සර්ප විෂ වෙදකම ගැන කතා බහක්-ශකිල රාජකරුණා

මේ දවස්වල සර්ප විෂ වෙදකම ගැන කතා බහක් එළියට ඇවිත් තියෙන නිසා මේ පිළිබඳ මගෙ අදහසත් කියන්න හිතුනා. දේශීය වෙදකම සම්බන්ධයෙන් අත්දැකීම් ගණනාවක් මට තියෙනවා. වර්තමානයේ පැවිදි වෙලා ඉන්න මගෙ අත්තා කුඩා කාලයෙ හැදී වැඩුණෙ ඔහු ගෙ ඥාතීන් ගෙ ගෙවල්වල. නැත්නම් ඔවුන් ඇසුරෙ. මේ අතරෙ හිටපු එක්කෙනෙක් තම යි වලලියෙ සර්ප විෂ වෙද මහත්තයා. ඔහු සමඟ විවිධ වෙදකම්වලට විවිධ ප්රදේශවලට ආ ගිය හැටි, ඔහු ඇසුරෙ හිටපු කාලයෙ තමන් මුහුණ දුන් විවිධ අත්දැකීම් අපි කුඩා කාලයෙ පටන් ම අත්තා වරින් වර අපිට කියලා දීලා තියෙනවා. සමහර සිදුවීම්වල තියෙන අපූර්වත්වය නිසා ම ඒ වගේ සිද්ධි කීපයක් ගැන අත්තා කියන අවස්ථාවල මම වීඩියෝ කරගෙනත් තියෙනවා. නම්, ගම් එක්ක ම සහ ඒවට සම්බන්ධ සමහර චරිත ගැනත් නම්, ගම් සහිත ව ම කියන නිසාත්, ඒ අතරින් ඇතැමෙක් අදත් ජීවත් වෙන නිසාත් මේ කථාන්දරවල විශ්වසනීයත්වය ගැන නම් මට සැකයක් නැහැ.
කොහොම නමුත් දේශීය වෙදකමේ තියෙන වැදැගත්කම ගැන අත්දැකීම් මටත් තියෙනවා. එයින් එකක් මම ඔබත් එක්ක බෙදාගන්නම්.
විශ්වවිද්යාලයේ පළමු වසරෙ ඉද්දි පිට්ටනියෙ දි වැටිලා මගෙ අතකට හානි වුණා. අත උස්සන්න, පාත් කරන්න තියා අත හොලවද්දිත් විශාල වේදනාවක් දැනෙන තරමට ඒ සිදුවීම බරපතල වෙලා තිබුණා. වසර කීපයකට කලින් මම අත බැන්ඩේජ් එකකින් එල්ලගෙන ඉන්න ඡායාරූපයක් මම මගෙ ෆේස්බුක් ගිණුමෙත් පළ කරලා ඇති. කොහොම නමුත් මේ සිදුවීමෙන් පස්සෙ බොහෝ දෙනෙක් කරන විදියට ම මමත් ප්රතිකාර සඳහා ගියෙ බටහිර වෙදකම් කරන වෛද්යවරයෙක් හමු වෙන්න. ඔහු අත පරීක්ෂා කළා. බාම් එකකුත්, පෙතී කීපයකුත් දුන්නා. සති එක හමාරක් හෝ දෙකක් මම මේ විදියට ඔහු ගෙන් ප්රතිකාර ලැබුවා. නමුත් කිසිදු ආකාරයකින් අතට ගුණයක් තිබුණෙ නෑ.
මේ විදියට දිගින් දිගට ම බටහිර වෛද්ය ක්රමේට වෙදකම් කරලත් මට සුවයක් නැති නිසා, මට ප්රතිකාර කළ වෛද්යවරයා කොළඹ මහ රෝහලට යන ලෙසත්, අතේ එක්ස්රේ පිටපතක් ගන්නා ලෙසත් පැවැසුවා. ඔහු ලිපියක් ද දෙමින් එය ගෙන ගොස් මහ රෝහලට පෙන්වන ලෙස පැවැසුවා.
“වැලමිට ගාවින් අස්ථි පුපුරලා වගේ” ඒ මට ප්රතිකාර කළ වෛද්යවරයා ගෙ අනුමානය.
