බුලත් ගැන කතාවක් …-ශකිල රාජකරුණා

බුලත් කොළය කියන්නෙ ලංකාවේ සංස්කෘතියට බොහොම සමීප සම්බන්ධතා පවත්වන දෙයක්. මළ ගෙදර, මඟුල් ගෙදර විතරක් නෙවෙ යි, ලාංකීය සංස්කෘතියේ බොහෝ අවස්ථාවල දී බුලත් කොළය පාවිච්චි කරනවා. අලුත් අවුරුදු චාරිත්රවල දි පවා ගුරුවරුන්ට, වැඩිහිටියන්ට වඳින්නෙ බුලත් අතක් දීලා. ලංකාවෙ සාම්ප්රදායික ශාස්ත්ර ඉගෙන ගද්දිත්, අදාල ශාස්ත්රය ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ආධුනිකයා, අදාල ශිල්ප ශාස්ත්ර තමන්ට උගන්නන්න කියලා ගුරුවරයාට ආරාධනා කරන්නෙත් බුලත් අතක් දීලා. බණ ගෙදරට, දානෙ ගෙදරට පන්සලේ හාමුදුරුවන්ට ආරාධනා කරද්දි දෙන දැහැත් වට්ටියෙත් වැඩිපුර ම තියෙන්නෙ බුලත් කොළ. සාම්ප්රදායික වෙදකම, මන්ත්ර ශාස්ත්රය, සමහර විට ජ්යොතිෂය වගේ විෂයන්වල නිමිති බැලීම් වගේ දේවල්වලටත් බුලත් භාවිත කරනවා. ඒ විතරක් නෙවෙ යි, බුලත් විට කන කෙනාට අමනුෂ්යයොත් බය යි කියලත් සමහරු විශ්වාස කරනවා.
බුලත් කොළේට මේ තරම් වටිනාකමක් ලැබුණෙ කොහොම ද? බුලත් කොළය සම්බන්ධයෙන් සාමාන්ය ගැමියා ගේ විශ්වාස කිරීම් මොන වගේ ද? ඒවා හොයාගෙන යද්දි හරි අපූරු කතා හමු වෙනවා. ලංකාවෙ අදටත් සමහර ප්රදේශවල තියෙන හත් අඩියේ දෙහි කැපීම් කවිවල බුලත් කොළේ උපත ගැන කියන කතාව මම කියන්නං. මේ කථාන්දර මිනිස්සු හදාගත්ත ඒවා වුණත්, ඒ කථාන්දරත් එක්ක බැඳුණු පැරැන්නන් ගෙ චින්තන රටාව හරි අපූරු යි. හත් අඩියෙ ශාන්ති කර්මයේ තියෙනවා දෙහි උපත, ගිරා උපත, පුහුල් උපත වගේ කවි ගොඩක්. මේ ඒ අතරින් බුලත් උපත ගැන කියන කතාව.
කලින් ලිපියක මම සඳහන් කළා දැඩිමුණ්ඩ දෙවියන් ගෙ උපත අපේ ජාතක පොතේ තියෙන විදුර ජාතකයට සම්බන්ධ කරලා තියෙන හැටි. බුලත් උපතත් ඒ වගේ ජාතක කථාවකට සම්බන්ධ යි. ඒ සම්බන්ධය ගොඩනැඟිලා තියෙන්නෙ සස ජාතකය එක්ක. සස ජාතකය කීව ම සමහරුන්ට එක් වර ම මතක් නොවුණත් ශක්ර දේවේන්ද්රයා ගිහිං හඳේ හාවා ඇඳපු කථාව ගොඩක් දෙනෙක් දන්නවා ඇති. ඒ නිසා මම ජාතක කථාව සම්පූර්ණයෙන් කියන්න උත්සාහ කරන්නෙ නැහැ. කෙටි ආරම්භයක් විතරක් ගන්නං.
