්ඩ්‍ය සිහසුනට පත් කිරිමයි. පාණ්ඩ්‍ය දේශ ආක්රමණයේ දී පැරකුම්බාවන්ගේ සේනා මෙහෙයවූයේ ලංකාපුර සේනාපතිය. ඔහුගේ සහයට ජගත්විජය සෙන්පතියා ද ආධාර සේනාවට එක්ව සිටියේ ය. විසිහතර පැයකින් පාණ්ඩ්‍ය දේශයට ළඟා වූ සිංහල සේනාවෝ බිහිසුණු සටන් මධ්‍යයේ රාමේශ්වරමට හා කුණ්දුකාල නම් ස්ථානයට ද පැමිණ කඳවුරු බැඳගත්හ. මේ ස්ථානය පරාක්‍රමපුරය ලෙස නම් කරන ලදී. මෙම සටනේ දී සිරකරුවන් ලෙස අල්ලාගත් බොහෝ චෝලයෝ ලංකාවට එවනු ලැබූ අතර ලංකාවේ දී ඔවුන් රුවන්වැලිසෑය ආදී පූජ්‍යස්ථාන ප්‍රතිසංස්කරණයට යොදවන ලදී. චෝලයන් විසින් මීට පෙර යුගයේ දී වනසන ලද ස්ථාන ප්‍රතිසංස්කරණය කරවීමට වැඩි වශයෙන් මොවුන් යොදවන ලදී.
පාණ්ඩ්‍ය දේශයේ දී සිංහල හමුදාවෝ බිහිසුණු යුද්ධ ගණනාවකට මුහුණ දී ජයගත් අතර විටෙක පරාක්‍රමබාහු රජු ආධාර සේනාවක් ද යැවීය. මේ සියලූ සේනාවෝ යුද්ධ කරමින් ගොස් අවසානයේ මධුරාව අල්ලා ගත් අතර කුලශේකර, තොණ්ඩමාන නම් සිය සාමන්තයාගේ බලකොටුවේ සැඟවුණේ ය. කුලශේකර ආක්‍රමණය මොහොතේ මලය නමැති ප්‍රදේශයට ගොස් සැඟවී දිවි බේරා ගත් වීර පණ්ඩු (පරාක්‍රම පාණ්ඩ්‍ය කුමාරයාගේ කනිටු පුත්‍රයා) ගෙන්වා ඔහු ලංකා රජුගේ නියෝජිතයෙකු ලෙස පාණ්ඩ්‍ය සිංහාසනයට පත්කළ ලංකා හමුදාවෝ ටික කලක් මධුරාපුරයේ ම නතර වී සිට වීර පණ්ඩු කුමරාට ආරක්ෂාව සැලසූහ. සිංහල වංස කතා වල පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය පිළිබඳ වෙනත් විස්තර නොමැත. එහෙත් දකුණු ඉන්දීය සෙල්ලිපි වල එන තොරතුරු අනුව පෙනෙන්නේ මහා පරාක්‍රමබාහු රජු මියයන තුරුත් සිංහල සේනා හා චෝල සේනා අතර යුද්ධ සිදු වී ඇති බවයි. ලංකාපුර හා ජගත්විජය සෙන්පතිවරුන් මධුරාව අල්ලාගත් යුද්ධයට පසුව ඊට ආසන්න කාලයක සිදුවූ යුද්ධයක දී පරාජයට පත් ව සොළීන් අතින් මරණයට පත් වූ බවත් ඔවුන් දෙදෙනාගේ සිඳින ලද හිස් මධුරාපුර දොරටුවට තබා ඇණ ගැසූ බවත් දකුණු ඉන්දීය සෙල්ලිපි වලින් අනාවරණය වේ.
මහා පරාක්‍රමබාහු රජුතුමාගේ ආර්ථික සේවාව
මහා පරාක්‍රමබාහු රජතුමාගේ ආර්ථික සේවාව මාතෘකා කිහිපයක් යටතේ සාකච්ඡා කළ හැකිය.
කෘෂිකර්මය
වෙළඳාම
කර්මාන්ත
රටේ බොහෝ දේශපාලන වියවුල් මධ්‍යයේ බලයට පත් මෙතුමා පළමුවෙන් ම රටෙහි ආර්ථීකය සමෘද්ධිමත් කිරීමට පියවර ගත්තේ ය. පොළොවට පතිත වන එක දියබිඳක් හෝ නිකරුනේ මුහුදට ගලා යා නොදියයුතු යැයි තීරණය කළ එතුමා පළමුව දක්ඛිණ දේශය මුල්කරගෙනත් පසුව සමස්ත ලංකාවම ආවරණය වන පරිදි ත් වාරි ව්‍යාපෘතියක් දියත් කළේ ය. ඊට අනුව දක්ඛිණදේශ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පහත වැව් ප්‍රතිසංස්කරණය කළේය.