ස්වභාවයෙන් මම පෝලිම්වල රස්තියාදු වෙන්න කම්මැලි කෙනෙක්. ඒ නිසා මම කොළඹ මහ රෝහලට ගියෙ නෑ. ඔහු මුලින් නිර්දේශ කරපු ප්රතිකාර ම කරමින් හිටියා.
මේ අතර දවසක් මගෙ හිතවත් දේශීය වෛද්යවරයකු ගෙන් මට දූරකථන ඇමැතුමක් එනවා. ඔහු ගම්පහට කිට්ටුව ජීවත් වෙන වෙද මහත්තයෙක්. මේ වෙද්දි ලංකාවෙ විවිධ ප්රදේශවල පාරම්පරික වෙදැදුරන් කීප දෙනෙක් ම මාත් එක්ක හිතවත් වෙලා හිටියා. ඔවුන්ට කියවා ගැනීමට දුෂ්කර පුස්කොළ ලේඛන සහ විවිධ රහස් භාෂාවලින් ලියැවුණු, ඔවුන්ට තේරුම් ගැනීමට අපහසු ඇතැම් ලේඛන මා ලවා කියවා ගැනීමටත්, ඇතැම් බෙහෙත් වට්ටෝරු ආදිය සොයා ගැනීමටත් ඔවුන් මගේ සහාය පැතුවා.
“කොහෙද මේ දවස්වල ඉන්නෙ?”
“ඉන්නෙ නම් කැම්පස් එකේ වෙද මහත්තයා. බොහොම අමාරුවෙන් අතක් කරේ එල්ලගෙන ඉන්නවා.” හිනා වෙවී මම කීවා.
“ඒ මොක ද?” මම සම්පූර්ණ සිද්ධිය ම මුල ඉඳං කීවා.
“කැම්පස් එකේ ඉන්නව ද? එන්න පුළුවන් ද මට පොඩ්ඩක් බලන්න?”
“මම එන්නම් වෙද මහත්තයා”
එ දින හවස ම මම ඔහු හමු වෙන්න ගියා. අත හොඳින් පරික්ෂා කළ ඔහු පැවැසුවෙ මෙ වැන්නක්.
“සැකයි නම් ගිහින් එක්ස්රේ එකක් ගන්න. හැබැයි මට පේන විදියට අස්ථි පුපුරලා නෑ. සිදුවීම වෙච්ච ගමං ආවනං මම මේක දවසින් දෙකින් හොඳ කරනවා. නමුත් දැං ටිකක් අමාරුයි. මට සතියකින් වගේ හොඳ කරන්න පුළුවන්. අත නමන්න, දිගාරින්න බැරි අතේ ජොයින්ට්වල ලේ කැටි හිර වෙලා තියෙන්නෙ. මේවා දිය කරන්න ඕනෙ. කැක්කුමත් ඒක යි. අත තෙමන්නෙ නැති ව සතියක් ඉන්න. දවසක් ඇර දවසක් මාව හම්බ වෙන්න එන්න.”
ඔහු පළමු දවසෙ ම කිසියම් ඖෂධයක් අතේ තවරලා බැන්ඩේජ් එකකින් අත වෙලුවා. දෙදිනකට පස්සෙ ආයෙ ගියා. එ දිනත් ඒ විදියට ම කළා. ඊගාව දවසෙත් කිසියම් ඖෂධයක් අතේ හොඳින් තැවැරුවා. ආගිය තොරතුරු කතා කරමින් හෙමින් අත නමන්න දිගාරින්න පටන් ගත්තා. අවසානෙ එක්වර ම මගෙ අත ඉහළට නැමුවා. ඒ වෙලාවෙ එක් වරම විශාල වේදනාවක් දැනුනත්, විනාඩියකටත් අඩු කාලයකින් ඒ වේදනාව අඩු වුණා.
“දැං හරි. තෙමන්න බැරි නං ඕනෙ දෙයක් කරගන්න.”
හිතවතුනි, සති එක හමාරක් දෙකක් බටහිර වෛද්ය ක්රමයට ප්රතිකාර කරලත් සුව කරගන්න බැරි වුණු මගෙ හානි වුණු අත එක්ස්රේ, වෛද්ය වාර්තා කිසි ම දෙයක් නැති ව සතියකටත් අඩු කාලයකින් ඔහු සුවපත් කළේ එහෙම යි. ඒ විතරක් නෙවෙ යි ඔහු ගෙ සේවයට මම මුදල් දුන්නත්, එක රුපියලක් වත් ගැනීම ඔහු ප්රතික්ෂේප කළා. වෙනදා විදියට ම අදටත් මගෙ අත හොඳින් වැඩ.
