ලංකාවේ ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වන විදේශීය සාහිත්‍ය මූලාශ‍්‍රයෝ.

ග්‍රීක රෝම මූලාශ‍්‍රයෝ.

ලංකාව පිළිබඳව මුලින් ම සඳහන් වන්නේ ඇරිස්ටෝටල් ගේ ඩිමුන්ඩෝ(De mundo) නම් කෘතියහිය. මහා ඇලෙක්සැන්ඩර් රජුගේ නාවික හමුදාවේ නියමුවෙකු වූ ඔනෙසික‍්‍රීටස් ගේ කෘතියෙකින් වයඹදිග ඉන්දියාව හා ලංකාව අතර පැවති වෙළඳ සබඳතා පිළිබඳව හෙළි වේ. මෞර්ය රාජසභාවේ සිටි ග‍්‍රීක තානාපති නිළධාරියා සේ සැලකෙන මෙගස්තිනීස් ඉන්දියාව පිළිබඳ මෙන් ම ලංකාව පිළිබඳව ද නොයෙක් කරුණු සඳහන් කර ඇත. මෙගස්තිනීස් ලංකාවට පැමිණ නැතත් සිය කෘතියෙහි ලංකාව පිළිබඳව සඳහන් කර ඇත. මෙගස්තිනීස් ගේ විස්තර ස්ට‍්‍රාබෝ සහ ප්ලීනි විසින් ලියන ලද කෘති වල ද දක්නට ලැබේ. නැචුරාලිස් හිස්ටෝරියා කෘතිය රචනා කළ ප්ලීනි විසින් ලංකාව හා රෝමය අතර පැවති සබඳතා පිළිබඳව සඳහන් කරයි. ප්ලීනි ලංකාවට පැමිණ නැතත් පෙර ලියැවී තිබුණු කෘති වලින් හා දූතයන් මාර්ගයෙන් ලංකාව පිළිබඳ තොරතුරු ලබාගෙන සිය කෘතිය නිමවා ඇත. ප්ලීනි ගේ කෘතියේ ලංකාව හා චීනය අතර පැවති වෙළඳ සබඳතා පිළිබඳව ද සඳයන් වේ. ප්ලීනිගේ කෘතිය වැරදි අඩුපාඩු වලින් ගහණ වුවු ද එයින් හෙළි වන ඇතැම් කරුණු ප‍්‍රයෝජනවත් ය. ලංකා දූතයන් රෝමයට ගිය බව ප්ලීනි සඳහන් කරයි.  ලංකාව පිළිබඳව ලියූ ග‍්‍රීක සහ රෝමානු වෙනත් ලේඛකයෝ නම් හිපාකස්, ආටිමිඩෝරස්, හෙරක්ලියාවේ මාෂියන් ආදීහුය. විදේශිකයන් ලංකාව පිළිබඳව ලියූ කෘති අතර වඩාත් සම්පූර්ණ යැයි සැලකිය හැකි කෘති ත‍්‍රිත්වය නම් අඥත කර්තෘක The periplus fo the Eritrean Sea (එරිත‍්‍රියන් සාගරයේ පෙරිප්ලසය) කෘතියත්, ටොලමි විසින් ලියූ Geographia (භූගෝල විද්‍යාව) කෘතියත්, කොස්මස් යනුවෙන් සරලව හඳුන්වන කොස්මස් ඉන්ඩිකොප්ලෙවුස්ටස් විසින් රචනා කළ Topographia Christiana (ක‍්‍රිස්තියානි දේශ විස්තරය)නම් කෘතියත් ය.

