‘ගේ’ සහ ‘ලාගේ’ එකගෙයි කෑවා ද?- ශකිල රාජකරුණා

කාලෙක ඉඳං දකින, අදටත් සමාජ මාධ්යවල පතුරු ගහන පට්ටපල් බොරුවක් ගැන යි මේ සටහන තියන්නෙ.
පහුගිය දවසක මම දැකපු සටහන් කීපයක සහ එක් වීඩියෝවක වාසගම් ගැන කතා කරද්දි අපූරු කතාවක් සඳහන් කරලා තිබුණා. ලංකාවෙ භාවිත වෙන සමහර වාසගම් අවසන් වෙන විධි කීපයක් තියනවා. ‘ගේ’ අකුරින් අවසන් වෙන වාසගම් එක කොටසක්. උදාහරණ විදියට ආරච්චි ගේ, කංකානම ගේ ආදි වශයෙන් මේවා ව්යවහාර කෙරෙනවා. තව වාසගම් කොටසක් තියෙනවා ‘ලා ගේ’ කියන අකුරු දෙකින් අවසන් වෙන. මුදියන්සේලා ගේ, ආරච්චිලා ගේ, රාළලා ගේ ආදි වශයෙන් උදාහරණ පෙන්වන්න පුළුවන්. මේ වාසගම් මේ විදියට අවසන් වෙන්න හේතු වුණු කාරණාව ගැන යි මම කලින් සඳහන් කරපු ලිපිවල සහ වීඩියෝවෙ සාකච්ඡා කරලා තිබුණෙ.
ඒ සටහන් සහ වීඩියෝවෙ තිබුණු විදියට ‘ලා ගේ’ කියලා වාසගම් අවසන් වෙන්නෙ එකගෙයි කාපු පරම්පරාවලින් හෝ එ වැනි සිද්ධියකට සම්බන්ධ පරම්පරාවෙලින් පැවැත එන පෙළපත් නාමයක් විදියට. මේක බොහෝ දෙනෙක් අද වෙද්දි විශ්වාස කරන කාරණාවක් වගේ ම ප්රචලිත වෙලාත් තියෙන කාරණාවක්. නමුත් ඇත්ත තත්ත්වය නම් මේ කාරණාව සහමුලින් ම වැරැදි යි. එහෙම කියන්න හේතු මොනවා ද?
එකගෙයි කෑම සම්බන්ධයෙනුත් දැනට ප්රචලිත වෙලා තියෙන ප්රසිද්ධ බොරුවක් තියෙනවා. ඒ එකගෙයි කෑවෙ එක කුස උපන් සහෝදරයන් කීප දෙනෙක් විතරයි කියන එක. එක කුස උපන් සහෝදරයන් කීප දෙනෙක් එකගෙයි කෑම කියන්නෙ එක් අවස්ථාවක් විතර යි. මේ ගැන හොයලා බලද්දි මට දැනගන්න ලැබුණු කාරණාවක් තම යි එක කුස නූපන් අයත් එකගෙයි කාපු අවස්ථා තිබෙන බව. බොහෝ දෙනෙක් විශ්වාස කරන තවත් බොරුවක් දේපළ බෙදිලා ගියපු නිසා එකගෙයි කෑවා කියන කාරණාව. නමුත් එකගෙයි කන්න හේතු වුණු කාරණාවලින් ප්රමුඛ කාරණාවක් තම යි ‘මදසරුභාවය’. උඩරට ඇතැම් රාජකීයයො වගේ ම සමහර ප්රභූන් පවා මදසරු භාවයෙන් පීඩා වින්දා. එහි දී සමහර ප්රභූන් විකල්පයක් වශයෙන් භාවිත කළේ එකගෙයි කෑම (මේ කරුණ පිළිබඳ තොරතුරු ලබා දුන්නේ සමීර ප්රසංග සූරීන්).
