පැරණි ඉන්දියාවේ වෛදික යාගකර්ම අතරින් ඉතාම උසස් යැයි පිළිගැනෙන යාගයකි. අශ්වයා මරා බිලි පූජාව කර දෙවියන්ට උපහාර කිරීම මූලික කරගත් යාගයකි. අශ්වමේධ යාග සියයක් කළහොත් එම රජුට ඉන්ද්‍ර දේවයා ද පරදා සක්වලම සිය අණසකට ගතහැකි වේ යැයි මතයක් ද විය. මීට අනුව බැමි මුදා වසරක් පුරා නිදැල්ලේ සැරිසරන්නට හරින අශ්වයෙක් ඒ කාලය තුළ ගමන් කරනා සකල ප්‍රදේශයම සිය රාජ්‍යයට අයත් යැයි ප්‍රකාශ කිරීමෙන් අධිරාජ්‍යයත්වයට පත්වීමට හැකි ය. අශ්වයා සිය දේශයට පැමිණීම කෙරේ යම් රජකු, පාලකයෙකු විරුද්ධ වන්නේ ද හෙතෙම අශ්වයා මුදාහළ රජු හා යුධ කොට ජයගත යුතුය. අතරමගදී අශ්වයා මිගියහොත් සුළු පූජාවිධි කිහිපයක් පවත්වා වෙනත් අශ්වයෙකු ආදේශ කොටගනී. අශ්වයාගේ ආරක්ෂාව පිණිස ආයුධ සන්නද්ධ තරුණයෝ හාරසියයක් ද ගමන් කරති. අශ්වයාගේ ගමන නොවළකා සිය දේශයට ඇතුළු වන්නට අවසර දෙන සෑම පාලකයෙක් ම යාගය කරන රජුට පක්ෂපාත, යටත් රජවරුන් සේ පිළිගනී. වසරකට පසු අශ්වයා යළි මුල් ස්ථානයට රැගෙන එනු ලැබේ. ඉහතින් කී වසරක කාලය තුළ සංවාසයෙහි යෙදීම ද නැහැම ද අශ්වයාට තහනම් ය. යාගයේ අවශ්‍යතා පිණිස එසේ කරනු ලැබේ. මුල් භූමියට රැගෙන ආ පසු දොළොස් දිනක් තිස්සේ විවිධ පූජාවන් යාගයන් පවත්වා බිලිපූජා අරඹනු ලැබේ. හීලෑ සතුන් 327ක් හා කැලැ සතුන් 282ක් වශයෙන් සතුන් 609 දෙනෙකු රැගෙනවිත් යාගභූමියේ ගැටගසනු ලබන අතර අශ්වයාගේ වල්ගයේ කේසරයන්හි මුතුඇට 101ක් පළඳවයි. පසුව යාගභූමියේ ගැටගැසූ හීලෑ සතුන් 327දෙනා ඝාතනය කර කැලෑ සතුන් 282දෙනා මුදාහරිනු ලැබේ. රෙදිකඩකින් වසා හුස්ම හිරකොට අශ්වයා මරාදමන්නේ ඉන් පසුව ය. පසුව රජමෙහෙසියෝ අශ්වයා ප්‍රදක්ෂිණා කරන අතර අගමෙහෙසිය අශ්ව සිරුර පසෙකින් සැතපෙන්නීය. එහි දී ඇය හා අශ්වයාගේ මළසිරුර රෙදිකඩකින් වසා දෙදෙනා සංවාසයේ යෙදෙන බැව් සංකේතවත් කරයි. මේ අතරවාරයේ සෙසු ස්ත්‍රීහු අසභ්‍ය වදන් හුවමාරු කරගනිති. මින්පසු මියගිය අශ්වයාගේත් සෙසු සතුන්ගේ ත් සිරුරු කැබලි කර රුධිරය දෙවියන්ට පුදනු ලැබේ. වඳ එළදෙනුන් 21දෙනෙකු ද ඝාතනය කරමින් යාගය නිමා කරයි. යාගාවසානයේ දී යාගය කළ පූජකයන්ට යාගය කළ තැනැත්තාගේ භාර්යාවන් තිළින කෙරේ. අධ්වර්යු නම් පූජකයාට යජමානයාගේ දියණිය හා සිව්වන බිසව පාවා දෙනු ලබයි. අශ්වමේධ යාගය නම් මෙයයි.