ඔය එක කථාවක්. කියනවනම් ඔය වගේ අත්දැකීම් බර ගානක් මට කියන්න පුළුවන්. නමුත් මට කියන්න අවශ්ය සර්ප විෂ වෙදකම ගැන.
සර්ප විෂ වෙදකම කියන්නෙ හැමෝට ම කරන්න පුළුවන් වෙදකමක් නෙවෙයි. උණට, බඩේ කැක්කුමට, හෙම්බිරිස්සාවට බෙහෙත් දෙනවා වගේ සර්ප විෂ වෙදකමට එහෙම බෙහෙත් දෙන්න බෑ. විෂ වෙදකම මුල ඉඳං හරියට ගුරුවරයෙක් ඇසුරෙ ඉගෙන ගන්න ඕනෙ දෙයක්. කුඩා කාලයෙ අත්තා ඇසුරු කරපු සර්ප විෂ වෙද මහත්තයා ගැන කියලා තිබුණු කථා නිසා ම මම විෂ වෙදකම ගැන ලියැවුණු පුස්කොළ ලේඛන වගේ දේවල් ටිකක් උවමනාවෙන් කියෙව්වා. අදටත් කියවනවා. ඒවා කියවද්දි තම යි වැටැහෙන්නෙ මේ ශාස්ත්රයෙ තියෙන ගැඹුර.
ලෙඩා නො බලා ලෙඩාට කාලා තියෙන සර්පයාව අඳුනගන්න ක්රම සර්ප විෂ පොත්පත්වල තියෙනවා. අසාධ්ය ලෙඩෙක් නො වෙයි නම් ලෙඩා නො බලා ලෙඩා සුව කරන ක්රම තියෙනවා. ලෙඩා ජීවත් වෙලා ද මැරිල ද කියන එක ලෙඩා නො බලා දැනගන්න ක්රම තියෙනවා. ලෙඩා නො බලා ම ලෙඩා ජීවත් වෙන්නෙ තව පැය කීයක් ද කියලා කියන්න පුළුවන් ක්රම සර්ප විෂ වෙදකමේ තියෙනවා. සමහරුන්ට මේවා විහිළු වගේ පේන්න පුළුවන්. හැබැයි මේ වගේ සිදුවීම් ගැන අත්දැකීම් තියෙන මිනිස්සු අදටත් ඇති තරම් ඉන්නවා. මේවා ගැන අපේ පුස්කොළ පොත්වල ලියැවිලා තියෙනවා. මම උදාහරණයක් කියන්නම්.
සර්ප විෂ වෙදකමේ තියෙනවා ‘ලකුණු දූතෙ’ හෝ ‘දූත ලක්ෂණ’ කියලා හඳුන්වන කොටසක්. ඊට අමතර ව ‘හත් දිනේ විෂ කීම’ වගේ ඉගැන්වීම් තියෙනවා. විෂ වෙදකම උගන්නන්න කලින් මේවා තමයි ඉස්සරලා ම ‍‍ගෝලයෙක්ට උගන්නන්නෙ. කාටහරි සර්පයෙක් දෂ්ට කරලා තියෙනවා කියන එක කියන්න එන දූතයා දිහා බලලා පාරම්පරික සර්ප විෂ වෙදැදුරෙක් අවබෝධ කරගන්නවා දෂ්ට කරලා තියෙන්නෙ මොන සර්පයා ද කියලා. අපේ පුස්කොළ පොත්වල මේවා ලියැවිලා තියෙන්නෙ කවියෙන්. මේ තියෙන්නෙ උදාහරණ කවියක්. නාගයෙක් ගෙ දෂ්ට කිරීමට ලක්වුණු මනුස්සයෙක් ගැන කියන්නෙ එන දූතයා ගෙ මේ වගේ ලක්ෂණ තියෙන්න පුළුවන්ලු.
බිළිඳෙක් කැටුව ම හනිකට එන් නේ
ඇය ආ විගසට හඬා වැටෙන් නේ
මූනත් පිසිමින් මෙ ලෙස කියන් නේ
දැනගන් නයි විස ම යි රැව් දෙන් නේ
ඒ විතරක් නෙවෙයි දවස අනුවත් විෂ වෛද්යවරයා දැනගන්නවා ලෙඩා ප්රතිකාර නො කර තව කොච්චර වෙලා ජීවත් වෙනව ද කියන එක.