අරාබි මූලාශ‍්‍රයෝ

ග‍්‍රීක හා රෝමවරුන්ට පවා ලංකාව පිළිබඳ තොරතුරු ලබා දුන්නේ අරාබි නාවුකයන් විසිනි. සුලයිමාන් යනු ලංකාව ගැන ලියූ පළමු අරාබි ලේඛකයා සේ පිළිගැනේ. අබුසයියද් යනු ලංකාව පිළිබඳව ලියූ තවත් ලේඛකයෙකි. අබුසයියද් නමැත්තා ලියූ සිල්සිලත්-අල්-තවාරික් නම් කෘතියේ අඩංගු වන්නේද සුලයිමාන් ලියූ කෘතියේ අන්තර්ගත තොරතුරු මය. දහවන සියවස මැද දී පෙරදිග ප‍්‍රදේශ වල සංචාරය කළ මසූදී නමැති අරාබි ලේඛකයා පූර්ව සංචාරකයින්ගේ කෘති වල එන තොරතුරු හා සිය අත්දැකිම් පාදක කර ගනිමින් ලියූ කෘතියේ ද ලංකාව පිළිබඳව තොරතුරු ඇතුළත් වේ. ප‍්‍රකට අරාබි ලේඛක අල්බිරුනි විසින් ඉන්දියාව පිළිබඳව ලියූ කෘතියේ ඇතැම් තැනෙක ලංකාව පිළිබඳව ද සඳහන් වේ. දොළොස් වැනි සියවසේ මැද ඉද්රිසි නම් අරාබි ජාතික භූගෝල විද්‍යාඥයා පෙරදිග පිළිබඳ එතෙක් හෙළි වී නොතිබුණු කරුණු එක්රැස්කොට ලියූ කෘතියේ ද ලංකාව පිළිබඳව සඳහන් වේ. යාකූන්, කස්වීනි, අබුල්පීඩා ආදී භූගෝල විද්‍යාඥයෝ ද ලංකාව පිළිබඳව සඳහන් කර ඇත. ලංකාව පිළිබඳව ලියූ සියලූ ම මුස්ලිම් ලේඛකයන් අතරින් වඩාත් වැදගත් වන්නේ දාහතර වන සියවස මැද දී පමණ ලංකාවට පැමිණි ඉබන්බතූතාය.

මධ්‍යකාලීන යුරෝපීය මූලාශ‍්‍රයෝ

පෙරදිග රටවල් සෙවීමෙහි යෙදුණු මධ්‍යධරණි ප‍්‍රදේශවාසී සංචාරකයෝ ද ක‍්‍රිස්තියානි පූජකයෝ ද ලංකාව පිළිබඳව ලූහුඬු සටහන් තබා ඇත. දහතුන්වැනි සියවසේ විසූ මාර්කෝ පෝලෝ ලංකාව පිළිබඳව සටහන් කළ අය අගරින් විශේෂ අයෙකි. ජෝන් ඩි මැරිඤ්ඤෝලි ද ලංකාව පිළිබඳ ලියූ අය අතර විශේෂ වේ. පෝඩිනේන්හි ඔඩොරික් පූජකවරයා ද, ජෝඩානුස් පූජකවරයා ද, වෙනීසියේ නිකොලො ඩි කොන්ති, බොලොඤඤෝවේ ලූඩොවිසි වාර්තෙමා සහ 16 වන සියවසේ පෘතුගාලයේ විසූ දුර්වාත් බර්බෝසා යන ලේඛකයෝ ද ලංකාව පිළිබඳව ලියා ඇත.

නූතන යුරෝපීය මූලාශ‍්‍ර

පෘතුගීසි, ලන්දේසි ලේඛකයෝ ද ලංකාව පිළිබඳව මෙහි හිඳිමින් ම සටහන් තබා ඇත. පෘතුගීසි, ලන්දේසි ලේඛකයෝ ද ලංකාව පිළිබඳව සටහන් කිරීමේ දී රාජාවලිය, නිකායසංග‍්‍රහය වැනි කෘති ද පරිශීලනය කොට ඇත. රාජාවලිය, නිකායසංග‍්‍රහය වැනි කෘති ද පරිශීලනය කොට ලනදේසි හා පෘතුගීසි ලේඛකයෝ ඔව්න් පැමිණීමට පෙර යුගයේ ලංකාවේ ස්වභාවය පිළිබඳව ද ලියූහ. දු කූටෝ, ඩෙ බැරෝස්, රුබෙයිරු, ක්වෙයිරෝස්, වැලන්ටයින්, බල්ඩෙයස්, ආදීහු ලංකාව පිළිබඳව ලියූ පෘතුගීසි ලේඛකයෝ වෙති.

චීන මුලාශ‍්‍රයෝ.

