දැඩිමුණ්ඩ දෙවියන්-ශකිල රාජකරුණා

අහන්න

දේව පුරාණය ගැන අවධානය යොමු කරද්දි හරි අපූරු කතා හමු වෙනවා. මේ කතාව දැඩිමුණ්ඩ දෙවියන් සම්බන්ධයෙන් තියෙන එකක්. අදාළ කාරණාවට යන්න කලින් දැඩිමුණ්ඩ දෙවියන් කියන්නෙ කවුරුද කියලා කියන්නම්.

දැඩිමුණ්ඩ දෙවියන්ගෙ උපත් කථාවක සඳහන් වෙන විදියට මොහු‍ගෙ උපත පන්සිය පනස් ජාතක පොතේ එන විදුර ජාතකයට වක්‍රව සම්බන්ධ වෙනවා. ජාතක කථාව බොහොම දිග යි. ඒ නිසා මම ජාතක කථාව සටහන් කරන්න ඉදිරිපත් වෙන්නෙ නැහැ.

ඒ ජාතක කථාවෙ ඉන්නවා එරන්දතී කියලා නාග කන්‍යාවක්. නාග ලෝකෙ නාග රජතුමා වුණු වරුණ නා රජුගේත්, ඔහුගේ බිසව වූ විමලා දේවියගේ ත් දියණිය තමා එරන්දතී කියලා කියන්නෙ. ඇය විවාහ වෙන්නෙ යක්ෂ ලෝකයේ යක්ෂයන්ට අධිපති වූ කුවේර කියන රජතුමා ගෙ බෑණා වුණු පූර්ණක කියන යක්ෂයා එක්ක. මේ දෙදෙනාට උපදින දරුවා තමා දැඩිමුණ්ඩ කියලා කියන්නෙ. ඔහු ගෙ මුල් නම සුදුමල්. වෙසමුණි රජතුමා සුදුමල් කුමාරයා ව යක්ෂයින්ගෙ සෙනෙවිරත් කෙනෙක් කරනවා.

සුදුමල් කුමාරයාට දැඩිමුණ්ඩ කියන නම පටබැඳුණු හැටි ගැනත් විවිධ කථාන්දර කියැවෙනවා. සිද්ධාර්ථ බෝධිසත්ත්වයන් වහන්සේ බුදු බව ප්‍රාර්ථනා කරමින් බවුන් වඩන්න පටන් ගත්තම වසවර්ති මාරයා මාර සෙනඟක් අරගෙන ඇවිත් බෝධිසත්ත්වයන් වහන්සේට බාධා කරන්න පටන් ගත්තා. ‍වසවර්ති මාරයා සහ ඔගෙ සෙනඟ දැකපු, ඒ වෙලාවෙ එතැනට රැස් වෙලා හිටපු දෙවිවරු බියට පත් ව එතැනින් පැන දුවන්න වුණා. සියලු දෙවිවරු ඉවත් ව ගියත් එක් දෙවි‍ කෙනෙක් එතැනින් ඉවත් වුණේ නෑ. ඒ තම යි සුදුමල් කුමාරයා. සුදුමල් කුමාරයා ගෙ මේ ධෛර්යය නිසා ම ඔහුට නමක් පටබැඳුණා දැඩිමුණ්ඩ කියලා.

වසවතු තොසින් නේ

හිස පැළඳි මලසුන් නේ

මුනිඳුට පුදන් නේ

මුණ්ඩ දැඩි නම එද යි දුන් නේ

සදෙව් ලොව බලමි න

නාලොව තිලොව සැම තැ න

කෙනෙක් නැත සරිල න

මුණ්ඩ දැඩියා එ නම තබමි න

මේ සිද්ධිය ම තමා දැඩිමුණ්ඩ දෙවියන්ට ලංකාවෙ වාසභවනක් නිර්මාණය කරන්න මූලික වෙන්නෙ. ඒ වෙසමුණි රජතුමාගේත්, උපුල්වන් දෙවියන්ගේත් මැදිහත්වීම මත. දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් ලංකාවේ දේවාලයක් හැදුණු විදිය ගැනත් කතා කීපයක් තියෙනවා. ඒ කථාත් ටිකක් දිග යි.

