හෝපිටිගමු ටැම් ලිපිය/බදුලු ටැම් ලිපිය

වෙළඳපොළක පාලනය සම්බන්ධයෙන් සිව්වන උදය රජුගේ උපදෙසින් පිහිටුවූ ටැම් ලිපියකි. පරාන්තක ආක්‍රමණය අවස්ථාවේ ආරක්ෂාව පතා රුහුණට පලා ගිය රජු යළි මහවැනි නිම්න මාර්ගයෙන් අනුරපුර බලා පැමිණෙමින් සිටිය දී බදුලු ප්‍රදේශයේ ජනයාගේ දුක්ගැනවිල්ලක් හේතුවෙන් මෙය ස්ථාපනය කරන ලදී.  ලිපියේ එක් තැනෙක දෙමළ රජු ගැන ඉතා කෙටි සටහන් ද තිබේ. ලිපිය සහිත ගල් ටැඹ අඩි 11 අඟල් 8ක් විතර උසය.එහි දෙපැත්තක පළල අඟල් 9ක් හා අනෙක් දෙපස අගල් 10ක් පමණ වන නිසාමුහුණත් අසම ටැඹක් සේ හැදින්වියය හැකි ය. සිව් පැත්තේම අඩි 8ක පමණ උසට ලිපිය කොටා තිබේ.

එහි ඇති වෙළඳ නීති සමහරක් පහත පරිදි සාරාංශගත කළ හැකි ය.

  • පෙර සිරිත්(මීට පෙර කළ) පරිදි මිස අනියම් දඩ නොගත යුතුය.

  • යමෙකුට දඩුවමක් කරන්නේ නම් එය එම ස්ථානයේ දී ම දිය යුතුය.

  • නොගෙවූ දඩ සඳහා ඇප ලෙන විවිධ දේ නොගත යුතුය. විශේෂයෙන් ම අදාළ පුද්ගලයාගෙන් ම දඩ අයකරගන්නවා මිස ඔහුගේ අඹුදරුවන් ඇපයට තබාගෙන දඩ නොඉල්විය යුතුය.

  • ගමට පැමිණි රාජකීය නිළධාරින් රහමස් දිහිතෙල් (අල්ලස්) නොගත යුතුයි
  • වතුවලට පැමිණ රහ නොගත යුතුය.

  • සොර වෙළෙඳාම් නොකළ යුතුය.

  • පොහොය දිනවල වෙළඳාම් නොකළ යුතු අතර නීතිිය කඩ කොට වෙළඳාම් කරන්නේ නම්වෙ දඩ ලෙස මහියංගණ වෙහෙරේ පහන් දැල්වීමට තෙල් දිය යුතුය. එසේ දීමට අපොහොසත් නම් පෙර සම්මත ගණන පමණක් දඩ ලෙස අයකර ගත යුතුය.

  • බඩුගෙන එන අයගේ ගොනුන් නොගත යුතුය.

  • වෙළඳපොළට රැගෙන එමින් තිබෙන බඩු පෙරමඟට ගොස් නොගත යුතුය.

  • සම්මත මිනුමෙන් මිස වෙනත් මිනුම්වලින් (ධාන්‍ය තෙල් ආදී දේ හෝ වෙනත් කිසිවක්) නොමැනිය යුතුය.

  • ගමට ගෙනවිත් අලෙවි කරන භාණ්ඩ සඳහා බඳු අයකරනු මිස නොවිකිණි බඩු සඳහා බඳු නොගත යුතුය.

  • බුලත්පුවක් ආදිය මණ්ඩපයක් මත තබා මිස නුසුදුසු තැන තබා නො විකිණිය යුතුය.

  • මෙහෙකරුවන්ට හිරිහැර නොකළ යුතුය

  • විවිධ තනතුරු දරන රාජකීය නිළධාරින් පැමිණි විට වුව ද පෙර සම්මත ගාස්තු පමණක් ගෙවිය යුතුය

  • මෙහි සඳහන් ව්‍යවස්ථා උල්ලංඝණය කරන අවස්ථාවල දී අදාල නිළධාරින්ට ඒ වග දන්වා, ඒවා නිවැරදි කළ යුතුය.