අමෙරිකා එක්සත් ජනපදය

 

වර්ෂ 2023 වන විටත් ලොව ප්‍රබල රාජ්‍යයකි. පෘතුවිගෝලයේ බටහිර අර්ධය වශයෙන් පොදුවේ පිළිගන්නා කොටස පුරා පැතිර ගිය උතුරු හා දකුණු ඇමරිකානු මහද්වීප දෙකෙන් උතුරු මහද්වීපයේ ඇති රටවල් දෙකෙන් එකකි. ඇමරිකා එක්සත් ජනපදයේ ඉතිහාසය සියවස් ගණනාවක් පුරා විහිදෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඉතිහාසයේ ප්‍රධාන කාල පරිච්ඡේද සහ සිදුවීම් පිළිබඳ කෙටි දළ විශ්ලේෂණයක් පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය.

යටත් විජිත යුගය (1607-1775)- එක්සත් ජනපදයේ ඉතිහාසය ආරම්භ වන්නේ 17 වන සියවසේ මුල් භාගයේ යුරෝපීය යටත් විජිතවාදීන්ගේ පැමිණීමත් සමඟ ය. ඉංග්‍රීසි ජාතිකයන් 1607 දී වර්ජිනියාවේ ජේම්ස්ටවුන් හි පළමු සාර්ථක හා ස්ථිර ඉංග්‍රීසි ජනාවාස පිහිටුවන ලදී. ඊළඟ සියවසේදී ප්‍රංශ සහ ස්පාඤ්ඤ වැනි අනෙකුත් යුරෝපීය බලවතුන් ද උතුරු ඇමරිකාවේ විවිධ ප්‍රදේශවල යටත් විජිත පිහිටුවා ගත්හ. ස්වදේශික ඇමරිකානු ගෝත්‍රිකයන් වූ රතු ඉන්දියන්වරු සමග සමඟ විවිධ මට්ටමේ ස්වයං පාලන ක්‍රමවේද අනුගමනය කරමින් සහ සබඳතා ඇතිකරගනිමින් මෙම ජනපද ක්‍රමයෙන් වර්ධනය විය.

විප්ලවවාදී කාල පරිච්ඡේදය (1765-1783)- බදුකරණය, නියෝජනය සහ පුද්ගල අයිතිවාසිකම් වැනි ගැටළු සම්බන්ධයෙන් ඇමරිකානු යටත් විජිත සහ බ්‍රිතාන්‍ය කිරීටය අතර උණුසුම් තත්ත්වය වැඩි විය. යටත් විජිතවාදීන් ස්වයං පාලනයක් සහ ස්වාධීනත්වයක් අපේක්ෂා කළ අතර එය අවසානයේ ඇමරිකානු නිදහස් සටනට (1775-1783) හේතු විය. යුද්ධයේ ප්‍රතිඵලය වූයේ ඇමරිකානු ජනපද බ්‍රිතාන්‍ය යටත් විජිත තත්ත්වයෙන් මිදී නිදහස ලබා ගැනීම සහ නිදහස්, ස්වෛරී රාජ්‍යයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය පිහිටුවීමයි.

මුල් ජනරජය (1783-1820s)- නිදහස ලැබීමෙන් පසු, එක්සත් ජනපදය විවිධ ආකාරයේ පාලන ක්‍රම අත්හදා බැලූ අතර, අවසානයේදී 1787 දී ලිඛිත ව්‍යවස්ථාවක් සහිත ෆෙඩරල් ක්‍රමයක් අනුගමනය කළේය. එය සන්ධීය ආණ්ඩුක්‍රමයක් වශයෙන් හැඳින්වේ. ජෝර්ජ් වොෂින්ටන් 1789 දී එක්සත් ජනපදයේ ප්‍රථම ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් විය. 1803 දී ලුසියානා මිලදී ගැනීමත් සමඟ ඇමරිකා එක්සත් ජනපදය තවදුරටත් බටහිර දෙසට ව්‍යාප්ත විය. කෙසේ නමුත් මුල් සමූහාණ්ඩුව ප්‍රාන්තවල අයිතිවාසිකම්, වහල්භාවය සහ ෆෙඩරල් ආන්ඩුවේ භූමිකාව වැනි ගැටළු පිලිබඳ වාද විවාද වලින් යුතු මූලික වර්ධන අවස්ථාවක ලක්ෂණ සහිත එකක් විය.

පූර්ව සිවිල් යුධ සමය (Antebellum) (1820s-1860s)- කර්මාන්ත දියුණුව, ප්‍රවාහන ක්ෂේත්‍රයේ වර්ධනය,  සහ බටහිර දෙසට ජනාවාස වර්ධනය වීමත් සමඟ මෙම කාලය තුළ එක්සත් ජනපදය වේගවත් ආර්ථික හා භෞමික ව්‍යාප්තියක් අත්කරගන්නා ලදී. කෙසේ වෙතත්, මේ කාලය තුළ වහල්භාවය පිළිබඳ ගැටළු උත්සන්න වූ අතර, එය පදනම්කරගෙන උතුරු සහ දකුණු ප්‍රාන්ත අතර බෙදීමක් ඇති විය. මෙය අවසානයේ වහල්භාවය සහ ප්‍රාන්තවල අයිතිවාසිකම් ඇතුළු ගැටළු සම්බන්ධයෙන් ඇමරිකානු සිවිල් යුද්ධයක් (1861-1865) ඇති වූ නිසා, යුනියන් (උතුරු ප්‍රාන්ත) සහ කොන්ෆෙඩරසි (දකුණු ප්‍රාන්ත) අතර විනාශකාරී වාතාවරණයක් නිර්මාණය විය.