මහාගල්ල වැව, සිටු වැව, සතුන්න වැව, අඹ වැව,
වසා වැව, ගිරිබා වැව, පටාල වැව, මණ්ඩිකුලම් වැව,
මොරවැව, සාලියගම වැව, තිලගුල් වැව, මලාවැල් වැව,
කළුවැව, කිතුකඩ වැව, කිණිහිරිගල් වැව, බුද්ගමු දොළ වැව,
හුරුගමු වැව, මහකිරිල වැව, ගිරියා වැව, රත්නා වැව,
අඹලා වැව, කටුන්නරු වැව, ජල්ලිබා වැව, උතුරල වැව,
සියඹලාගම් වැව, දවලපිටිගම් වැව, තිරා වැව, කළන්නරු වැව,
කරවිටිවිලත් වැව, දිඹුල්ගම් වැව, මූනරු වැව, කසාල් වැව,
කලල හල් වැව, මුල්වාරික වැව, ගිරිසිගමු වැව, පොළොන්නරු තලා වැව,
විසිරිතලා වැව
මෙම ප්‍රතිසංස්කරණයන්ට අමතරව දැදුරු ඔය මුල් කරගෙන ජල යෝජනා ක්‍රම 3 ක් ද ක්‍රියාත්මක කළේය.
- කොටුබදය යෝජනා ක්‍රමය හෙවත් කොට්ටබද්ද යෝජනා ක්‍රමය.
- ඌරුදොළ හෙවත් සූකරනිජ්ඣයෝජනා ක්‍රමය.
- දෝර දත්තික යෝජනා ක්‍රමය.
මෙයින් කොටුබදය යෝජනා ක්‍රමය සඳහා දැදුරු ඔයේ බැඳි බැම්ම සාර්ථක නොවේ යැයි ඇමතිවරුන් පසුබෑව ද රජුගේ අප්‍රතිහත උත්සාහයේ ඵලයක් වශයෙන් ගල්වඩුවන් ද ලෝකුරුවන් ද අතිශය වෙහෙසී සැලසුම සඵල කරගැනීමට දායක වූහ. මේ ජල බාධකය සැලකිය යුතු කලක් පැවතිය ද පසු කාලයේ තරමක් අබලන් වූ බව එය ප්‍රතිසංස්කරණය කළ බව සඳහන් වීමෙන් පෙනී යයි. මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වූ පසු ඒ ආශ්රිත ප්‍රදේශ ද කොටුබදය ලෙස හඳුන්වා ඇත. බැම්ම බැඳීමට පෙර දැදුරු ඔයේ ජලකෙඳහි බලය මඩිනු අරමුණු කරගෙන ඇළක් කපවා රත්තකුරවක නම් ප්‍රදේශයට ජලය කොටසක් හරවා යවන ලදී. බැම්ම ශක්තිමත් කළේ ඉන් අනතුරුව ය. එම ඇළ අද සෙනේගල් ඔය නමින් හැඳින්වේ. කොට්ටබද්ද ලෙස හැඳින් වූ ප්‍රදේශය වර්තමාන රතඹල ඔය හා දැදුරු ඔය අතර ප්‍රදේශය යැයි අනුමාන කෙරේ.
සූකර නිජ්ඣර යෝජනා ක්රමයේ දී මූලික ඉලක්කය වූයේ තලගල්ලවැව වැව පෝෂණය කරවා කෘෂි කටයුතු සාර්ථක කරගැනිමටයි. සංඛවඩ්ඪමාන හා කිඹුල් ඔයවල් එක්වන ස්ථානය ආශ්‍රිතව බැම්මක් කරවා එතනින් ඌරුදොළ ඔස්සේ තලගල්ලෙ වැවට දිය ගෙන යන ලදී. ඌරුදොළ දෙපස ද තලගල්ල වැව අවට ද කෙත්වතුවලට ද මින් ජලය ලැබුණි. තලගල්ල වැව ද පිළිසකර කරන ලදී. තලගල්ල වැවේ ජල අතිරික්තය තලගල්ල ඇළ ඔස්සේ යළි දැදුරු ඔයට මුදාහරින ලදී.
තුන්වැනි ජල යෝජනා ක්‍රමය වූයේ දෝරදන්තික යෝජනා ක්‍රමය යි. එහිදී ඉලක්කගත වැව වූයේ මාගල්ල වැව යි. දෝරදන්තික බැම්ම අසලින් ඇරඹි මාගල්ලඔයට දිය ගෙනගිය ඇළ රිදීබැඳිඇළ නම් වේ. මීට අමතරව පැරණි පඬාවැව ද පිළිසකර කරවා එයට පරාක්රමසුමුද්රය යැයි නම් කරන ලදී. එහෙත් එය පසු කාලයේ පොළොන්නරුවේ කළ පරාක්රමසමුද්රයට වඩා බෙහෙවින් කුඩා ය. මේ වැව දැනට පඬුවස්නුවර වැව ලෙස හැඳින්වේ. මහාචාර්ය පරණවිතාන මහතා කියන්නේ මෙය බෑන සමුද්‍රය ලෙස ද හඳුන්වන බව යි.
