ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා

ඉන්දු නිම්නයෙන් මෙතුවක් හමු වූ මුද්‍රා ප්‍රමාණය දෙදහසකට අධිකය. මෙම මුද්‍රා වල ඇති අක්ෂර මෙතෙක් කියවා නොමැති නිසා මෙම මුද්‍රා කුමන කාර්යයක් උදෙසා යොදා ගත්තේ ද යන්න ද අපහැදිලිය. ඇතැම් පර්යේෂකයන් කියන්නේ මුදල් විශේෂයක් බවය. අපනයන භාණ්ඩ වල දවටා යැවූ මුද්‍රාවක්(Tag) බව ද, හස් යෙදීමට භාවිත කළ මුද්‍රාවක් බව ද (සීල් එකක්.) අපල උපද්‍රව වලින් ගැලවීමට පැළඳි ‘යන්ත්‍රයක්’ බව ද ආදී වශයෙන් මේ පිළිබඳව විවිධ මත පළවී තිබේ. මෙම මුද්‍රා වල වැඩි වශයෙන් ම දක්නට ලැබෙන්නේ මිනිස් නොවන සත්ත්ව රූපයන් ය. ඇතැමක මිනිස් රූප ද දක්නට ලැබෙන නමුදු ඒවා දේව රූප සේ යොදා ගෙන ඇති නිසා යම් යම් සංස්කරණයන්ට ලක්කර ඇත. සත්ත්ව රූප අතර කල්පිත සත්ත්ව රූප මෙන්ම ස්වභාවික ලෝකයේ සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන සත්ත්ව රූප ද වෙයි. අලියා එක් උදාහරණයකි.