විවිධ අරමුණු උදෙසා භාරතයට පැමිණි චීන ජාතිකයෝ පසු කාලීනව ලංකාවට ද පැමිණියහ. ලංකාව පිළිබඳව චීන ලේඛකයෝ ලියූ පොත් අතර ඉතා වැදගත් වන්නේ දේශාටන විස්තර ගණයේ ලා සැලකිය හැකි කෘතීන් ය. දේශාටන විස්තර ගණයේ ලා සැලකෙන පොත් අතර වඩාත් වැදගත් වන්නේ ෆාහියන් හිමියන් ලියූ දේශාටන වාර්තාව, හ්‍යුං ත්සං(හ්‍යුං සියෑං, හ්‍යුන් ත්සෑං, හ්‍යුං සාං ආදී නම් වලින් ද හැඳින්වෙන)හිමියන් විසින් ලියන ලද භ‍්‍රමණ වෘතාන්තය හා ඉ ත්සිං හිමියන්ගේ කෘතිය යන ත‍්‍රිත්වය යි. ලංකාව පිළිබඳ ලියූව ද හ්‍යුං ත්සං හිමි හෝ ඉ ත්සිං හිමියෝ ලංකාවට පැමිණ නැත. යුවන් චා  ඕ සත්වන සියවසේ දී ලියූ සුං-කා ඕ-සෙං-වුවාං සහ වෙන්-යුවාං-සිං-තිං-ෂිහ්-චියා ඕ-මු-ලූ  යන කෘති වල ද ලංකාව පිළිබඳ කෙටි විස්තර ඇතුළත් වේ. පි-චියු-නි-චුවාන්(භික්ෂුණීන්ගේ චරිතාවදානය) කෘතිය පා ඕ චං විසින් ලංකාව පිළිබඳව ද කරුණු ඇතුළත් කොට හය වන සියවසේ දී ලියන ලද්දකි. පා ඕ චං විසින් ලියන ලද පි-චියු-නි-චුවාන් (භික්ෂුණීන්ගේ චරිතාවදානය) කෘතියේ භික්ෂුණී ශාසනය පිහිටුවීම සඳහා ලංකාවෙන් චීනයට වැඩම කළ භික්ෂුණීන් වහන්සේලා පිළිබඳව සඳහන් වේ. කෙ-නී-සි-යිහ්-හිං-චිං(කෙනී බටහිර පෙදෙස් වපට ගිය ගමන් වල විස්තරය)නම් කෘතියේ ද, දාහතර වන සියවසට අයත් සෙ-යිහ්-කෙ-පු-චූ(බටහිර රටවල් පිළිබඳ විස්තරය)නම් කෘතියේ ද, හයි-කු ඕ-තු-චෙ(විදේශ පිළිබඳ භූගෝල විද්‍යාව)නම් කෘතියේ ද, පියෙන්-ඉ-තියෙන්(විදේශීය ජාතීන්ගේ ඉතිහාසයක්)නම් කෘතියේ ද  වං-තා-යුවාන් විසින් ලියූ තා ඕ-ඉ-චිහ්-ලි ඕ(දිවයින් වැසි පිටරැටියන් පිළිබඳ සාමාන්‍ය විස්තර)නම් කෘතියේ ද ලංකාව පිළිබඳව කරුණු ඇතුළත් වේ.

ඉන්දීය මූලාශ‍්‍රයෝ.

ලංකාව පිළිබඳව සඳහන් වන ඉන්දීය කෘති අතර වඩා ප‍්‍රකට වන්නේ රාමායනය යි. එහෙත් එහි වැඩි වශයෙන් ම ඇත්තේ ජනප‍්‍රවාද නිසා ලංකාවේ ඉතිහාසය හැදෑරීමට ඇති ප‍්‍රබල මූලාශ‍්‍රයක් සේ නොසැලකේ. ලංකාව පිළිබඳව සඳහන් වන ඉන්දීය මූලාශ‍්‍ර අතරට ලංකාවතාර සූත‍්‍රය, මහාභාරතය, දිව්‍යාවදානය, ස්කන්ධපුරාණය ප‍්‍රධාන කොට ඇති පුරාණ ග‍්‍රන්ථ, රාජතරංගණිය, ජාතකපොත ආදිය ද අයත් වෙයි. දකුණු ඉන්දියාවේ ලියැවුණු සීලප්පදිකාරම්, මණිමේඛලයි, පදිර්රුපත්තු, පට්ටිනප්පාලයි ආදී කෘති වල ද ලංකාව පිළිබඳව අහම්බෙන් සඳහන් වෙයි.

අග්නිදිග ආසියානු මූලාශ‍්‍රයෝ.

යාසවන්ජෝ නමැති බුරුම වංශකථාවේ ලංකාවේ හා ඉන්දියාවේ ශාසන ඉතිහාසය පිළිබඳව සඳහන් වේ. හ්මනන් යාසවන්(වීදුරු මාළිගාවේ වංශකථා)නමැති මෑත කාලීන කෘතියේ ද ලංකාව පිළිබඳව සඳහන් වේ. ලංකා ඉතිහාසය හැදෑරීමේදී වැදගත් වන දේශීය සාහිත්‍ය මූලාශ‍්‍ර