ලක්දිව අගරජු වීමෙන් අනතුරුව සිය වාරි ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කළ රජු කාරගංගාව ලෙස එකල හැඳින්වුණු අඹන්ගඟ අංගමැඬිල්ලෙන් හරස්කර අංගමැඬිල්ල අමුණ බඳවා එතැන් සිට ආකාශ ගංගාව හෙවත් අංගමැඬිල්ල ඇළ ඔස්සේ ජලය රැගෙනවිත් පොළොන්නරු නගරාසන්නයේ ජලය රැස් කරවා පරාක්‍රමසමුද්‍රය නම් මහවැව කරවීය. පරාක්‍රමසමුද්‍රය ඉදිකළේ තෝපා හා දුඹුටුළු වැව් ආවරණය කරමිනි. එහි ධාරිතාව අක්කර අඩි අසූදහසකි. මේ වැවේ බැම්ම සැතපුම් 8 1/2ක් දිගු වුව ද අඩි 40ක් උස් වූ ද දැවැන්ත එකකි. අක්කර 5350ක් පුරා පැතිර ඇති ජලකඳෙන් කුඹුරු අක්කර 18200කට දියවර සැපයේ. එහි ප්‍රධාන සොරොව්ව මකරමුඛ නම් වි.ග වැවේ ජලය කෙත්වතු කරා ගෙන යාමට ගම්භීර, හේමවතී, නීලවාහිනී, සලලවතී, තුංගභද්‍රා, මංගල ගංගා, වෙත්රවතී, චම්පා නමින් ඇළමං අටක් ද විය. ගම්භීර හා හේමවතී මාතිකාවන් නික්මුණේ මකරමුඛ නම් ප්‍රධාන සොරොව්වෙනි. නීලවාහිනිය මාලතීපුෂ්ප නම් සොරොව්වෙන් ද සලලවතී ඇළ කීලාකරුය්යාන සොරොව්වෙන් ද වෙත්රවතිය වේනුවතී නම් සොරොව්වෙන් ද තුංගභද්රාව දක්ෂිණ සොරොව්වෙන් ද මංගල ගංගාව මංගල නම් සොරොව්වෙන් ද නික්මුණු අතර ඛණ්ඩිත්වාර සොරොව්වෙන් නික්මුණු ඇළ චම්පා නම් විය. ගිරිතලා වැවේ සිට තවත් ඇළමගක් තිබූ අතර එය පරාක්රමසමුද්රයට සම්බන්ධකර පරාක්‍රමසමුද්‍රය පෝෂණය කරනලදී. කැබිතිගොල්ලෑව ආසන්නයේ ඇති පදවිය වැව ද මෙතුමාගේ නිර්මාණයකැ‘යි විශ්වාසයක් ඇතත් ඒ පිළිබඳ විවිධ මතවාද පවතී.
කෙසේ වුව ද පරාක්‍රමබාහු රජතුමා දැවැන්ත වාරි ව්‍යාපෘති ප්‍රමාණයක් දියත් කළ බව පිළිගන්නට සිදු වේ. සංඛ්‍යා වශයෙන් දක්වතොත් මෙසේ ය.
තනවන ලද හෝ ප්‍රකෘතිමත් කළ අමුණු 165කි.
තනවන ලද හෝ ප්‍රකෘතිමත් කළ ඇළ මාර්ග 1910කි
තනවන ලද හෝ ප්‍රකෘතිමත් කළ මහවැව් 163කි
තනවන ලද හෝ ප්‍රකෘතිමත් කළ සුළු වැව් 2376කි
වැව්වල කැඩුණුබිඳුණු තැන් අලුත්වැඩියා කිරීම 1753කි
දිවයිනටම අගරජු වූ පසු මහා පරාක්‍රමබාහු රජතුමා ප්‍රතිසංස්කරණය කළ පැරණි වැව් අතරින් කිහිපයක් මෙසේ ය.
මින්නේරිය මහාදාරගල්ල සුවණ්ණතිස්ස දූරතිස්ස කලා වැව
බමුණුගම නෙරළුමහටැම් වැව රෙහෙර වැව මහනම්මත වැව වඩුවන්නා නම් වැව
මහදත්තා වැව කාණාගාම් වැව වීරවැව වලස් වැව සුරමානපාසානගාම වැව
කාලවල්ලි වැව කානවාපිය පදිවැව කටිගම් වැව උරුවෙල් මහවැව
කාහල්ලි වැව අග්ගාම නම් වැව හිලිපත්කඩ වැව පඬකොළොම් වැව
ආදිය යි. (මහා වංශයට අනුව ය. මේ අතරින් කිහිපයක් උදාහරණ සේ මතක තබා ගැනීම ප්‍රමාණවත් වේ.)
ඊට අමතරව රාජිනී දොළ, තෙල්පිසි දොළ, දැදුරු දොළ හා විලත්තාකඩ දොළ ද එතුමා විසින් පිළිසකර කරවා හෝ අලුතින් බඳවා ඇත. රුහුණු ප්‍රදේශයේ පමණක් පිළිසකර කරවූ වැව් ප්‍රමාණය 216කි. එම වැව්වලට අයත් සොරොව් 13ක් ගලින් කරවී ය. කුඩාවැව් සඳහා අමුණු 160ක් කරවු අතර විනාශ වූ වැව් 37ක් යථාතත්ත්වයට පත්කර ඇත.