ඉරිදා හිමි අනන්ත යා
දෙ දළ සමාරකින් ක යා
දකුණේ කෑ කල විස යා
සිටි සැට පැය සතරක යා
ඉරිදා අනන්තයාට හිමි යි. ඉරිදාට දෂ්ට කරන සර්පයා ගෙ වදින්නෙ දළ දෙක හමාර යි ලු. දකුණු ප්රදේශයේ කෑවොත් විෂ ඇති බවත්, ප්රතිකාර නො කළොත් ජීවත් වෙන්නෙ පැය හැට හතරයි කියලාත් උගන්නනවා. ඉරිදාට සර්පයෙක් කෑවොත් සිංහල පැයවලින් පැය හැට හතරක් යන්න කලින් වෙදැදුරා ප්රතිකාර කරන්න පටන් ගන්න ඕනෙ. නැත්තං ලෙඩා මැරෙනවා. ඒක යි මේ කවියෙන් උගන්නන්නෙ. ඒ විතරක් නෙවෙයි. හොඳ කරන්න බැරි සර්ප දෂ්ටනත් තියෙනවා.
පෑලවියට දකුණ ක යා
කෑවෝතින් කළ විස යා
දියවක පිටිපතුල ක යා
විස නො බසී මෙ ලෙස ක යා
පෑලවිය දවසක දකුණු ප්රදේශයට දෂ්ට කළොත් හරි, දියවක දවසක පිටිපතුලට සර්පයෙක් දෂ්ට කළොත් හරි ලෙඩා ගෙ විෂ බහින්නෙ නෑ කියලා සර්ප විෂ වෙදකමේ උගන්නනවා.
සමහර දූතයො ඇවිත් ඉන්න පැත්ත, සහ ඔහු තමන් ගෙ ශරීරයෙ ස්පර්ෂ කරන ස්ථාන අනුවත් වෙදැදුරාට පුළුවන් ලෙඩෙකුට දෂ්ට කරලා තියෙන සර්පයා ව අඳුනගන්න.
කර කරවැල් උර මාවිල් සබරල කී
දනය පොළොං වැලමිටි තෙලිස්ස කී
මූන බලා රැව් දෙන නාග විසය කී
මෙ ලෙස දුට නැතොත් විස නැති සර්පයෙ කී
දූතයා කර අතගාමින් කතා කළොත් ලෙඩාට කාලා තියෙන්නෙ කරවැලෙක්. උර අතගාමින් කතා කළොත් මාවිලෙක් හෝ සබරලෙක්. දණහිස ස්පර්ෂ කරමින් කතා කළොත් පොළගෙක්. වැලමිටි අතගාමින් කතා කළොත් තෙලිස්සෙක්. මූණ ස්පර්ෂ කරමින් කතා කළොත් නාගයෙක්. මේ ලකුණු නැත්තං විෂ නැති සර්පයෙක් දෂ්ට කරලා තියෙන්නෙ. මම මේ සටහන් කළේ කවි කීපයක් විතර යි. කවි විශාල ප්රමාණයක් තියෙනවා මේ වගේ.
දැං ප්රශ්නයක් මතු වෙනවා ඇති. එතකොට සිංහල සර්ප විෂ වෙද මහත්තුරු මේ විදියට ලෙඩා බලන්නෙ වත් නැති ව දෂ්ට කරපු සර්පයා අනුමාන කරලා ඒකට ද බෙහෙත් කරන්නෙ කියලා. නැහැ. ගොඩක් වෙලාවට වෙද මහත්තයා ලෙඩාව බලන්න යනවා. දෂ්ට කරපු සර්පයා ගැන කිසි ම කෙනෙක් දන්නෙ නැත්නම් සහ ලෙඩා ගොඩක් අසාධ්ය තත්ත්වයෙ නැත්නම් ලෙඩාට දෙනවා ඖෂධයක්. ඒ ඖෂධය අනුව යි තීරණය කරන්නෙ දෂ්ට කරලා තියෙන සර්පයා කවුද කියන එක.
