උජජේනි

ඉන්දීයාවේ ඉපැරණි නගරයකි. උදේනී නම් නගරය යි. දඹදිව අවන්තී නම් රාජධානියේ ප්‍රධාන නගරය යි. පුරාණ ඉන්දියාවේ ඉන්ද්‍රප්‍රස්ථ නගරයේ සිට උදේනී, කිෂ්කින්ද හා මාහිෂ්මතී නගර හරහා දකුණු ඉන්දියාවටත්, ඒතැනින් මාතොට හරහා ලංකාවටත් මාර්ගයක තිබී ඇත. බරණැස හා උදේනිය යා කළ වෙළඳමාර්ගයක් ද තිබූ බව ගුත්තිල ජාතකය අනුව පෙනී යයි. බරණැස් නුවර සිට උදේනී නම් නුවරට වෙළඳුන් වෙළඳාමේ ගිය වග ගුත්තිල කාව්‍යයේ පළමු කවෙහි සඳහන් වේ. බොහෝ විට ගංගා නම් නදී මුවදොර පිහිටි තාම්‍රලිප්ති වරායේ සිට ගංගා නදිය ඔස්සේ ඉන්දියාව තුළට යාත්‍රා කළ කුඩා ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන නෞකා බරණැසට පැමිණි පසු එතැන් සිට භාණ්ඩ බෙදාහැරීම ගොඩබිම ඔස්සේ සිදුවන්නට ඇත. උදේනියේ සිට වයඹදිග ඉන්දියාවට ද මාර්ගයක් තිබෙන්නට ඇතැයි සිතිය හැකි වේ. බින්දුසාර රජ සමයේ අශෝක කුමරා විදිසා දේවිය හා විවාහ වී උජ්ජේනියේ විසූ සමයේ මහින්ද හා සංඝමිත්‍රා දූ පුතුන් ලැබූ බව පිළිගැනීමක් ඇති අතර, ඔහු එහි සිට උපරාජයා වශයෙන් මධ්‍ය ඉන්දීය හා වයඹ ඉන්දීය ප්‍රදේශ පාලනය කළ බවට ද සාධක තිබේ. ‘ඔසිනි’ නමින් ටොලමි සිය සිතියමේ දක්වන්නේ මේ නගරය යැයි හඳුනාගෙන තිබේ. ග්‍රීක හා මූගල් ආක්‍රමණ වලට ද ලක්වූ මේ නගරය, ක්‍රි.ව. 12-13 සියවස් වනවිටත් භාරතයේ ප්‍රධාන නගරයක්ව පැවතියේ ය. ඉන්දියානු භූමි ශාස්ත්‍රයට අනුව ඉන්දියාවේ මධ්‍යහ්න රේඛාව වැටී ඇත්තේ උජ්ජේනිය ඔස්සේ වන නිසා මෙය පෘථිවියේ මධ්‍යය යැයි ද මතයත් ඇති විය.