අමෙරිකන් විප්ලවය

 

මෙය ඇමරිකානු නිදහස් යුද්ධය, ඇමරිකානු විප්ලවීය යුද්ධය ලෙස ද හැඳින්වේ, එය 1775 සිට 1783 දක්වා වූ කාල පරාසය තුළ සිදුවීම් මාලාවක් හා බැඳේ. ස්වාධීන ඇමරිකා එක්සත් ජනපදය ලෙස ප්‍රකාශ කළ උතුරු ඇමරිකානු ජනපද දහතුනක් සහ මහා බ්‍රිතාන්‍යය අතර ඇති වූ ගැටුමක් වශයෙන් ද මේ සිදුවීම් මාලාව හැඳින්විය හැක. මෙම සටන ලෝක ඉතිහාසයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකේ. එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපදය ස්වෛරී රාජ්‍යයක් ලෙස ස්ථාපිත වූ අතර ඇමරිකාවේ යුරෝපීය යටත් විජිතවාදයේ අවසානය ද එය විසින් සනිටුහන් කළේය. මේ සටන සඳහා

  • මහා බ්‍රිතාන්‍යයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය.
  • බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඇමරිකානු ජනපද වැසියන්ගේ නියෝජනයක් නොමැති වීම.
  • යටත්විජිත අයිතීන් උල්ලංඝනය කිරීම.

වැනි කාරණා බලපා තිබේ. 1775 දී ලෙක්සිංටන් සහ කොන්කෝඩ් මුල් කරගනිමින් ජනපද වැසියන් බ්‍රිතාන්‍ය හමුදා වෙත විරෝධතාව දැක්වූ අතර පසුව එය ක්‍රමයෙන් සන්නද්ධ ප්‍රතිරෝධයක් දක්වා වර්ධනය විය. කෙසේ වුව ද බ්‍රිතාන්‍ය විරෝධය නොතකමින්, 1776 දී තෝමස් ජෙෆර්සන් විසින් කෙටුම්පත් කරන ලද නිදහස් ප්‍රකාශනය සම්මත කර ගනිමින් ජනපද වැසියෝ සිය නිදහස හා ස්වෛරීත්වය ප්‍රකාශයට පත්කළහ. ඒ ඇමරිකානු යටත් විජිත නියෝජනය කළ කොන්ටිනෙන්ටල් කොන්ග්‍රසය (මහාද්වීපික සමුළුව) අතරතුරදී ය. නමුත් බ්‍රිතාන්‍යය එය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඉන්පසුවත් යුද්ධය තවත් වසර කිහිපයක් පුරා පැවතියේ ය. බන්කර් හිල් සටන, සරටෝගා සටන සහ යෝර්ක්ටවුන් වටලෑම වැනි සුප්‍රසිද්ධ මැදිහත්වීම් ඇතුළු සටන් සහ ව්‍යාපාර මාලාවක් මේ තත්ත්වයට උදාහරණ වශයෙන් දැක්විය හැකි වේ. යුද්ධයේ දී දෙපාර්ශ්වය විසින්ම යුධ උපාය මාර්ග සහ උපක්‍රම රාශියක් භාවිතා කරන ලදී. ඇමරිකානුවන් බොහෝ විට ගරිල්ලා යුද්ධ සහ අක්‍රමවත් හා අසම්මත උපක්‍රම භාවිතා කළ අතර බ්‍රිතාන්‍යයන් සම්ප්‍රදායික යුරෝපීය පන්නයේ යුද්ධෝපාය මත විශ්වාසය තැබූහ. ජෝර්ජ් වොෂින්ටන් වැනි කැපී පෙනෙන පුද්ගලයන් විසින් මෙහෙයවන ලද ඇමරිකානු හමුදා, මුල දී හමුදා හිඟය, සැපයුම් සහ අරමුදල් හිඟය ඇතුළු සැලකිය යුතු අභියෝගවලට මුහුණ දුන් නමුත්,  ප්‍රංශය විසින් යුධමය හා මූල්‍යමය වශයෙන් කළ ආධාර නිසා සැලකියයුතු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූහ. මෙසේ ක්‍රමයෙන් ඇමරිකානු ජනපද වැසියන්ගේ පාර්ශ්වයට වැඩි වාසි අත්කරමින් යුද්ධය කලක් ඇදී ගිය අතර අවසානයේ බ්‍රිතාන්‍ය හමුදාවට නිල නොවන වශයෙන් හෝ පරාජය පිළිගැනීමට සිදු විය. ඊට අනුව එක්සත් ජනපදයේ ස්වාධීනත්වය පිළිගෙන නව ජාතියේ භූගෝලීය මායිම් ස්ථාපිත කරන ලද පැරිස් ගිවිසුමෙන් අනතුරුව 1783 දී යුද්ධය නිල වශයෙන් ම අවසන් විය. යුද්ධයේ ඇමරිකානු ජයග්‍රහණය දිගුකාලීන ප්‍රතිවිපාක ඇති කළ අතර, එක්සත් ජනපදය ස්වෛරී රාජ්‍යයක් ලෙස ස්ථාපිත කිරීම එහි එක් ඵලයකි. ජනපද වැසියන්ගේ මේ ජයග්‍රහණය විසින් ලොව පුරා ස්වාධීනත්වය සහ ස්වයං නිර්ණය සඳහා පැවතියා වූ අරගල වලට ප්‍රබෝධයක් එක් කරන ලදී. ඊට අමතරව ඇමරිකානු විප්ලවය අතරතුර මතු වූ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ මූලධර්ම නූතන ලෝක ඉතිහාසයේ ගමන් මගට ප්‍රබල බලපෑමක් ඇති කර ඇති ඇත.

Share with Student