බෝධිසත්ත්වයන් වහන්සේ එක් අවස්ථාවක හාවෙකු ගෙ ආත්මභාවයක උපදිනවා. ඔහුට යාලුවො තුන් දෙනෙකුත් ඉන්නවා. ඒ වඳුරෙක්, හිවලෙක් හා මස්කාවෙක්. මේ අතරින් නුවණැත්තා තමා හාවෙක් වෙලා ඉපදුණු බෝධිසත්ත්වයො. කොහොම හරි මේ අය පෝය දවස්වලට සිල් සමාදන් වෙනවා. සස පණ්ඩිතයො තමන් ගෙ මිත්රයන්ට කියනවා, කවුරු හරි යාචකයෙක් කෑමට යමක් ඉල්ලගෙන ආවොත් තම තමන් අය අනුභව කරන දෙයින් කොටසක් යාචකයාටත් දෙන්න කියලා. වඳුරාත්, හිවලාත්, මස්කාවාත් ආහාරයට සොයාගත් දේවල් පැත්තකින් තියාගෙන ශීලය සිහි කර කර ඉන්න පටන් ගත්තා. මේ වෙලාවෙ දි සස පණ්ඩිතයො (හාවා) කල්පනා කළේ වෙනස් ම දෙයක්. තමන් ගෙ ආහාරයට තණකොළ වුවත් ප්රමාණවත්, යාචකයෙක් ඇවිත් ආහාරයට යමක් ඉල්ලුවොත් ඔහුට තණකොළ දෙන්න බැහැ. ඒ නිසා කවුරුන් හෝ ආහාර සොයාගෙන තමන් හමුවට පැමිණියහොත් ස්වකීය ශරීර මාංශය ඒ යාචකයාට දන් දෙන්න හාවා කල්පනා කළා.
සස පණ්ඩිතයන් ගේ ශීල තේජසට ශක්රයා ගේ ආසනය රත් වෙන්න පටන් ගත්තා. සක් දෙව් රජුත් ආසනය රත් වෙන්න හේතුව බලද්දි සස පණ්ඩිතයන් ගෙ ශීල තේජස නිසා මේ දේ සිද්ධවුණු බව දැක්කා. බමුණකු ගෙ වේශයක් මවා ගනිමින් ශක්ර දේවේන්ද්රයා වඳුරා, හිවලා සහ මස්කාවා ගාවට වෙන වෙන ම ගියා. ගිහින් ආහාරයට යමක් ඉල්ලුවා. ඔවුන් ආහාර විදියට එකතු කරගෙන හිටපු දේවල් ඒ අවස්ථාවෙ බමුණට ලබා දෙන්න කටයුතු කළත් ඔහු ඒ වෙලාවෙ තමන්ට ලැබුණු ආහාර ද්රව්ය අරගෙන ගියෙ නැහැ. අරගෙන යන්න ආයෙත් එන බව පවසමින් ඔහු අවසානයට සස පණ්ඩිතයො ගාවට යනවා. ගිහිං ආහාරයට යමක් ඉල්ලනවා. නමුත් සස පණ්ඩිතයන්ට දෙන්න දෙයක් තිබුණෙ නැහැ. ඒ වෙද්දි ඔහු තීරණය කරලා තිබුණු විදියට ම තමන් ගෙ ශරීර මාංශය බමුණට පූජා කරන්න සස පණ්ඩිතයො කල්පනා කළා.
“මම ඔබට මීට කලින් කිසිවකුත් නො දුන් ආකාරයේ දානයක් දෙන්නම්. ඔබ බමුණෙක්. ප්රාණඝාතය නොකරන්නෙක්. ඒ නිසා දර එකතු කරලා ගිනි මැලයක් අවුලවන්න. ගිනි මැලයෙ අඟුරු බැස්සා ම මට කියන්න.”
