කෛලාස කෝවිල

ඉන්දියාවේ කෛලාස කෝවිල හා කෛලාසනාථ කෝවිල නමින් කෝවිල් දෙකක් ඇත. කෛලාස කෝවිල එල්ලෝරාවේ රාෂ්ටකූට වංශික පළමු කෘෂ්ණ රජු (ක්‍රි. ව. 757-783) විසින ඉදිකළ ශිව දේවාලයක් වන කෛලාස කෝවිල ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකෙයි. මෙම නිර්මාණය හින්දු කෝවිලකට අයත් සියලූ අංගෝපාංග සහිතව තනි පර්වතයක නෙළා ඇති අයුරු විස්මිතය. බෂාම් කියන්නේ මෙම කෝවිල එල්ලෝරාවේ ඇති විශිෂ්ටතම නිර්මාණය බවයි. භූමි ප්‍රමාණයට අනුව ග්‍රීසියේ පාතිනොන් දේවස්ථානය තරම් වුවත් එතරම් උස් නොවන වග ද බෂාම් කියයි. (බෂාම් . එ් . ඇල්, 1995, පිටු 449-451)

මෙම කෝවිලෙහි විමානයේ ප්‍රදක්‍ෂිණාපථය වටා කුඩා මැදුරු පහක් නිමවා ඇත. එ්වා සඳහා ප්‍රධාන කෝවිලෙහි හැඩය එ් අයුරින් ම යොදාගෙන අත. විමානය ඉදිරිපස ඇති පැතැලි පියස්ස දරා සිටිනුයේ ස්තම්භ 16කිනි. පියස්සෙන් ආවරණය වී ඇත්තේ සම සතරැස් මණ්ඩපයකි. නන්දි වෘෂභයාගේ රුව සහිත තවත් මණ්ඩපයක් මෙම මණ්ඩපයට යාබදව පිහිටා ඇත . නන්දි ගවරුව සහිත මණ්ඩපය දෙපස ධ්වජස්තම්භ (ශිවලිංග සංකේත) දෙකක් හා ඇත්රූප 2ක් නිමවා ඇත. ගේපුරය ඇත්තේ මේ සියල්ලට ම ඉදිරියෙනි. මෙම ගොඩනැගිලි සියල්ල පිහිටි අංගණයේ සීමාවේ ඇති පර්වත බිත්තය නිර්මාණකරුවන් යොදාගෙන ඇත්තේ ශාලා හා උපදේවාල නෙළීමටය. මෙම කෝවිලෙහි ඇති අපූර්ව නිර්මාණය වන්නේ ගොඩනැගිලි එකිනෙක යා කරමින් නිමවූ ශෛලමය පාලම්ය. නන්දි මණ්ඩපය, අංගනය කෙළවර වූ ශාලා හා උපදේවාල, ගෝපුරය යන මේවා මෙකී ශෛලමය පාලම් වලින් එකිනෙකට සම්බන්ධ වී ඇත. සරස්වතී, ගංගා, යමුනා යන නදී දෙව්දූන් තිදෙනා උදෙසා කැපකළ දේවාල තුන අංගණයේ බටහිර කෙළවරට වන්නට තනා ඇත. උතුරු දිග පර්වත බිත්තියේ ‘ලංකේශ්වර’ යනුවෙන් සඳහන් ශාලාවක් ද වෙයි.

සාමාන්‍යයෙන් කෝවිලක ෙදාරටුවක් තබන්නේ නැගෙනහිර දිශාභිමුඛව ය. නමුත් පර්වතයේ පිහිටීම අනුව මෙහි ද්වාරය බටහිර දිශාභිමුඛව පිහිටුවා ඇත.