කරඳ ද මී පොතු එක් කර ගන් නේ
ඔළිඳ කොළත් සහ මුරුවට ගන් නේ
එකට කොටා ඔහු හට දීපන් නේ
පැනි රසනන් නයි විස යි කියන් නේ
තිත්ත රසේ තෙලිසා දැන ගන් නේ
කුණු රස නං කරවලා කියන් නේ
ඇඹුරස පොළඟා ම යි දැන ගන් නේ
කසට රසේ කුණු මීයෙකි දන් නේ
දිය රස දිවි මකුළුවා බොලන් නේ
කර රස නන් සිකනලෙකි බොලන් නේ
කට දානන් ගෙඹිමියා කියන් නේ
කැසුං තියෙයි මළමිනිළු බොලන් නේ
මේ ඖෂධය ලෙඩාට දුන්න ම ලෙඩාට දැනෙන රස අනුව වෙදැදුරා තීරණය කරනවා පහර දීලා තියෙන සතා ව. පැනි රස නං නාග දෂ්ටනයක්. තිත්ත රස නං තෙලිසකු ගෙ පහර දීමක්. කුණු රස නං කරවලෙක්. ඇඹුල් රස නං පොළගෙක්. කහට රස නං කුණු මීයෙක්. දිය රස නං දිවි මකුළුවෙක්. කර රස නං සිකනලෙක්. කට දනවා නම් ගෙම්බෙක්. කහනවා නං මළ මිනියක් (වෙදකම් කළාට වැඩක් නෑ. බේරන්න බෑ).
විෂ නිසා ලෙඩා සිහි නැති ව ඉන්නවා නම් මුලින් කරන්නෙ ලෙඩා ගෙ ඇඟේ විෂ දුවන එක නවත්තලා සිහි ගන්වන්න වෙදකම් කරන එක. ඉතිරිය කරන්නෙ ඊට පස්සෙ.
මම කලින් ම කීවා වගේ මේ කවි බොහො ම දීර්ඝ ව ලියලා තියෙනවා. එයින් කීපයක් විතර යි මම සටහන් කළේ. මේ වගේ දූත ලක්ෂණ දිහා බලලා එක අවස්ථාවක පොළොං දෂ්ටනයකට ලක්වුණු පුද්ගලයෙක් සම්බන්ධයෙන් වෙද රාළ කිරි අත්තා හැසිරුණු විදිය ගැන අත්තා එක දවසක් මාත් එක්ක කියලා තියෙනවා (මේ කථාව කියපු අවස්ථාවෙ කථාව සම්පූර්ණයෙන් ම මම වීඩියෝ කළා. එයත් මා සතු යි).
අත්තා උදේ වැවට මුහුණ සෝදන්න යන අතරවාරයෙ වෙද රාළ කිරි අත්ත ව හොයාගෙන දෙන්නෙක් ඇවිත් තියෙනවා. අත්තා මේ සිදුවීම නම් ගම් එක්ක ම කියනවා මට මතක විදියට. මේ දෙන්නට මුලින් ම හමු වෙන්නෙ එ වකට තරුණ වියේ හිටපු අපෙ අත්ත ව.
“පුංචි නිළමෙ. වෙද නිළමෙ ඉන්නව ද? අසවලා පැළේ ඉඳං එද්දි පොළඟෙක් කාලා. හනික යමුකො”
අත්තා එහෙම ම වෙද මහත්තයා ව හම්බවෙන්න මේ දෙන්නත් එක්ක ගියාලු. ගිය ගමං ම වෙද මහත්තයා ගත් කටට ම කීවෙ මෙහෙමලු.
“මම ගියාට වැඩක් නෑ. ලෙඩා මේ වෙද්දිත් මැරිලා”
නමුත් ආපු අය ගෙ පෙරැත්තය නිසා ම වෙද රාළ ලෙඩාව බලන්න ගිහිං. ගිහින් බලද්දි නාඩි වැටීමක්, හුස්ම ගැනීමක් නැතිලු. ඇත්තට ම ලෙඩා මැරිල ලු.
සමහර වෙලාවල “රංබණ්ඩො හනික හමු” යි ඉක්මනින් කරලා ගියපු අවස්ථාත් තිබුණලු.