මෙකී සංඛ්‍යාලේඛන අනුව පෙනී යන්නේ මෙතුමා විසින් විශාල කෘෂි ආර්ථික සේවාවක් සිදුකර ඇති බව යි. කෘෂිකාර්මික සේවාවට අමතරව මෙතුමා දෙස් විදෙස් වෙළඳාම ද දියුණු කිරීමට කටයුතු කළේ ය. කෞටිල්‍ය ගේ අර්ථශාස්ත්රයේ උපදේශ අනුව යමින් පරාක්‍රමබාහු රජතුමා අන්තරංගධුර නමින් වෙන ම ම බෙත්මක් ද ඇති කළේ ය.(වත්මන් අමාත්‍යංශයකට සමානව)
අන්තරංගධුර යන්නෙන් අදහස් කෙරෙන්නේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ කාර්යාංශයක් බව ශ්‍රී සුමංගල ශබ්දකෝෂය අනුව පෙනී යයි. මේ මගින් ලංකාවේ ආදායම් වැඩි කිරීමේ දී විදෙස් වෙළඳාමට යොදාගතහැකි ද්‍රව්‍ය ඇති ප්‍රදේශ පිළිබඳ සොයා බැලීම මෙම කාර්යංශයට පැවරුණි.
- මුතු හටගන්නා වෙරළබඩ ප්‍රදේශ.
- මැණික් පතල් සහිත ප්‍රදේශ.
- ඇතුන් හා වෙනත් වටිනා වෙළඳ ද්‍රව්‍ය සහිත මහා මලය දේශය
මෙලෙස මෙම කාර්යාංශය යටතට පවරන ලදී. සමස්ත දවයිනේ ම අග රජු වීමටත් ප්‍රථම සිදු කළ මෙම කාර්යය ඉන් පසුව ද ක්‍රියාත්මක කළේ ය. බුරුම දේශය ආක්‍රමණය කිරීමට මෙතුමා කටයුතු කළේ ද තම විදෙස් වෙළඳාමට බුරුම රජු බාධා කළ නිසා ය. සාම්ප්‍රදායිකව ලංකාවෙන් අපනයනය කළේ
- මෑත මුහුදෙන් ලබා ගත් මුතු,
- ඈත මුහුදෙන් ලබාගත් සක් බෙල්ලන් හා කැස්බෑ ලෙලි,
- දේශාභ්යන්තරයෙන් ලබා ගත් මැණික්,
- අලි ඇතුන් හා ඇත්දත්,
- සිහින් කපු පිලී
ආදිය යි. මේ අතරින් පරාක්‍රමබාහු රජ දවස සිහින් රෙදිපිළි අපනයනව වඩාත් සංවර්ධනය වූ බව පෙනෙයි.පරාක්‍රමබාහු යුගයට සමකාලීනව ඉන්දියාවේ සිටි 3වන සෝමේශ්වර රජු ගේ කෘතියක් වන මානසොල්ලාසයේ රජවරුන්ට සුදුසු පිළි වර්ග පිළිබඳ සහ ඒවා නිපදවන රටවල් පිළිබඳ සඳහන් කර ඇත. එහි ඇති පරිදි සිහින් සළු නිපදවන රටවල් ලෙස දක්වා ඇත්තේ ලංකාව හා චීනය යි. මේ නිසා එකල ලංකාව සළුපිළි අලෙවියෙන් ද උසස් තත්ත්වයක් අත්කරගෙන සිටි බව පැහැදිලි ය. විදෙස් වෙළෙන්දන්ට මෙකල ලංකාවේ දී අවශ්‍ය ආරක්ෂාව ද සපයන ලද බව පරාක්‍රමබාහු රජුගේ නයිනතිව් ලිපිය අනුව පැහැදිලි වේ. දැනට ලැබී ඇත්තේ මේ ලිපියේ කොටසක් පමණක් වුවත් එය එකල විදෙස් වෙළඳුන්ට ලංකාවේ දී ලැබුණු ආරක්ෂාව පිලිබඳ අවබෝධ කරගැනීමට ප්‍රමාණවත් වේ. ඊට අනුව විදෙස් වෙළඳුන් ගොඩබැසිය යුත්තේ ඌරාත්තුරෙයි හෙවත් උරාතොටට බව පැහැදිලි වේ. මේ ස්ථානයට ගොඩබසින්නා වූ නෞකා වලට රජය විසින් නිසි රැකවරණය සපයන්නට අත. විදෙස් වෙළඳාම දියුණු වීමට මෙවැනි ක්‍රියාමාර්ග උපයෝගී වේ.