පිහිටි ගලෙහි ආවාටයක් සකස්කරන අතර ම කෝවිලේ අංගෝපාංග ඉතිරිකරමින් කළ මෙහි නිමැවුම විස්මිතය. පර්වතයේ කණින ලද ආවාටයේ පත්ල කෝවිල් අංගණය බවට පත් වී ඇත. එහෙත් කෝවිලෙහි ප්‍රධාන ගොඩනැගිලි එකී අංගණයෙන් අඩි 25ක් පමණ උස් වේදිකාවක් මත තනා ඇත. ඇතැම් විට එසේ කරන්නට ඇත්තේ ආලෝකය ලබාගැනීමේ දී මතුවන ගැටලූවට මුහුණ දීමට වියයුතු ය. පල්ලව සමයට අයත් දේවාලයන්හි ලක්‍ෂණ විද්‍යමාන වන මෙම කෝවිල අලංකාර බිතු කැටයම ආදියන් ද යුක්ත ය.

 

කෛලාස කෝවිලේ කලා නිර්මාණ- මෙම කෝවිල දෙස සමස්තයක් ලෙස බැලූ කල එය සපුරාම කලා නිර්මාණයකි. දෙවියන් උදෙසා පිදූ විස්මිත, සෞන්දර්යාත්මක නිමැවුමකි. එහෙත් අපගේ අවධානය යොමු වන්නේ කෝවිලෙහි විශේෂ වශයෙන් නිර්මාණය කොට ඇති කලා කෘති කිහිපයක් කෙරෙහි පමණි.

පර්වතය හාරා සකස්කරගත් කෝවිල් අංගණයේ ඇති අඩි 25ක් පමණ උස් වේදිකාව කෝවිලෙහි ප්‍රධාන ගොඩනැගිලි ඔසවාගෙන සිටියි. මෙම වේදිකාවේ ඉහළ හා පහළ අන්තාසන්නයේ බොරදම් කැටයම් යොදා අලංකාර කර ඇත. පාදාන්තාසන්නයේ ඇත්රූප හා සිංහ රූප පන්තියක් නෙළා ඇත.

බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පයත් හින්දු ගෘහනිර්මාණ ශිල්පයත් එකිනෙකා වෙතින් ආභාසය ලබමින් පෝෂණය වෙමින් පෙරට ආ ගමනේ එක් සන්ධිස්ථානයක් ලෙස ද මේ කෝවිල් පාදම සැලකිය හැකිය.

මීට අමතරව කෝවිලේ සෙසු ගොඩනැගිලි බිත්ති ද කැටයමින් සරසා ඇත. එ් සඳහා බහුල වශයෙන් පාදක කොටගෙන ඇත්තේ රාමායනයේ එන කතා ප්‍රවෘත්තීන් ය. ශෛව භක්තිකයින්ගේ ඇදහීම් කෙරෙහි අදාළ වන්නා වූ පූජ්‍ය වස්තූන් ද කලා කෘති අතර වෙයි.

  • ශිව ලිංගය
  • පාර්වතී ලිංගය
  • ත්‍රිපුරාන්තික ශිව
  • මහීෂාසුරමර්දිනී
  • දුර්ගා
  • සීතාහරණය

කෛලාසය පෙරුළීමට තැත්කරන රාවණ ආදී කැටයම් විචාරක පැසසුමට ලක් වූ එ්වා යැයි සිංහල විශ්වකෝෂයේ උප කර්තෘව සිටි ජිනදාස ලියනරත්න වියතාණෝ පවසති.

පරිමාණ හා මිණුම්- ප්‍රධාන ගොඩනැගිල්ල දරා සිටිනා වේදිකාව අඩි 25ක් පමණ උස් ය . මහල් තුනක් සහිතව එහි ඇති විමානයේ සම්පූර්ණ උස අඩි 96ක් පමණ වෙයි. පර්වත ආවාටයේ ගැඹුරු ම පැත්ත අඩි 106ක් ගැඹුරු ය. ගැඹුරින් අඩුව සකස් කළ පැත්ත අඩි 53ක් පමණ ය.(ගෝපුරය පිහිටා ඇත්තේ එ් පැත්තේ ය.) කෝවිල් අංගණය අඩි 280×160 ප්‍රමාණයෙන් යුතු ය.