කුප්පියෙ මූඩියට රිදී කූරක් ගහපු ‘බාල නාග රාජ තෛලය’ කියලා තෙලක් තිබිලා තියෙනවා වෙද මහත්තයා ගාව. විෂ නිසා ලෙඩා සිහි නැති ව නං ඉන්නෙ ලෙඩා ගෙ හිස් මුදුනෙන් කොණ්ඩය ටිකක් අයින් කරලා, මතුපිට සම පොඩ්ඩක් පළලා, මේ තෙලෙන් බිංදුවක් දාලා අත තද කරගෙන ටික වෙලාවක් මතුරනවලු. මැරිච්ච මනුස්සයෙක් ගෙ මූණෙ මස් ගොබයක් හරි හොල්ලන්න පුළුවන් තරමට මේ තෙල බලගතු යි කියල යි කියන්නෙ. ‘බලා නාගරාජ තෛලය’ ගැන මෑත කාලයෙ පෞද්ගලික අත්දැකීමකුත් තියෙනවා. මේ ඒවා දිගින් දිගට ම කියන්න වෙලාවක් නෙවෙ යි.
මම හැමදාම කියන කාරණාවක් තම යි අපේ පැරැණි මිනිස්සු ජීවත් වුණේ පරිසරයත් එක්ක. ඒ නිසා ම පරිසරය විසින් ඒ මිනිස්සුන් ව ආරක්ෂා කළා. පරිසරය විසින් ඒ මිනිස්සුන්ට ගොඩක් දේවල් ඉගැන්නුවා. අ‍‍පේ දේශීය වෙදකමත් මේ විදියට මිනිස්සු පරිසරය එක්ක ජීවත් වුණු නිසා ලැබුණු දෙයක්. අවුරුදු දාස් ගානක් තිස්සෙ ම අපේ මිනිස්සු රැකුණෙ මේවගෙන්. අදටත් මේ ප්රතිකාරවලින් අපි ප්රයෝජන ගන්නවා.
පැරැණි පාරම්පරික වෛද්යවරුන් ගෙ මම නොයෙක් වර දැකලා තියෙන උතුම් ගුණාංගයක් තියෙනවා. මේ කාර්යයන් සම්බන්ධයෙන් සමහර පුස්කොළ ලේඛනවලත් ලියැවිලා තියෙනවා මම දැකලා තියෙනවා. ගහකින් බෙහෙත් ඖෂධයක් ගද්දි එක් වරම ගහේ පොතු ගලවන්න හෝ මුල්, අතු, කොළ ගලවන්න ඔවුන් කටයුතු කළේ නෑ. දිනේ බලලා, වෙලාව බලලා, දිශාව බලල යි ඒ වැඩ කළේ. ඒ විතරක් නෙවෙ යි ගහකින් ඖෂධයක් ගන්න කලින් ඔවුන් ගහට වැඳ නමස්කාර කළා. පොතු ගැලෙව්වොත් පොතු ගලවපු තැනට හුඹස් මැටි තියලා, කපු රෙද්දකින් වෙළලා, වතුර වක්කරලා ආයෙත් නමස්කාර කරල යි පිටත් වෙන්නෙ. තමන්ට ඖෂධ ලබා දුන් ශාකයටත් ඔවුන් කෘතගුණ දැක්වුවා.
අහපු, දැකපු, කියවපු, අත්විඳපු දේවල් ගැන ලියන්න ගියොත් මට ලියන්න පුළුවන් පිටු ගානක්. ඒ තරම් පාරම්පරික දේශීය වෙදකමේ අපූර්වත්වයක් තියෙනවා. දේශීය ශාස්ත්ර හැම එකකට ම වෙලා තියෙනවා වගේ බාගෙට ඉගෙන ගත්ත වංචාකාරයන් නිසා මේවත් හෑල්ලුවට ලක් වෙලා තියෙනවා. කාටහරි, කවදා ම හරි දවසක හරිහමං වෙදෙක් හමු වුණොත් එදාට දැනගයි දේශීය වෙදකම කියන්නෙ මොකක් ද කියලා. වෙදකම නිවැරැදි ව, ක්රමානුකූල ව ඉගෙන ගත්ත පාරම්පරික වෙදැදුරෙක් හමු වෙනකං ගොඩක් දෙනෙක්ට මේක තේරුම් ගන්නත් අපහසු වෙයි.
මේවටත් විවේචන තියෙන්න පුළුවන්. තම තම නැණ පමණින් අවබෝධ කර ගනිත් වා!!!