මෙතුමාගේ කාලයේ ලංකාවේ විවිධ ශිල්ප කර්මාන්ත ද දියුණු තත්ත්වයක තිබෙන්නට ඇතිවගට සාධක හමුවේ. එතුමන් ඇතිකළ අන්තරංගධුරය අනුව ලංකාවේ පතල් කර්මාන්තය, පේෂ කර්මාන්තය, මුතුකිමිදීම හා කැස්බෑලෙලි ආශ්රිත නිර්මාණ ආදිය දියුණු තත්ත්වයක තිබෙන්නට ඇත. රජවරුන්ට සුදුසු පිළි වර්ග නිපදවූ රටවල් අතරට ලංකාව එක්වීමෙන් ම මෙහි නිපද වූ රෙදිපිළි පිළිබඳ අවබෝධයක් ලබාගත හැක. මෙකල ලංකාවේ නෞකා තැනීමේ කර්මාන්තය ද දියුණු තත්ත්වයක තිබූ වග බුරුම ආක්‍රමණය පිණිස මාස පහක් තුළ නෞකා සිය ගණනක් නිර්මාණය කිරීමෙන් ම පෙනී යයි. අති දක්ෂ ලෝකුරුවන් හා ගල් වඩුවන් ද සිටි බව කොට්ටබද්ද අමුණ නිර්මාණ කාර්යයේ දී පෙනී යයි. මෙවැනි සාධක අනුව මෙකල උසස් කර්මාන්ත හා ශිල්ප වර්ධනයක් තිබූ බව ද පැහැදිලි වේ.
මහාපරාක්‍රමබාහු රජතුමාගේ විදේශ සබඳතා.
පරාක්‍රමබාහු රජු වඩාත් ප්‍රකට වූයේ මෙරට ධන ධාන්‍යයෙන් ස්වයංපෝෂිත කළ, ආගමික අංශයෙන් වැදගත් කාර්යයන් රැසක් කළ සහ මෙරට නාමය ජාත්‍යන්තරයට ගෙනගිය රජෙකු වශයෙනි. වැඩි වශයෙන් සාකච්ඡා නොකෙරෙන මෙතුමාගේ විදේශ සබඳතා පිළිබඳව තොරතුරු විමසුම මෙහි අරමුණ වෙයි.
මහාපරාක්‍රමබාහු රජතුමා විදේශ සබඳතා පැවැත්වූ ආකාරය අනුව ඒ පිළිබඳව ප්‍රධාන මාතෘකා කිහිපයක් යටතේ සාකච්ඡා කළ හැක.
- ආක්‍රමණ
- වෙළඳ සබඳතා
- සංස්කෘතික, ආගමික සබඳතා හා වෙනත් සබඳතා
ආක්‍රමණ-
මහාපරාක්‍රමබාහු රජ යුගයේ දී එතුමා පහළ බුරුමයට හෙවත් රාමඤ්ඤ දේශයට ද සිය හමුදා මෙහෙය වූ වග දෙස් විදෙස් සාහිත්‍ය හා පුරාවිද්‍යා මූලාශ්‍ර ඇසුරින් හෙළි වී ඇත. මෙතුමාගේ පළමු විදෙස් ආක්‍රමණය වූයේ රාමඤ්ඤ දේශය හෙවත් පහළ බුරුමය ආක්‍රමණය කිරිමයි. දෙවනගල සෙල් ලිපියේ මෙම ආක්‍රමණය සාර්ථකව නිම කර පැමිණි කිත් නගරගිරි නම් සෙනෙවියාට රජු විසින් කළ ගම්වර ප්‍රදානයක් පිළිබඳ සඳහන් වීමෙන් මෙම ආක්‍රමණය ඓතිහාසික සක්යයක් බව හෙළි වේ. ඇතුන් වෙළ`දාමේ දී දෙරට අතර තිබූ ගිවිසුම් කඩකිරීම, මෙරටින් ගිය දූත පිරිස් වලට හිංසා කිරිම, ඇතුන් මිල දී ගැනීම සඳහා මෙරටින් ගිය වෙළඳ දූත පිරිසකට පොරොන්දු වූ පරිදි ඇතුන් ලබා නොදීම හා කාම්බෝජයට යමින් සිටි සිංහල කුමාරිකාවක පැහැර ගැනීම යන කරුණු මුල් කරගනිමින් කළ මෙම ආක්‍රමණය ශ්‍රී ලංකාවේ අභිමානය රැකගැනීම උදෙසා සිදුකළ අද්විතීය ක්‍රියාවක් වශයෙන් ඉතිහාසයට එක් වේ. රජු ප්රකෝපකාරි ලෙස ක්ෂණිකව සිදුකළ ආක්‍රමණයක් නොවේ. ඉවසීමෙන් ඵලක් නොමැති තැන සිදුකළ සැලසුම් සහගත ආක්රමණයකි. මෙම ආක්‍රමණය පාණ්ඩ්යදේශ ආක්‍රමණයට සාපේක්ෂව සාධාරණීකරණය කළ හැකි හා ශ්‍රී ලංකාවේ අංශයෙන් ගත් කල කළ යුතුවම තිබූ ආක්‍රමණයක් වශයෙන් දැක්වීමට ඇතැම් උගත්හු