එකගෙයි කෑම සම්බන්ධයෙන් ලංකාවට අදාළ සාක්ෂි ගම්පොළ යුගයෙ දි පවා හමුවෙනවා. රාජකීයයො පවා එකගෙයි කාපු අවස්ථා තියෙනවා. ඒ වගේ ම මේ ක්රමවේදය දකුණු ඉන්දියාවෙ කේරළයෙ පවා පැතිරිලා තිබුණු දෙයක්. කේරළයෙ එකගෙයි කෑම එක ම පවුලෙ සහෝදරයො වගේ ම එක කුස නූපන් වෙනස් පෙළපත්වලට අයත් ඇතමුන් අතරත් ප්රචලිත වෙලා තිබුණා. නමුත් මේ ක්රමය සම්බන්ධයෙන් කාලයක් යද්දි ගැටලුවක් මතු වුණා. ඒ, මේ විදියට එකගෙයි කෑමෙන් බිහි වෙන දරුවා අයිති වෙන්නෙ කුමන පෙළපතට ද කියන කාරණාව. මේ සිදුවීමත් එක්ක යම් ආකාරයකින් මේ සම්ප්රදායෙ වෙනස්වීම් සිද්ධ වෙන්න පටන් ගත්තා. මේ විදියට ම ලංකාවෙත් සමහර ප්රභූ පවුල් අතර එකගෙයි කෑම් සිද්ධ වුණා (මේ සම්ප්රදාය සම්බන්ධයෙන් පවතින චිත්රය වර්තමානය වෙද්දි එ තරම් යහපත් මට්ටමක නැති නිසා මේ විදියට එකගෙයි කාපු වෙනස් පවුල් මොනවා ද කියන කාරණාව මම සටහන් කරන්න ඉදිරිපත් වෙන්නෑ. අවශ්ය අයට මේ ගැන හොයලා බලලා අවබෝධ කරගන්න පුළුවන්). කලින් කියපු විදියට මඳසරුභාවය නිසා දරුඵල නො තිබුණු ඇතැම් ප්රභූන්, වෙනත් ප්රභූ පවුලක අයෙක් ගෙන්නගෙන නිවසෙ නතර කරගෙන එකගෙයි කාපු අවස්ථා තියෙනවා. අති විශාල දේපල ප්රමාණයක් තිබුණු සමහර ප්රභූන් දේපළ බෙදී යෑම වැළැක්වීමට එකගෙයි කෑවා කියන කාරණාව පිළිගන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැරත් රාජකීයයො? ගොඩක් වෙලාවට බොහෝ අය එකගෙයි කෑම ගැන තොරතුරු අධ්යයනය කරන්න භාවිත කරලා තියෙන්නෙ විදේශිකයන් ගෙ වාර්තා. මේ ගැන කෙරුණු අධ්යයන අවුල් කරගත්ත එක තැනක් ඒ. මම මෙතැනින් ඔබට කල්පනා කරන්න දෙයක් ඉතිරි කරලා අනිත් කාරණාවට යනවා.
බොහෝ දෙනෙක් විශ්වාස කරන විදියට එකගෙයි කෑම නිසා ‘ලා ගේ’ කියලා අවසන් වෙන වාසගම් හැදුණා. ඒක වැරැදි යි. සාමාන්යයෙන් නම්බුනාම ප්රධානය කිරීම කරන්නෙ රජතුමා. රන් නළල්පට බැඳලා තම යි ගොඩක් වෙලාවට වාසගම් ප්රධානය කරන්නෙ. රොබට් නොක්ස් කියන විදියට ඒ කාලය වෙද්දි නළල් පට බැඳලා රජතුමා ප්රධානය කරපු ‘Mundianna’ කියන නම්බු නාමය තිබුණෙ රටේ තුන් දෙනෙක්ට විතර යි. රජතුමා ප්රධානය කරපු නම්බු නාමය පාවිච්චි කරන්න පුළුවන් ඒ ප්රධානය ලබන පුද්ගලයාට පමණක් වුණත්, කාලයක් යද්දි ඔහු ගෙ දරු මුණුබුරොත් මේ නම්බුනාම තමන් ගෙ නමට එකතු කරගෙන පවත්වගෙන යන්න පටන් ගත්තා (එහෙම නො කරපු අයත් හිටියා). ඒකත් හරි අපූරු විධියකට. අද අපිට දකින්න ලැබෙන සමහර දීර්ඝ වාසගම් හැදෙන්නෙත් මේ ක්රමේට ම යි.
උදාහරණයක් විදියට අපි මෙහෙම හිතමු. පවුලෙ කාට හරි මුලින් රජතුමා ප්රධානය කරලා තියෙනවා ‘වික්රමසිංහ මුදියන්සේ’ කියලා නම්බු නාමයක්. ඔහු ගෙ පුතාට ‘අභයකෝන් මුදියන්සේ’ කියලා නම්බු නාමයක් දෙනවා. ඔහු ගෙ පුතාට ‘වාසල පණ්ඩිත මුදියන්සේ’ කියලා නම්බු නාමයක් දෙනවා. මේ අයට පස්සෙ මේ පවුලට අයිති කෙනෙක්ට රජතුමා නම්බු නාමයක් නො දුන්නත් ඔහු මුලින් තමන් ගෙ පෙළපතට දුන්න වාසගම් ඔක්කොම එකතු කරලා ‘වික්රමසිංහ අභයකෝන් වාසල පණ්ඩිත මුදියන්සේලා ගේ’ කියලා වාසගම හදාගන්නවා. මට මතක මේ විදියට වාසගම් හැදෙන හැටි ගැන නිමේෂ තිවංකරත් ලියලා තිබුණා (මතකයේ තිබුණු දෙයක් නිසා මම වැරැදි නම් නිවැරැදි කරන්න). චූල සාහිත්යයේ එන ඉතිහාසයෙන් උදාහරණයක් කියන්නම්.
එ වකට එරියාවෙ හිටපු නායකයාට ඇතුන් ඇල්ලීමේ පැවැතුණු දක්ෂකම නිසා රජතුමා ‘සිංහ ප්රතාප වන්නිනායක මුදියන්සේ’ කියන නම්බු නාමය දුන්නා.
