බැස්ටීලයට පහර දීම-ශකිල රාජකරුණා

ප්රංශ විප්ලවයේ ආරම්භක අවස්ථාවෙ සිද්ධ වුණු ප්රධාන කාරණාවක් තමයි බැස්ටීලයට පහර දීම. බැස්ටීලය කියන්නේ සිර කඳවුරක් සහ බලකොටුවක් විදියට භාවිත කරපු ඉදිකිරීමක්.
බැස්ටීල් බලකොටුව කියන්නෙ ම ප්රංශයේ අත්තනෝමතික හා ඒකාධිපති පාලනයේ සංකේතයක්. එහෙම කියන්න හේතුවක් තියෙනවා. ඔය කාලෙ වෙද්දි ප්රංශ රජතුමා වටා විශාල බලයක් ගොඩනැගිලා තිබුණා. ව්යවස්ථාදායක, විධායක බලතලවලට අමතර ව වෙනත් විශේෂ බලතල කීපයකුත් ක්රියාත්මක කිරීමේ හැකියාව රජතුමාට තිබුණා. මේ අතර තිබුණු එක් බලයක් තමයි “ලෙත්රෙ දි කැචේ” කියලා කියන්නේ. මේක “ලෙත්රෙ ද කැචේ”, “ලෙත්ර ද කැචේ” වගේ විවිධ විධියට උච්ඡාරනය කරන බව පේනවා. “ලෙත්රෙ දි කැචේ” කියන්නේ වරෙන්තු ක්රමයක්. මේ වරෙන්තු ක්රමය හරහා කිසි ම චෝදනාවක් හෝ නඩු විභාගයක් නැති ව ඕනෑ ම පුද්ගලයෙක් ජීවිතාන්තය දක්වා සිරගත කරන්න රජතුමාට හැකියාව ලැබුණා. මේ වරෙන්තු ක්රමය රජතුමා විතරක් ක්රියාත්මක කරපු එකකුත් නෙවෙයි. සමහර අවස්ථාවල ප්රංශයේ ඇතැම් රාජ්ය නායකයින් තමන් ගෙ පුද්ගලික කෝන්තර පිරිමහගන්නත් රජතුමා නො දැනුවත් ව මේ වරෙන්තු ක්රමය භාවිත කළා. මේ විදියට අත්අඩංගුවට ගත්ත පිරිස් සිරගත කළේ බැස්ටීල් බලකොටුවෙ. ප්රංශයේ මිනිස්සුන්ට බැස්ටීලයත් එක්ක ලොකු කේන්තියක් ඇති වෙන්න හේතුවක් වුණෙත් මේ කාරණාව.
1789 ජූලි 14 උදෑසන යම් සංවිධානාත්මක පිරිසක් බැස්ටීලයට පහර දෙනවා. මේ පහරදීමට නායකත්වය සපයන්නෙ මධ්යම පාන්තිකයෙක්. නමුත් මේ පහරදීම සිද්ධවෙන්නෙ වෙනත් හේතුවක් නිසා. බැස්ටීලයේ තිබුණු වෙඩි බෙහෙත් සහ පතුරම් අත්පත් කරගන්න මේ අයට අවශ්ය වුණා. බැස්ටීල් බලකොටුවට පහර දෙන්න කලින් මේ අය Hôtel des Invalides කියන අවි ගබඩාවට පහර දීලා ආයුධ ලබා ගන්නවා. දෙවැනියට යි බැස්ටීලයට පහර දෙන්නෙ. පහරදීමට අමතර ව ඔවුන් ඒ වෙද්දි බැස්ටීල් බලකොටුවෙ සිරගත කරලා තිබුණු අය ව නිදහස් කරන්නත් කටයුතු කළා. වාර්ෂික සිරකරුවන් 40ක් විතර මේ බලකොටුවෙ රඳවන්න කටයුතු කළත් එදා ඒ වෙද්දි බැස්ටීල් හිර ⁣ගෙදර හිටියේ මහළු හිර කාරයො හත් දෙනෙක් විතර යි.
බැස්ටීල් බලකොටුව ඉදි කරන්න අණ කරන්නෙ පස්වැනි චාල්ස් රජතුමා. ඒ වර්ෂ 1370 දි. ඉංග්රීසින් ගෙ ආක්රමණවලින් ප්රංශය ආරක්ෂා කරගන්න එක තමා මේ බලකොටුව ඉදිකිරීමේ අරමුණ. කාලෙන් කාලෙට විවිධ අංග එකතු වෙමින් බැස්ටීලය සංවර්ධනය වෙනවා. 17-18 සියවස් වෙද්දි තමයි මේ බලකොටුව හිර කඳවුරක් විදියට භාවිත කරන්න පටන් ගන්නෙ. වෝල්⁣ටෙයාර් වගේ ලෝක ප්රසිද්ධ චරිත ගණනාවක් ම බැස්ටීල් සිර කඳවුරේ සිරකරුවන් විදියට රඳවලා තිබුණු බව සඳහන් වෙනවා.
බැස්ටීල් බලකොටුව කියන්නේ විවිධ ජනප්රවාදවලට පාදක වුණු තැනක්. මුහුණ ආවරණය කරගත් සිරකරුවා ගෙ කතාව එක් ජනප්රවාදයක්. ඒ වගේ ම ප්රංශ විප්ලවයෙ ආරම්භයත් බැස්ටීලයට පහරදීමත් එක්ක ම සිද්ධවෙන බව යි ඉතිහාසඥයො සඳහන් කරන්නෙ.
බැස්ටීලයට පහර දුන් දවස, ඒ කියන්නෙ ජූලි 14 අදත් ප්රංශ ජාතිකයන් ඉතා ඉහළින් සමරන දවසක්. මේ දවස “බැස්ටීල් දිනය” විදියට හඳුන්වනවා.