පෙළඹෙති. අලවුංසිතු රජුගේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා පළුදු වීමට ගියේ දිගු කලක් තිස්සේ දෙරට අතර පැවති සුහද සබඳතාවයකි. එය යළි යථාතත්ත්වයට පත්වීමට මෙම ආක්‍රමණය තුළ යම් සාධනීය ලක්ෂණ ගැබ් වී තිබිණැ‘යි නිගමනය කළ හැක. එහෙත් පරාක්‍රමබාහු රජුගේ පාණ්ඩ්යදේශ ආක්‍රමණය එබඳු සාධනීය ලක්ෂණ ගැබ්ව ඇත්නම් ඒ ඉතා අල්ප වශයෙනි. පාණ්ඩ්‍ය දේශයේ දී මතු වූ දේශපාලන අර්බුදකාරී තත්ත්වය හමුවේ ඒ තත්ත්වය නිරවුල් කිරීම පිණිස යුධ වැදුණේ එම ගැටලූවට සබඳතාවයක් නොමැති විදෙස් ජාතීන් දෙකකි. දේශපාලන අර්බුදය පැන නැගුණේ පාණ්ඩ්‍ය දේශයේ ය. ඒ උදෙසා යුධ වැදුණේ ලංකාව හා චෝල දේශයයි. මෙම ආක්‍රමණය සනාථ කෙරෙන සෙල්ලිපි වශයෙන් දකුණු ඉන්දියාවේ ආර්පාක්කම්, පල්ලවරායන් පෙට්ටායි, තිරුවාලංගඩු, සම්බනාර් කෝවිල් හා සිදම්බරම් යන ලිපි දැක්විය හැක. ලංකාව පාණ්ඩ්‍ය දේශපාලකයන් නියෝජනය කරමින් යුධ වැදුණු අතර චෝලයෝ කුලකේශි නම් ආක්රමණිකයා නියෝජනය කරමින් යුධ වැදුණේ ය. මෙම යුද්ධය එක වර නිමාවූ යුද්ධයක් නොවූ අතර යුද්ධාවලියක් විය. දෙපාර්ශ්වයේ ම පිරිස් විශාල වශයෙන් විනාශයට පත් වූ බව පරාක්‍රමබාහු රජු යුද්ධයට ටික කලකට පසු ලංකා පුර සෙනෙවියා වෙත ආධාරක බලඇණි යැවීමෙන් ම පෙනේ. මේ ආක්‍රමණය පරාක්‍රමබාහු රජුගේ ජීවිත කාලය තුළ නිම නොවූ වග ද පෙනේ. ඊට අනුව ලංකා හමුදාව දීර්ඝ කාලයක් පාණ්ඩ්‍ය දේශයේ නතර වී සිට ඇති අතර ඒ සඳහා විශාල වියදමක් දරන්නට ඇතැයි අනුමාන කළ හැක. යුද්ධය නිසා සිදු වූ ආර්ථීක හානිය දැක දැකත් තවදුරටත් සිංහල සේනා දකුණු ඉන්දියාවේ ම නතර කර තබන ලද්දේ ඔවුන් ආපසු ගෙන්වීමෙන් සිය රාජ්‍යත්වයට මදි කමක් වේය යන මතය නිසා විය හැක. එහෙත් එහි අවසන් පලය වූවේ ලංකාව විශාල ආර්ථීක අගාධයකට ඇද වැටීමයි. පොළොන්නරු රාජධානියේ බිඳවැටීමට ද මෙම ආර්ථීක පරිහානිය බලපා ඇත. මෙම යුද්ධ සඳහා රජු විසින් ප්‍රබල සෙන්පතියන් යෙදවූ අතර එම සෙන්පතියන් පරාක්‍රමබාහු රජුට පසුකාලීන ඇතැම් රජවරුන්ට අභියෝගයක් වන තරමට ම ප්‍රබල වුහ. මෙය පරාක්‍රමබාහු රජතුමාගේ විදෙස් සබඳතාවන් නිසා අත් වූ එක් දුර්විපාකයකි. කෙසේ වෙතත් මෙම යුද්ධය නිසා චෝලයෝ ඉන්දීය සීමාව තුළට රඳවා තැබීමට පැරකුම්බාවන්ට හැකි විය. ඊට අමතරව දහසය වසරක් පුරා කෙරුණු මෙම යුද්ධයේ තවත් ඵලයක් ලෙස පාණ්ඩ්‍ය රාජ්‍ය ප්රබලව නැගී සිටියේය. එමෙන්ම පාණ්ඩ්‍ය සිංහල සබඳතා වල වැදගත් සංධිස්ථානයක් ද එම යුද්ධ සමය විසින් සනිටුහන් කර ඇත. මහාචාර්ය නීලකණ්ඨ ශාස්ත්‍රී මහතා පවසන්නේ කේරළ-පාණ්ඩ්‍ය-සිංහල තුන් සංධානයේ ශක්තිය ඒ වන විටත් නොනැසී පැවති බවට මේ ආක්‍රමණය සාධක සපයන බවයි.
