නාණක මූලාශ්‍රයෝ (ලංකා ඉතිහාසය)

කාසි පිළිබඳ විද්‍යාව  නාණක විද්‍යාව නම් වේ. කාසි වලින් අතීත ආර්ථීක තොරතුරු, දේශපාලන තොරතුරු, ආගමික තොරතුරු, තාක්ෂණික තොරතුරු, විදෙස් සබඳතා පිළිබඳ තොරතුරු ආදිය හෙළි වේ.  ලංකාවෙන් හමු වී ඇති පුරාණතම කාසි වර්ගය වන්නේ කහාපණය යි. එය කර්ෂාපනය, පුරාණය, ධරණය වැනි නම් වලින් ද හැඳින්වේ. පුරාණ කාලයේ පටන් ලංකාවේ කාසි භාවිත වූ බවට මේ මගින් තොරතුරු හෙළි වේ. එම කාසි වලට අමතරව ලංකාවෙන් ඇතා සහ ස්වස්ථික කාසි, සිංහ කාසි, ලක්ෂ්මී තහඩු කාසි  ආදිය ද හමු වේ. මේවායින් ලංකා ඉතිහාසය පිළිබඳ බොහෝ තොරතුරු හෙළිකරගත හැක. කහාපණය යනු රිදී පොලූ තලා එක පමණට කපා සකසා ගත් කාසියකි. ලෝහ තහඩු වලින් කළ කාසි ද විවිධ සංකේත එබ්බවූ කාසි ද, විවිධ හැඩ වලට සකස් කළ කාසි ද, කාසි අච්චු ද ලංකාවෙන් හමු වී ඇත. මේවායින් ලංකාවේ පුරාණ ලෝහ තාක්ෂණය පිළිබඳ තොරතුරු ලබාගත හැකි වේ. ඇතා සහ ස්වස්ථීක කාසිය, සිංහ කාසිය, ලක්ෂ්මී තහඩු කාසිය, සිංහල මසු ආදිය ලංකාවෙන් හමු වූ දේශීය කාසි වර්ග වන අතර රෝම කාසි, ඉන්දු-රෝම කාසි, චීන කාසි, පාණ්ඩ්‍ය කාසි, සොළී කාසි, පෘතුගීසි කාසි, ලන්දේසි කාසි ආදිය ලංකාවෙන් හමු වූ විදේශ කාසි වර්ග වේ. විදෙස් කාසි වලින් ලංකාවේ විදෙස් සබඳතා හා විදෙස් වෙළඳ සබඳතා පිළිබඳ තොරතුරු හෙළි වේ. කාසි වලින් වැඩි වශයෙන්ම හෙළි වන්නේ ආර්ථීක තොරතුරුය. නාණක විද්‍යා විෂයක්ෂේත්‍රයට කාසි වල ප්‍රභවය, සංවර්ධනය, විවිධ කාසි මුද්‍රණය, ලෝහ විද්‍යාව, කාසි වල මුදල්මය අගය වැනි අංග ඇතුළත් වේ. අනුරපුර යුගයේ ශිලා ලේඛන වල ද කහවණුව, අඩකහවණුව වැනි වදන් හමු වේ. යම් කාසියක් භාවිත වන්නේ එම කාසිය නිකුක් කළ රජුගේ අණසක පැතිර ඇති ප්‍රදේශ වල පමණක් නිසා කාසි වල භූගෝලීය ව්‍යාප්තිය අනුව ඒ ඒ රජවරුන්ගේ දේශපාලන බල ව්‍යප්තිය ද අවබෝධ කොට ගත හැක. ඉතිහාසය පිළිබඳ කාල නිර්ණයට ද කාසි වලින් මහත් පිටුබලයක් ලැබේ. ලංකාවෙන් හමු වූ විදේශ කාසි ඇසුරෙන් ලංකාවේ විදේශ සබඳතා වල ඉතිහාසය පිළිබඳව ද කරුණු අධ්‍යයනය කළ හැක. කලින් කලට මෙරට පැතිර ගිය විදේශ ආධිපත්‍යයන් පිළිබඳව ද කාසි වලින් තොරතුරු සොයා ගත හැක. කාසි වල ඇති ඇතැම් රූප සටහන් වලින් ද බොහෝ තොරතුරු හෙළි වෙයි. ලක්ෂ්මී රුව ආගමික තොරතුරු හෙළි කරයි. ඒවායේ ඇති ඇඳුම් පැළඳුම් ආදියෙන් සාමාජික තොරතුරු හෙළි වේ. එ්වායේ ඇති සැරසිලි ලක්ෂණ ආදියත් මානව සත්ත්ව රූප ආදියත් පැරණි කලා කටයුතු පිළිබඳ සාක්ෂි වේ.