ලංකාවට ආපු දැඩිමුණ්ඩ දෙවියො පොඩි පොඩි කලබගෑනි ටිකක් ඇති කළා.ඔය අතරෙ ඔහුගෙ රත්‍රන් සෝලුව හතර කෝරළේ ගල් ගුහාවක තැන්පත් කරන්න කටයුතු කළ බවත් සඳහන්. මේ සිද්ධි එවකට ලංකාවෙ රජතුමා හීනෙන් දකිනවා. ඔහු පහුවෙනි දා ම පිරිසත් එක්ක ගිහිං දැඩිමුණ්ඩ දෙවියන්ගෙ සෝලුව තැන්පත් කරලා තිබුණු ගල්ලෙන හොයාගෙන එ තැන තුන්මහල් ප්‍රාසාදයක් කරවන්න විධි විධාන යොදනවා. රජතුමා ඒ ආශ්‍රිතව අලුත් නගරයකුත් ඉදි කළා කියලා කියැවෙනවා.

මේ විදියට ඉදි කරපු තුන්මහල් ප්‍රාසාදයට අමතර ව දිග්ගෙයක්, ශාලාවක් වගේ ඉදිකිරීම් කීපයකුත් රජතුමා කරවූ බව යි සඳහන් වෙන්නෙ. දැං තමා අපූරු ම කතාව පටන් ගන්නෙ.

රජතුමා දිග්ගෙය හදලා ඒකට බහින තැන මලුව සකස් කරද්දි විශාල කළුගලක් මතු වුණා. මේ කළු ගල කඩන්න පුළුවන් තරම් උත්සාහ කළත් ඒ දේ රජතුමාට කරගන්න අපහසු වුණා. අවසානෙ රජතුමා දැඩිමුණ්ඩ දෙවියන්ට මේ ගැන කියලා කන්නලව් කරන්න පටන් ගත්තා. මේකට දැඩිමුණ්ඩ දෙවියො ඇහුම්කන් දුන්නා. හැබැයි පොඩි නියෝගයකුත් එක්ක.

වඩා කැවුම් පූ කිරිබත් කැට කො ට

කුඩා නොකරවව් එක දෙක දෙන්න ට

විඩාව හැර පුද යකු හට   කන්න ට

කඩා දමමි ගල අද රෑ     සුන් කො ට

දැඩිමුණ්ඩ දෙවි‍‍යො රජතුමාට කියනවා, යක්ෂයන්ට මදි නොකියන්න කන්න පුළුවන් තරමට කිරිබත් කැවුම් ගෙනත් මෙ තැන පූජා කරන්න, අද රෑ ම මේ ගල කඩලා දානවා කියලා. රජතුමා ඒ විදියට කළා. මේ ගල මෙතැනින් කඩලා ඉවත් කරන්න අවශ්‍ය තරම් යක්ෂ සේනාවක් ගෙන්න ගන්න දැඩිමුණ්ඩ දෙවියො කටයුතු කරන්නෙ ඊට පස්සෙ. මෙන්න ගෙන්න ගත්ත යක්ෂ සේනාව.

මංගල ගවුඩය මලල රටේ යක්

කොන්ගනි ජාවකු වඩිග රටේ යක්

කන්නඩි කවුඩිය කාවේරි රටේ යක්

සිංහල දේසෙට ගෙන්නා සැම යක්

මේ විදියට යක්ෂයින් ව ගෙන්න ගන්න ‍දැඩිමුණ්ඩ දෙවියො, රජතුමා සූදානම් කරපු කැවුම් කිරිබත් මේ යක්ෂයින්ට පිළිගන්නලා මේ විදියට අණ කරනවා.

කන්ට සුදුසු දේ රිසි    ලැබ ග ල්ලා

කොන්ත කඩුත් යවුලුත් අරග ල්ලා

ගන්ට සුදුසු ආයුධ        අරග ල්ලා

සුන්ඩු වාසි කර ගල   බිඳප ල්ලා

දැඩිමුණ්ඩ දෙවියන්ගෙ අණට කීකරු වුණු යක්කු එක දවසින් මේ ගල කඩලා ඉවත් කරනවා. හැබැයි මේ විදියට ගෙන්න ගත්ත යක්කු නිසා වෙන ප්‍රශ්නයක් ඇති වුණා. විවිධ පැතිවලින් ගෙන්න ගත්ත යක්කු තමන්ට පැවරුණු වැඩේ ඉවර වුණා ම කෑ ගහන්න පටන් ගත්තා. සමහර යක්කු රණ්ඩු වෙන්න පටන් ගත්තා. සමහරු කාන්තාවන්ට ආවේශ වෙන්න පටන් ගත්තා.