වෙළඳ සබඳතා
මහාපරාක්‍රමබාහු රජුට රාමඤ්ඤ දේශය ආක්‍රමණය කරන්නට සිදුවූයේ ද සිය රාජ්‍යයේ වෙළඳ කටයුතු වලට බුරුමයේ අලවුංසිතු රජු ඇති කළ බාධක නිසාය. එයින් පෙනීයන්නේ කලක සිට දෙරට අතර වෙළඳ සබඳතා පැවති බවය. අලවුංසිතු රජු දෙරට අතර තිබූ වෙළඳ ගිවිසුම් කඩකළ බව සඳහන් වීමේන පෙනී යන්නේ ගිවිසුම්, සම්මුතීන් සහිතව ම මේ වෙළඳ කටයුතු සිදු වූ බවය. විජයබාහු රජ දවස පටන් ම බුරුම දේශයෙන් ලංකාවට විසිතුරු සිවුරු,කපුරු සඳුන් ආදිය ගෙන්වා ඇති බව මහාවංසයේ දෙවන කොටසේ සඳහන් වේ. මහා පරාක්‍රමබාහු රජතුමා දක්ඛිණදේසයේ පාලකයා ලෙස සිටි කාලයේ විදෙස් රටවලට විකුණා මුදල් ලබාගත හැකි වස්තූන් ඇති ප්‍රදේශ අන්තරංගධූර ලෙස නම් කළේ ඔහු මේ කාලයේ පටන් ම විදෙස් වෙළඳාමට අවධානය යොමු කොට සිටි නිසාය. බුරුමය සමග පමණක් නොව මහාපරාක්‍රමබාහු යුගයේ ලාඕසය කාම්බෝජය වැනි රටවල් සමග ද වාණිජ්‍ය සබඳතා පැවැත් වූ බවට සාධක හමු වී ඇත. මෙතුමාගේ කාලයට අයත් නයිනතිව් ලිපිය අනුව ද මෙතුමාගේ විදෙස් වෙළඳ සබඳතා තහවුරු වේ. (එහි සඳහන් වන්නේ විදෙස් වෙළඳුන්ට ඌරාත්තුරයි හෙවත් කයිට්ස් තොටට ගොඩ බැසීමට අවසර ඇති බවයි.) බුරුමය සමග පැවැත් වූ බවට සාධක වල ස්වභාවය ද මූලාශ්රගත තොරතුරු අනුව පෙනී යයි. බුරුමයෙන් ලංකාව දළ ඇතුන් ආනයනය කළ වග ඒ අනුව හෙළි වේ. ලංකාවේ අගරජු පාලකයා වශයෙන් පත් වූ කාලයේ දී කල්පිටිය හා කොළොම්තොට හරහා විදේශ සබඳතා ගොඩනගා ගත් බවත් දඬිණදේශ සංවර්ධනයට එම සබඳතා ද ඉවහල් කරගත් ආකාරය වංශකතා වල සඳහන් වේ. ඊට අනුව පෙනී යන්නේ පැරකුම්බාවන් විදෙස් රටවල් සමග වෙළඳ සබඳතා පවත්වා ඇති බවයි. මේ වෙළඳ සබඳතා නිසා ලංකාවට විදේශ ආදායම් ලැඛෙන්නට ඇතැයි සිතිය හැක. එය රටක ආර්ථීක සංවර්ධනයට ඛෙහෙවින් බලපාන සාධකයකි. රටෙහි මුදල් රට තුළම ඒ මේ අත හුවමාරුවට වඩා විදෙස් ආදායම් ගැබීම ආර්ථීක වර්ධනයට බලපාන බැවිනි.
සංස්කෘතික, ආගමික හා වෙනත් සබඳතා
පරාක්‍රමබාහු රජු රාමඤ්ඤ දේශය සමග යුද්ධ කිරිමට බලපෑ එක් හේතුවක් වූයේ රාමඤ්ඤ දේශය හරහා කාම්බෝජය දක්වා ගමන් කරමින් සිටි කුමාරිකාවක පැහැර ගැනීමේ සිද්ධියයි. මෙරට කුමාරිකාවන් පාවා ගැනීමට බුරුම, කාම්බෝජ, ලාඕස වැනි රටවල් මහත් අභිමානයක් සේ සලකා ඇත. මෙබඳු සබඳතා කලක් තිස්සේ තිබූ බවට එබදු මතයක් ගොඩනැගී තිබීම සාධකයක් සේ ගතහැක. මහා විජයබාහු රජදවස රාමඤ්ඤ දේශය සමග සබඳතා පැවැත්වීමට උනන්දු වූයේ දෙරටම ථෙරවාදී බෞද්ධ රටවල් නිසා ය. පරාක්‍රමබාහු රජුගේ කාලයේ ද මේ ආගමික සබඳතා එලෙසම පවතින්නට ඇති බව දෙරට අතර යුද්ධය සමතයකට පත්කිරිම සඳහා භික්ෂූන් වහන්සේලා ඉදිරිපත් වීමෙන් ම පෙනේ . මේ නිසා දෙරට ම දිගු කලක් තිස්සේ සිදුවීමට ගිය ආර්ථීක අලාභය මගහරවා සබඳතා යථා තත්ත්වයට පත්කරගත