මායාදුන්නෙට දාව නිලුපුල්මාලි කුමාරියට ලැබුණු පුතාට ‘රංගේ බණ්ඩාර’ කියන නම දුන්නා. රංගේ බණ්ඩාර පස්සෙ එරියාවට ඇවිත් පදිංචි වෙනවා. බොහෝ විට ඔහු කලින් හිටපු ‘සිංහ ප්රතාප වන්නිනායක මුදියන්සේ ගේ’ පවුලට සම්බන්ධ වන්නට ඇති බව පේනවා. හේතුව ඉදිරියට පැහැදිලි වෙයි.
මේ රංගේ බණ්ඩාරට දුනු හරඹයෙ තිබුණු දක්ෂකම නිසා එ වකට රාජසිංහ රජතුමා ‘ඇදි දුන්න විදි තිලක’ කියන නම්බු නාමය ප්රධානය කරනවා.
අදත් එරියාවෙ වන්නිනායක පෙළපතට අයිති ඇතමුන් ගෙ වාසගම තියෙන්නෙ ‘ඇදි දුන්න විදි තිලික සිංහ ප්රතාප රංගේ බණ්ඩාර වන්නිනායක’ කියන නමින්. සමහරු මේ වාසගම ‘ඇදි දුන්න විදි තිලක සිංහ සිංහ ප්රතාප රංගේ බණ්ඩාර වැදි සිංහ වන්නිනායක මුදියන්සේලා ගේ’ කියලා භාවිත කරනවා. රංගේ බණ්ඩාර සිංහ ප්රතාප වන්නිනායක මුදියන්සේ ගේ පෙළපතට සම්බන්ධ වෙන්න ඇති කියලා මම සඳහන් කරන්න හේතුව තම යි සිංහ ප්රතාප වන්නිනායක මුදියන්සේ ගෙ වාසගම සහ රංගේ බණ්ඩාර ගෙ වාසගම එකට එකතු කරගෙන පවත්වාගෙන එන අනුප්රාප්තිකයො වන්නිනායක පරපුරේ ජීවත් වීම. මේ අවස්ථාවෙදි ‘ලා ගේ’ කියන කොටස වාසගමට යෙදුවෙ එකගෙයි කාපු නිසා නෙවෙයි, වාසගමේ නම්බු නාම සඳහන් පරපුරට අයිතියි කියන අර්ථයෙන්.
සමහරු මේ වාසගම් මව් පාර්ශ්වයේ සහ පිය පාර්ශ්වයේ නම්බු නාම දෙක ම එකට එකතු කරලා හදාගත්ත අවස්ථාත් තිබුණා. පරම්පරා වාසගම පිය පාර්ශ්වයෙන් ලැබෙන දෙයක් වුණත් මව් පාර්ශ්වයෙ වාසගම ඉදිරියට අරං යන්න රජතුමා අවසර දුන්න විශේෂ අවස්ථාත් තිබුණා. පරම්පරා උරුමය තියෙනවා නම් මේ සමහර අවස්ථාවලට නියාමනයක් ඒ වෙද්දි තිබුණු බවක් පේන්නෙ නෑ.
සමහර අවස්ථාවල රජතුමා විසින් දුන්න නම්බු නාම සහිත එක් පුද්ගලයෙක් විතරයි නම් තමන් ගෙ පරම්පරාවෙ මුලින් හිටියෙ, ඔහු ගොඩක් වෙලාවට ‘ගේ’ කියලා අවසන් වෙන වාසගම සකස් කරගන්න ඇති. මේ වාසගම සකස් වුණු තවත් විධි තියෙනව ද කියන කාරණාව වැඩි දුරටත් හොයලා බලන්න ඕනෙ එකක්.
ඒ වගේ ම අපේ පැරැණි සෙල්ලිපිවල පවා පරම්පරාව ගැන සඳහන් කරන විධි තියෙනවා. ‘පරුමක නදික පුත පරුමක මිතහ…’ ආදි වශයෙන් ‘පරුමක නන්දික ගේ පුත් පරුමක මිත්ත’ යනාකාරයෙන් පෙළපත දැක්වීම අපෙ සෙල්ලිපිවල පවා තියෙන දෙයක්. ඒ නිසා පෙළපත සඳහන් කරමින් නම් භාවිත කරන එක බොහොම කාලයකට කලින් ඉඳන් ම ලංකාවෙ තිබුණු දෙයක්. මේවා හොයලා බලලා තේරුම් ගන්න ඕනෙ කාරණා. ඒ නිසා මමත් යෝජනා කරන්නෙ මේවා ගැන හරියට හොයලා බැලුවොත් යථාර්ථය තේරුම් ගන්න පුළුවන් වේවි කියන එක.
(එකගෙයි කෑම සංකල්පය පිළිබඳ ලිපියෙ සඳහන් ඇතැම් කරුණු සැක හැර දැන ගැනීම සඳහා මහාචාර්ය ටී. ජී. කුලතුංග සූරීන් සහ සමීර ප්රසංග සූරීන් ගේ උපකාර ලද බව කෘතවේදී ව සිහිපත් කරමි)