මදුරාවේ දී අවස්ථා කිහිපයක දී ම එක් වූ ද්‍රවිඩ සාහිත්‍ය සංගම් තුනක් විසින් එම රැස්වීම් වලදී ඉදිරිපත් කළ සාහිත්‍ය නිර්මාණ පසු කාලීනව ග්‍රන්ථාරූඪ කළ අතර එම ග්‍රන්ථ ආශ්‍රිත සාහිත්‍යය සංගම් සාහිත්‍යය ලෙස හැඳින්වේ. මේවා ක්‍රිස්තුවර්ෂ පළමු වන සියවසේ සිට තෙවන සියවස තෙක් කාලයේ රචනා වී ඇත. මෙහි පළමු සංගමය තෙන්මදුරෙයිහිදීත්, දෙවැන්න කබාඩපුරම්බි හිදීත්, තෙවැන්න මදුරෙයිහිදීත් රැස් වී ඇත. එහි පළමු සංගමයේ කෘති අද දක්නට නොලැබේ, දෙවන සංගමයේ කෘති අටකි. ඒවායේ පද්‍ය 2179කි. ද්‍රවිඩ සාහිත්‍යයේ උසස් ම කෘතිය සේ පිළිගැනෙන අරූල් තෙවන සංගමයට අයත් වේ. මෙහි කෘති වර්ග දෙකක් දක්නට ලැබේ
- කීල්කනක්කු – උපදේශාත්මක කෘති
- මේල්කනක්කු – වෘත්තාන්තමය කෘති
මෙම කෘති වලින් සමකාලීන දේශපාලන, ආර්ථික, සමාජ තොරතුරු හෙළි වේ. රාජ්‍ය අනුග්‍රහය ලැබූ කවීන් 500ක් පමණ මේ යුගයේ කාව්‍යකරණයේ යෙදී සිට ඇති නිසා සැලකියයුතු ග්‍රන්ථ සංඛ්‍යාවක් නිර්මාණය වී ඇත. මේ කවීන් අතර රජවරු මෙන් ම කාන්තාවන් ද සිට ඇත. පළමු සංගමයේ කෘති දැනට ඉතිරිව නැත. සුප්‍රකට තෝල්කාප්පියම් ග්‍රන්ථය රචනා වී ඇත්තේ දෙවැනි සංගමයේ දී ය. පදිට්ටුපත්තු ද මේ සංගමයට ම අයත් වේ. තුරාල් හා අරුල් ග්‍රන්ථ තෙවන සංගමයට අයත් වේ. සංගම් සාහිත්‍යයෙන් ඓතිහාසික තොරතුරු රැසක් හෙළි වේ. දකුණු ඉන්දීය චේර රාජ්‍යය පිළිබඳ අඛණ්ඩ රාජාවලියක් ගොඩනගා ගැනීමට මේ සාහිත්‍යය වැදගත් වේ. චෝළ, පාණ්ඩ්‍ය කේරළ ප්‍රෙද්ශවල ඔටුණු පළන් රජවරුන් තිදෙනෙකු සිටි බව ද, ඔවුන් යටතේ ප්‍රාදේශීය පාලකයින් සිටි බව ද හෙළි වී ඇත. ඔවුන් පාලන කටයුතු වල දී අමාත්‍ය වරුන්ගේ හා පඬිවරුන්ගේ අදහස් විමසා ඇත. සමාජය ද ආර්ය හා ද්‍රවිඩ ජන කොටස් සම්මිශ්‍රිත එකක් බව හෙළි වී ඇත. ආර්ථික අතින් ස්වංපෝෂි බව ද හෙළි වී ඇත. කෘෂිකර්මය, වෙළඳාම, විවිධ වෘත්තීන් තිබී ඇත. බාහිර හා අභ්‍යන්තර වශයෙන් සිදු වූ වෙළඳාම පිළිබඳව ද තොරතුරු හෙළි වී ඇත. කාව්‍ය, ගායන, වාදන නර්තන, මල්ලවපොර, දාදු කෙළි, පන්දුක්‍රීඩා, මදටිය ඇට ක්‍රීඩා, ජල ක්‍රීඩා වැනි විනෝදාංශ තිබූ බව ද සංගම් සාහිත්‍ය අනුව පෙනී යයි. සමාජයේ ඉහළින් ම බ්‍රාහ්මණයන් විසූ බවද හෙළි වී ඇත.