ප්‍රතිසංස්කරණ යුගය (1865-1877)- සිවිල් යුද්ධයෙන් පසුව, එක්සත් ජනපදය ‘ප්‍රතිසංස්කරණ’ය ලෙස හැඳින්වෙන නැවත ගොඩනැඟීමේ සහ සමාජ පරිවර්තනයේ කාල පරිච්ඡේදයක් පසු කළේය. මේ කාලය තුළ වහල් ජනයා එක්සත් ජනපද සමාජයට ඒකාබද්ධ කිරීමටත්, අප්‍රිකානු ඇමරිකානුවන්ට සිවිල් අයිතිවාසිකම් ලබා දීමටත් උත්සාහ කරන ලද නමුත් මෙම ප්‍රයත්නයන් සැලකිය යුතු අභියෝග සහ ප්‍රතිරෝධයන්ට මුහුණ දුන්නේ ය. එය ඇමරිකානු ඉතිහාසයේ කැලඹිලි සහිත කාල පරිච්ඡේදයක ආරම්භය විය.

කාර්මිකකරණය සහ ප්‍රගතිශීලී යුගය (19 වැනි සියවසේ අග සිට 20 වැනි සියවසේ මුල් භාගය දක්වා)- 19 වැනි සියවසේ අගභාගයේ සහ 20 වැනි සියවසේ මුල් භාගයේ ඇමරිකා එක්සත් ජනපදයේ සීඝ්‍ර කාර්මිකකරණයක් සහ නාගරීකරණයක් සිදු විය. එමෙන්ම ඊට සාපේක්ෂව සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණ ද මේ යුගයේ දක්නට ලැබිණි. මේ කාලපරිච්ඡේදය ප්‍රගතිශීලී යුගය ලෙස හැඳින්වෙයි. මෙම කාලපරිච්ඡේදයේ සැලකිය යුතු තාක්‍ෂණික දියුණුවක්, මහා ව්‍යාපාරිකයන්ගේ නැගීමක් දක්නට ලැබේ. නමුත් ඊට සාපේක්ෂව  කම්කරු අරගල සහ දරිද්‍රතාවය, ළමා ශ්‍රමය සහ කාන්තා ඡන්ද අයිතිය වැනි සමාජ ප්‍රශ්න ද කරලියට පැමිණියේ ය. එහි දී එකී ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීමටත්, ඒවාට විසඳුම් සෙවීමටත් මේ කාලය තුළ උත්සාහ කරන ලදී.

ලෝක යුද්ධ සහ සීතල යුද්ධය (20 වන සියවස)- දෙවන ලෝක යුද්ධයෙන් පසු ගෝලීය සුපිරි බලවතෙකු ලෙස නැගී ආ ඇමරිකා එක්සත් ජපනදය වර්තමානය(2023) වන විට යළිත් ගෝලීය අර්බුධ රැසකට මුහුණ දී සීටී. කෙසේ වෙතත් 19 සියවස අග හා 20වන සියවස මැද දක්වා වූ කාලය තුළ සිදු වූ පළමු ලෝක යුද්ධය (1914-1918) සහ දෙවන ලෝක යුද්ධය (1939-1945) යන දෙකෙහිදී ම එක්සත් ජනපදය සියලු පාර්ශ්වයන්ට ආයුධ, ආහාර, ඖෂධ ආදිය අලෙවි කිරීම මගින් විශාල වශයෙන් මුදල් උපයා ගත්තේ ය. යුද්ධයේ පැවැත්ම කෙරෙහිත් නැවත්ම කෙරෙහිත් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළේය. ඊට අමතරව එක්සත් ජනපදය ද සීතල යුද්ධය (1945-1991) ද අත්විඳින ලදී.

සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය සහ සමාජ විපර්යාස (1950-1960s)- මේ වනාහි අප්‍රිකානු ඇමරිකානුවන්ට එරෙහි වාර්ගික වෙන් කිරීම සහ වෙනස් කොට සැලකීම අවසන් කිරීම අරමුණු කරගත් යුගයකි. සමාජ හා දේශපාලන ව්‍යාපාරයක් වන සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය 1950 සහ 1960 ගණන්වල දක්නට ලැබුණි. සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ වාර්ගික වෙනස්කම් කිරීම අවසන් කිරීම අරමුණු කරගත් මෙම ව්‍යාපාරයේ ජයග්‍රහණ වශයෙන් 1964 සිවිල් අයිතිවාසිකම් පනත සම්මත කරගැනීමත්, 1965 ඡන්ද අයිතිය පිළිබඳ පනත සම්මත කරගැනීමත් දැක්විය හැක. ඊට අමතරව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සැලකිය යුතු ප්‍රගතියක් මෙම යුගයේ දක්නට ලැබුණි.

මෑත ඉතිහාසය (1970-වර්තමානය)- එක්සත් ජනපදයේ මෑත ඉතිහාසය, එනම් 1970 සිට වර්තමානය දක්වා සැලකිය යුතු සිදුවීම් සහ විවිධ ක්ෂේත්‍රවල වෙනස්කම් සිදු වූ යුගයකි. දේශපාලනික වශයෙන් ද ආර්ථික වශයෙන් ද මේ යුගයේ දී අමෙරිකා එක්සත් ජනපදය ලෝකය කෙරේ විශාල බලපෑමක් කළ යුගයකි. නමුත් මේ තුළ සමස්තයක් වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ බිඳවැටීමේ ලකුණු පහළ වී තිබේ.

Share with Student