සස පණ්ඩිතයො බමුණට උත්තර දුන්නා. නමුත් ඔහු ඒ වෙද්දිත් දැනං හිටියෙ නැහැ බමුණකු ගෙ වේශයෙන් ඇවිත් ඉන්නෙ දෙදෙව් ලොවට ම අධිපති ශක්ර දේවේන්ද්රයා කියලා. ශක්රයාත් තමන් ගෙ දිව්යානුභාවයෙන් අඟුරු මවලා හාවට දැන්නුවා. හාවාත් තමන් ගෙ ශරීරයෙ ඉන්න කිනිතුල්ලන් ආදි සතුන් ඉවත් වෙන විදියට තුන් පාරක් සිරුර ගසා දාලා ගිනි මැලයට පැන්නා. නමුත් ඒ ගින්නෙන් සස පණ්ඩිතයන්ට කිසි ම හානියක් සිද්ධ වුණේ නෑ. හේතුව මේ සිදුවීම ශක්රයා ගේ පරික්ෂා කිරීමක් නිසා. සිදුවුණ එක් වර ම අවබෝධ කරගන්න බැරිවුණු සස පණ්ඩිතයො බමුණා ගෙන් ප්රශ්න කළා. ඒ වෙලාවෙදි ඔහු දැනගත්තා මේ තමන් ගෙ ශීලය පරික්ෂා කරන්න ආපු ශක්ර දෙවියන් ගෙ වැඩක් බව.
කොහොම නමුත් මේ සිද්ධියෙන් පස්සෙ ශක්ර දේවේන්ද්රයා හරි අපූරු වැඩක් කළා. ඔහු අංජනකූට පර්වතය මිරිකලා එහි රසය අරගෙන, චන්ද්ර මණ්ඩලයේ සස රූපයක් (හාවකු ගේ රූපයක්) ඇන්දා. මේ තමා සස ජාතකයෙ සංක්ෂේපය. මේ ලිපියට අරමුණු වුණු කථාව පටන් ගන්නෙ දැං.
චන්ද්ර මණ්ඩලයේ සස රූපයක් අඳින ශක්ර දේවේන්ද්රය රූපය ඇඳපු තෙලිස අතාරිනවා නාග ලෝකෙට. නාග ලෝකයෙ හිටපු මහේන්ද්රා කියන නාග කන්යාව මේ තෙලිස දකිනවා. ඇය හිතන්නෙ මේ ගොදුරක් කියලා. ඇය තෙලිස ගිලිනවා. තෙලිස නාග කන්යාව ගේ උදරයේ බැඳෙනවා. ඇය දවස් හතකින් මිය යනවා. හත් අඩියෙ කවිවල ඒ සිදුවීම මෙහෙම කියනවා.
සොඳින් එ සක් රජ සස ලප දැක ලා
එරන් තෙලිස නා ලෝකෙට දම ලා
මහින්ද නම් නා කන්නිව දැක ලා
සැණෙන් ගිලපු ගොදුරක් ය සිතා ලා
පිරිය ලෙසින් නා ලිය ගෙන බුදි තී
ගිරිය දදා ගොස් කුස තුළ වැටෙ තී
සරියට සත් දින උදරේ බැඳෙ තී
මැළැවී සියොගත කලුරිය කෙරෙ තී
ප්රාණය නිරුද්ධ වුණු නාග කන්යාව ගෙ සිරුර පුච්චලා දානවා. ඇය පුච්චපු තැනින් කිසියම් ශාකයක දළුවක් මතු වෙනවා. නාග ලෝකෙ නාගයො එකතු වෙලා මේ දළුව මුර කරන්න පටන් ගත්තා. මේ විදියට දළුව මුර කරපු නිසා දළු මුර කියලා නමකුත් පටබැඳුණා. දළුව ලොකු වුණා. නාග කඳ වගේ ශාඛයේ කඳ සකස් වුණා. නාග කඳ වගේ ශාකයේත් පුරුක් හැදුනා. පත්ර නාග පෙණය වගේ නිර්මාණය වුණා. මේ විදියට නිර්මාණය වුණු ශාකය හඳුන්වන්න ‘නාගවල්ලි’ කියන නම භාවිත කරන්න පටන් ගත්තා.
පණ ගිය නයි කඳ දවා පුළුස්ස ති
පෙර දැව් සැණයෙන් දළුව පිටත් වෙ ති
මුරකාවල් වට නයි මුර කර ති
මුර කෙරුවට දළු මුර ය යි කිය ති
නාග කඳේ වැල් පට හටගත් තේ
නාග කඳ සෙ වැල් පුරුක් පැවැත් තේ
නාග පෙණ සෙ දළු පත ඇත සත් තේ
නාගවල්ලි නම එද යි පැවැත් තේ
ඔය විදියට තම යි බුලත් ගහේ උපත සිදු වුණා කියල කියන්නෙ (නමුත් නාගවල්ලි කියලා වෙන ම බුලත් විශේෂයක් තියෙන බවත් මතක තියාගන්න ඕනෙ කාරණාවක්).
