ඉන්ද්‍රප්‍රස්ත

උතුරු ඉන්දියාවේ වත්මන් නවදිල්ලි නගරයට ඉතා සමීපව පිහිටි ඉන්දර්පති නමින් දැන් හැඳින්වෙන කුඩා නගරය. මෙය නවදිල්ලියම යැයි කිවහැකි තරමට ම ඊට සමීප ය. ඒ් අසලින් ම ගලා ගියේ යමුනා නදිය යි. අද මේ නගරය ඒ තරම් ප්‍රධාන නොවූව ද පුරාණ ඉන්දියාවේ ප්‍රධාන නගර තුනෙන් එකක් වූයේ මෙය යි. (උත්තර පංචාල, කේතක, ඉන්ද්‍රප්‍රස්ථ) ප්‍රධාන මාර්ගයකින් මෙය බරණැස් නුවර හා සම්බන්ධ කර තිබූ අතර, නගරය පාලනය කළේ යුධිශ්ධීර ප්‍රධාන පංච පාණ්ඩව කුමාරවරුන් විසිනි. පාළි බසින් මේ නගරය හැඳින්වූයේ ඉන්දපත්ත, ඉන්දපත්තන, ඉන්දපට්ඨ ආදී නම් වලිනි. සිංහල බසින් එය ඉඳිපත්නුවර නමින් හඳුන්වා ඇත. භගවත පුරාණයේ සඳහන් වන ආකාරයට මෙහි පළමු රජතුමා යුධිෂ්ධීර රජතුමා ය. විදුර, කුරුධම්ම ආදී ජාකතකතා ගණනාවක ද මේ නගරයේ නාමය හමු වේ.