මේ සිද්ධිය නිසා දැඩිමුණ්ඩ දෙවියො තමන් ගෙන්න ගත්ත යක්ෂයන්ට ආයෙත් ආපු තැන්වලට පිට ව යන්න කියලා දැනුම් දුන්නා. හැබැයි මේ යක්කු ආයෙ යන්න කැමති වුණේ නෑ. දෙවියන් කියන දෙයක් කරගෙන මෙහෙටම වෙලා ඉන්නම් කියලා සමහරු කීවා. ගියොත් ආයෙත් දෙවියන්ව දකින්න ලැබෙන්නෙ නැති නිසා සමහරු යන්න බෑ කීවා. ඒ අතර හිටපු සමහර යක්කු හරි අමුතු කතාවකුත් කීවා. ඒ අය යන්න අකමැති වුණේ ලංකාවෙ ඉන්න කාන්තාවො නිසා. ලංකාවෙ කාන්තාවො අතෑරලා කොහොම ද යන්නෙ? ලංකාවෙ කාන්තාවන්ට වශී වෙලා හිටපු යක්කු දැඩිමුණ්ඩ දෙවියන් ගෙන් ඇහුවෙ එහෙම.

සිරිපා නුරා රන් රුව සේ      උන්නේ

මිහිරි කතා රන ගිරවුන්       වැන්නේ

සපිරි නොලා මල් වරල      බඳින්නේ

ඔමරි ලියන් ඇර කෙලෙස ද යන්නේ?

ඒ වෙලාවෙ දි දැඩිමුණ්ඩ දෙවියො අපූරු උත්තරයක් දුන්නා.

“එම්බල යක්ෂයිනි, තොපි සිංහල මායම් දන්නෑ. මන්තරවලින් බැඳලා උඹල ව සිර කර ගනි යි. යන්තර උඩ හිට්ටවලා බැට දෙයි. අඳුන් නස්න කරවලා හිර ගේ දා යි. ඒ නිසා දකින දකින කාන්තාවන්ට ලෙඩ කරවන්නෙ නැති ව, දුක් නො වී, වැවක් බිඳිලා වතුර ගලාගෙන යනවා වගේ තමන් ආපු රටවල්වලට ම ආපහු පලයල්ලා”

සිංහල මායම් යකු තොපි නොදනි ති

මන්තරයෙන් බැඳ සිර කර ගනි ති

යන්තර පිට සිටුවා බලු බැට දෙ ති

අංජන නස්නය කර දඟ ගෙයි ල ති

ලෙඩක් නො කරවව් දුටු දුටු ලිය හ ට

දුකක් සිතින් නො සිතා යව් යන්න ට

වැවක් බිඳී වතුරක් යන විලස ට

එකෙක් නො සිට යව් තම තම දේසෙ ට

මේ කතා කවියෙන් ලංකාවෙ පුස්කොළ පොත්වල ලියැවිලා තියෙනවා. සිංහල මන්තර ශාස්ත්‍රයෙත් ටිකක් සැර මන්තර විදියට තම යි දැඩිමුණ්ඩ දෙවියො සම්බන්ධ මන්තර ගැන කතා කෙරෙන්නෙ. දැඩිමුණ්ඩ ඉනාව, දැඩිමුණ්ඩ බන්ධනය, දැඩිමුණ්ඩ සැරය ඔය වගේ මන්තර ලංකාවෙ මන්තර ශාස්ත්‍රයේ භාවිත වෙනවා. සටහන එක්ක අමුණලා තියෙන්නෙ පුස්කොළ පොතක ඇඳලා තිබුණු දැඩිමුණ්ඩ දෙවියන් ගෙ රූප සටහනක්.