රාජතරංගනී

ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍යමය මූලාශ්‍රයකි. කල්හණයන්ගේ කෘතියකි. කාශ්මීරයේ ඉතිහාසය ලිවීමේ අරමුණෙන් යුතුව ක්‍රි. ව. 1149 – 1150 අතර කාලයේ දී පද්‍යයෙන් ලියූ උසස් කෘතියකි. පැරණි ඉන්දීය සාහිත්‍යධරයෙක් ඉතිහාසය දෙස යථාර්ථවාදීව බැලු එකම අවස්ථාව වශයෙන් මෙය ඉතිහාස ගත  වී ඇත. ශාස්ත්‍ර හෙවත් එවකට පැවති වංශකථා ද, ශාසන හෙවත් රාජාඥා ද, ප්‍රශස්ති පට්ට හෙවත් එවකට පැවති ප්‍රශස්තීන් ද, පාරම්පර්යයන් ද මූලාශ්‍රය කර ගනිමින් ඔහු මේ උසස් කෘතිය නිම කර ඇත. කණිෂ්ක වැනි රජවරුන් පිළිබඳව යම් තොරතුරු ප්‍රමාණයක් ලෝකයට දායාද කිරීමේ ගෞරවය හිමි වන්නේ ද කල්හණයන්ට ය. ක්‍රි. ව. හත් වන සියවසෙන් එපිට ඉතිහාසය රචනා කිරීමේ දී ඔහුට විශ්වාසදායී මූලාශ්‍ර නොලැබීම නිසා ඔහුගේ යුගයට දුරස්ථ වකවානුව පිළිබඳ ලිවීමේ දී තරමක් අසාර්ථක වුව ද මේ කෘතිය ඉන්දීය ඉතිහාසය හදාරන්නෙකුට ඇති උසස් මූලාශ්‍රයක් වග සටහන් කළ යුතුම ය. කල්හණගේ ප්‍රයත්නය දිගට ම ගෙන යාමට  ජෝනරාජ නම් ලේඛකයෙක් උත්සාහ දරා ඇති අතර ඔහුට පසු ඔහුගේ ශිෂ්‍ය ශ්‍රී වර විසින් ද, ඉන් පසු ප්‍රාජ්‍යාභට්ට හා ඔහුගේ ශිෂ්‍ය ශ්‍රැත විසින් ද කාශ්මීර ඉතිහාස සම්ප්‍රදාය පෙරට ගෙන යන්නට උත්සාහ කර ඇත.