අඹන් ගඟ

මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවයි. මාතලේ හා නාලන්ද කඳු වලින් ඇරඹී දාස්තොට අසල දී මහවැලි ගඟට එකතු වන මෙය අම්බොකු ඔය, කළු ගඟ(කළුතර කළු ගඟ නොවේ) කම්බර ඔය, ගලූබොඩ ඔය, නාලන්ද ඔය, හීරටි ඔය, වැනි අතු ගංගා වලින් පෝෂණය වේ. කුඩා වැලි දූපත් රැසක් අතරින් සැතපුම් 62ක් දුර ගලා ගොස් මහවැලි ගඟට එකතු වේ. අඹන් ගඟ ලංකාවේ කෘෂිකාර්මික කටයුතු වල දී බෙහෙවින් උපකාරී වූ ගංගාවකි. මහසෙන් රජතුමා ඇළහැර දී අඹන් ගඟ හරස් කොට ඇළහැර අමුණ බඳවා එතැන් සිට ඇළ මගක් කැණ මින්නේරිය වැවට ජලය ලබා ගන්නා ලදී. මහා පරාක්‍රමබාහු රජතුමා(1153-1186) අඟමැඩිල්ලේ දී අඹන් ගඟ හරස් කොට අමුණක් බඳවා ආකාශ ගංගා නම් ඇළ මගින් පරාක්‍රම සමුද්‍රයට ජලය ලබා ගන්නා ලදී. සී. ඩබ්. නිකලස් මහතායට අනුව අතීතයේ දී අඹන් ගඟ කර ගඟ නමින් ද හඳුන්වා ඇත. ඊට සාධක වශයෙන් ‘’මහසෙන් රජ යකුන් අතින් ද මෙහෙ ගෙන මිණිහිරි වැව බඳවා කර ගඟ මිණිහිරි වැවට දිය ගෙන යන ලෙසට අමුණු බඳවා’’ යනුවෙන් පූජාවලියේ එන විස්තරය උපුටා දක්වයි. රාජාවලිය ද, බුද්ධරාජාවලිය ද මීට සමාන විස්තර දක්වා ඇත. මහා පරාක්‍රමබාහු රජ සමය වන විටත් කාර ගංගා නමින් හැඳින්වුණු මෙම ගංගාවට අඹන් ගඟ යන නම යෙදෙන්නට  ඇත්තේ එය දෙගොඩ වූ ප්‍රදේශ වල නම් මුල් කරගෙන විය යුතුය. මෙම ගඟ දෙබඩ නාලන්ද හා ඇළහැර අතර කොටස අම්බවනරට්ඨ ලෙස ද(වත්මන් අඹන), ඊට උතුරින් වූ ප්‍රදේශය සූරඅම්බවන නමින් ද හඳුන්වා ඇත. මෙම ප්‍රදේශ නාම මුල් කර ගනිමින් පසු කාලයේ කාර ගංගාව අඹන් ගඟ ලෙස හඳුන්වන්නට ඇත.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න