හැකි විය. පරාක්‍රමබාහු රජ දවස මෙරට ඇති වූ ආගමික පුනර්ජීවනය නිසා විදෙස් රටවල භික්ෂූන් වහන්සේලා පවා මෙරටට වැඩම කර ධර්මශාස්ත්‍රීය කටයුතු වල නිරත වූහ. පසුව උන්වහන්සේලා සිය මව්රටවලට ගොස් ලංකවේ ශාසන සම්ප්රදාය ඒ රටවල පිහිටුවූහ. ධම්මචේතිය තෙරුන්ගේ කළ්යානි ශිලා ලිපිය හා බුරුම රට පගාන් නුවර සෙල්ලිපිය මීට උදාහරණ සපයයි. බුරුමයේ සංඝනායක පන්ථගු හිමි එවන් එක් හිමි නමකි. බුරුමයේ සංඝනායක උත්තරජීව මහා ස්ථවිරයෝ සිය ශිෂ්‍ය ඡප්පට තෙරුන් සමග මෙහි අවුත් පොළොන්නරුවේ කලක් නතර වී හිඳ ධර්ම ශාස්ත්‍ර උගෙන පෙරළා සිය රට ගොස් එහි මෙරට ශාසන සමුප්‍රදාය ඇති කළහ. ඔවුන් බිහි කළ භික්ෂු පරපුර ‘‘සිංහල සංඝ‘‘ නමින් හැඳින්වේ දක්ඛිණ දේශයේ පාලකයාව සිටි කාලයේ සිට ම පරාක්‍රමබාහු රජුගේ යුධ සේනාවේ පාණ්ඩ්‍ය හා කේරළ සොල්දාදුවන් සිටි බව වංසකතා වල සඳහන් වේ. සාමාන්‍යයෙන් යුධ හමුදාවට විදෙස් භටයන් බඳවා ගැනීමෙන් ඔව්න්ගේ මව් රටට යම් අවාසි සහගත තත්ත්වයක් මතු වේ. ඔවුන්ගේ රටට සේවය කළ හැකි පිරිසක් විදෙස් රටක් වෙනුවෙන් වැටුපකට හෝ සේවය කිරීමට යාම නිසා ඔවුන්ට යුධමය අවස්ථාවක දී මානව සම්පත් හිඟයකට මුහුණ දීමට සිදු වේ. එහෙත් එම අවාසි සහගත තත්ත්වය ද නොසලකා මෙරට වෙනුවෙන් සේවය කිරිමට සිය සොල්දාදුවන් ලබා දීමෙන් ලංකාව හා එම රටවල් අතර සමීප සබඳතාවක් පරාක්‍රබාහු රජු දවස පැවැත් වූ බව පෙනී යයි. මේ සබඳතා නිසා පරාක්‍රමබාහු රජුගේ දෙස්විදෙස් ආක්‍රමණ සාර්ථක කර ගැනීමට හැකි වූ වග පෙනේ. රාමඤ්ඤ දේශ ආක්රමණයේ දී ද දමිළාධිකාරීවරයෙකු සිංහල සේනා මෙහෙය වූ අතර ඊට පෙර දක්ඛිණ දේශයේ කැරලි මැඩලීමට ද රජරට ආක්‍රමණයට ද දමිළ සෙන්පතිගේ තීරණාත්මක සේවාවන් මගින් සම්බන්ධ වූ හ. එබැවින් පරාක්‍රමබාහු රජුගේ එම සබඳතා අතිශය වැදගත් වූ වග පෙනේ. එහෙත් මේ සබඳතා නිසා පාණ්ඩ්‍ය කුමරු වෙනුවෙන් දකුණු ඉන්දීය ආක්රමණකයට ගොස් දහසය වසරක් තිස්සේ චෝලයින් සමග යුද්ධ කිරීමට ද පරාක්‍රමබාහු රජුට සිදු විය. මේ යුද්ධය සඳහා ලාංකික ආර්ථීකයේ දායකත්වය පාණ්ඩ්‍යයින් මෙරටට ලබා දුන් යම් යම් ආකාර වල අනුග්රාහයකයන් සියල්ලටම වඩා වැඩි වග පෙනේ. එනම් යුද්ධය සඳහා ලංකාවට දැරීමට සිදු වූ වියදමත් , අන්‍ය දේශයක් වෙනුවෙන් මෙරටවැසියන්ගේ ජීවිත කැපකිරීමත් ඔවුන් මෙරට වෙනුවෙන් කළ කිසිදු කාර්යයකට හෝ සම වේ යැයි සිතිය නොහැක. මේ හැර මෙතුමා කාලිංග දේශය සමග ද සබඳතා පවත්වා ඇත. නිශ්ශංකමල්ල රජු මෙරටට ගෙන්වනු ලැබූයේ ද මෙතුමා විසිනැzයි ඉතිහාසඥයෝ විශ්වාස කරති.
මේ ආකාරයට පරාක්‍රමබාහු රජු විදේශ සබඳතාවල යම් යම් සාධනීය හා නිශේධනීය ලක්ෂණ දක්නට ලැබේ. මේ සබඳතාව නිසා ලාංකිකයන්ට ආර්ථීක , ආගමික සංස්කෘතිමය වශයෙන් ලාබයන් ද අලාබයන් ද සිදු වී ඇත.