1304-1378 අතර කාලයේ මොරොක්කෝවේ ජීවත් වූ මොහු වඩාත් ප්‍රකට වූයේ ඉබන් බතූතා නාමයෙනි. ප්‍රකට දේශයාත්‍රිකයෙකු වූ මොහු ඉස්ලාම් දේව ධර්මය ද ගැඹුරින් හදාළ අයෙකි.ගැටවර වියේ දී ම දේශ සංචාර ඇරඹූ ඔහු උතුරු අප්‍රිකානු වෙරළාශ්‍රිත ප්‍රදේශ වලත්, අරාබිකරයේ රටවල් ගණනාවකත්, ආසියාවේත් සංචාරය කර ඇත. මුල් සංචාරක සමය තුළ දෙවරක් ම විවාහ වූයේ ය. දිල්ලියේ මුහම්මද් බින් තුඝ්ලුක් අධිරාජයාගේ ඇරයුමෙන් ඔහුගේ මාළිගාවට ද ගිය ඔහු එහි දී මාලික් කාදි නම් පදවියෙන් පිදුම් ලැබ සත්වසත් එහි ම සේවය කළේ ය.නමුත් එහි දී අති සුඛෝපභෝගී දිවිපෙවෙතකට ඇබ්බැහි වී ණය බර නිසා ද, රාජ උදහසට ලක්වීම නිසා ද අතිශය පීඩාවට පත්වූයේ ය. ඉන් මිදීම පිණිස පූජක දිවියක් ඇරඹූ ඔහු යළිත් දේශාටනය ඇරඹීය. ඔහුගේ දෙවන සංචාරක සමය තුළ ඉන්දියාවේ සෙසු ප්‍රදේශ වල හා මාලදිවයිනේ සංචාරය කළේ ය. මාළදිවයිනේ දී කාසි පදවියෙන් පිදුම් ලැබූ ඔහු එහි දී යළික් සිව් වතාවක් ම විවාහ විය. නමුත් එහි එහිදී ඔහුට දේවගැති විරෝධයක් මතුවූයෙන් තෙවැනි සංචාරක සමය අරඹමින් එතැනින් ලංකාවටත් චීනයටත් සංක්‍රමණය විය. ඒ අතරතුර මාලදිවයිනේ එක් බිරිඳකට දරුසම්පත් හිමිවූයෙන් යළි වතාවක් මාලදිවයිනට පැමිණ ඉතා සුළු කලක් දරුසුරතල් බැලූ හෙතෙම යළිත් පිටත්වී මව්රටට ගියේ ය. මව්රටට ඔහු ගියේ ඉන් පිටත් වී වර්ෂ විසි හතරකට පසුව ය. නමුත් වාඩි කල් නොගොස් සිව්වන සංචාරක සමය අරඹමින් යුරෝපා රටවල් කිහිපයක සංචාරය කළේ ය. තවත් වර්ෂ හතරක් ම සංචාරය කළ ඔහු යළි මොරොක්කෝවට පැමිණෙන්නේ ලෝක ඉතිහාසයේ අන් කිසිදු දේශාටකයෙක් නොගිය තරම් දුරක් ගොස් විශාල අත්දැකීම් සම්භාරයක් ද රැගෙන ය. එකී අත්දැකීම් පාදක කරගනිමින් ඔහු සිය මව්බිමේ දී රෙහෙලා නමින් දේශාටන වාර්තාවක් රචනා කළේ ය. 1355 වැන්නේ දී මොරොක්කෝ සුල්තාන් වරයාගේ නියමයෙන් මේ සටහන් රැස්කර එය එක් කෘතියක් වශයෙන් සංග්‍රහ කළේ ය.රට රටවල භූගෝලීය සීමා, නගරාන්තර දුර ප්‍රමාණ, ඒ ඒ රටවල සංස්කෘතීන්, දේශපාලන තත්ත්ව ආදිය පිළිබඳ ගවේෂණයේ දී ඉබන්බතූතාගේ වාර්තාව අතිශයින් වැදගත්වේ. සෙසු දේශාටන වාර්තා වලින් ඔහුගේ දේශාටන සටහන් බොෝ දුරට සනාථ වන නිසා මේ සටහන් තවදුරටත් වැදගත් වේ. ලංකාවේ යාපන රාජ්‍යය පිළිබඳවත් අල්කොනාර් හෙවත් අගක්කෝණාර පිළිබඳවත් ශ්‍රීපාදස්ථානය,ථ කොළඹ, ගාල්ල, දෙවිනුවර ආදී තැන් ගැනත් කොළඹ සිටි ජාලස්ථි නම් යුධ ප්‍රධානියා හා ඔහු යටතේ සිටි පන්සියයක පමණ ඇබිසීනියන් හේවාපන්නය ගැනත් ඔහු සඳහන්කර තිබේ. ඉබන් බතූතා ලංකාවට පැමිණෙන්නේ 1344 වැන්නේ දී ය.