මුලත් වැලත් සම සම එක රස කො ට
කොළත් මලුත් මිස ගෙඩි නැත එ කල ට
අදත් නාග බවනෙන් පැන නැඟුන ට
බුලත් කියා නම් විය මතු මෙ ලොවට ට
බුලත් මනුෂ්ය ලෝකෙට ආපු හැටි ගැනත් අපූරු කතාවක් තියෙනවා. ඒකත් බොහොම දිග කතාවක්. ඒ කතාව සම්බන්ධ වෙන්නෙ වින උපතත් එක්ක. මුලින් ම විනයක් කළා කියන්නෙ මහාසම්මත රජතුමා ගෙ මැණික්පාල කියන බිසවට. වසවර්ති මාරයාලු ඒ විනය කළේ. ඒ විනය කපන්න සෘෂිවරු නව දෙනෙක් ගෙන්නුවා. මේ අය තම යි මන්ත්ර, වෙදකම, ජ්යොතිෂය ලෝකෙට පහළ කළා කියලා කියන සෘෂිවරු නව දෙනා. මේ රුසිවරු නව දෙනා මැණික්පාල බිසව ගෙ විනය කපන්න අවශ්ය වුණා ම නාග ලෝකෙන් බුලත් ගෙන්නගත්තලු. මේ සටහනට අදාළ නැතත් තව කතාවක් කියන්නං. මැණික්පාල බිසව ගෙ විනය කපන්න රුසිවරු නව දෙනෙක් ගෙන්න ගත්තට ඒ අයට විනය කපන්න බැරි වුණා. අවසානෙට ඔඩ්ඩිස කුමාරයා ගෙන්න ගන්න වුණා විනය කපන්න. කොහොම හරි මේ රුසිවරු තමයි ලු මුලින් ම බුලත් ගෙන්න ගත්තෙ නාග ලෝකෙන්. ඒ ගැන හත් අඩියෙ කවිවල මෙහෙම කියනවා.
මහසම්මත රජ අග බිසවුන් හ ට
වසවත් කුමරුන් කළ වින හරින ට
රුසිවරු ගෙනවිත් දළුමුර එ කල ට
තැබුව යි සත් අඩි වින දොස හරින ට
පරණ අය බුලත් විට කද්දි එක පාරට ම බුලත් කොළේ එහෙම පිටින් ම කටට දාගන්නෙ නෑ. ඒ අය කරන දෙයක් තමා බුලත් කොළේ ඉහළ කෙළවර යි පහළ කෙළවර යි කඩලා අයින් කරන එක. බුලත් කොළේ කෙළවරවල් දෙක ඉවත් කරලා තමා බුලත් කොළේ යෙදන්න පටන් ගන්නෙ. ඒකට හේතුව විදියට කියන්නෙ නාග ලෝකෙ ඉඳං බුලත් කොළේ අරං ආවෙත් නාග රාජයෙක්ලු. ඔහු බුලත් කොළේ අරගෙන ආවෙ කොළේ ඉහළ සහ පහළ කෙළවරවල් දෙක කටින් තද කරගෙන කියලා තමා කියන්නෙ. ඒ නිසා බුලත් කොළේ කෙළවරවල් දෙකේ නාග විෂ තියෙනවා කියලා පොඩි විශ්වාසයක් සමහර පරණ ගම්වල තිබුණා.
මගුල් තහංචි කවිවලත් මේ කථාව විවිධ විදියට තියෙනවා. බුලතේ උපත ගැන අපේ ශාන්තිකර්මවල කතා කරන්නෙ ඔය විදියට. සමහර විට ප්දේශ අනුව මේ කවි වෙනස් වෙනස් විදියට තියෙන්නත් බැරි නෑ. කතාවෙත් සුලු සුලු වෙනස්කම් තියෙන්න පුළුවන්. කොහොම හරි ඔහොමලු බුලත් ලෝකෙට පහළ වුණේ.