ඉන්දියාවේ නගරයකි. සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ නගරයයි. ඉපැරණි යුගයේ ‘කුසාවතී’ ලෙස ද හඳුන්වා ඇත. වල්බිහිව ජරාවාසව ගොස් තිබියදී 19වන සියවස මුල එච්. එච්. විල්සන් නමැති මහත්මා විසින් අනුමාන වශයෙන් කළ ප්‍රකාශයක් නිසා පර්යේෂකයන්ගේ අවධානය මේ වෙත යොමුවිය. ගොරක්පූර් දුම්රියපළේ සැතපුම් 34ක් නැගෙනහිරින් ඇති මෙය කුයියා හෙවත් කුසිනගර් නමින් වත්මනයෙහි හැඳින්වේ. බුකැනන්, ලිස්ටන්, කනිංහම්, කර්ලයිල්, ෆොගල්, හිරානන්ද ශාස්ත‍්‍රී ආදීහු මේ ප්‍රදේශයේ විවිධ පුරාවිද්‍යා පර්යේෂණ කළහ. බුද්ධ ශරීරය බහා තැබෙන දෙණ සල් ගස් දෙකක් අතරේ තබා තිබෙන අයුරු දැක්වෙන සටහනක් ද මහා පරිනිර්වාණ භික්‍ෂු සංඝ(මහා පරිනිර්වාණ විහාරයේ භික්‍ෂු සභාව) යනුවෙන් සඳහන් මැටි මුද්‍රා(සීල්) කිහිපයක් ද මේ ප්‍රදේශයෙන් සොයාගෙන ඇත . ගිනි දැල්වෙන චිතකයක රූපසටහනක් හා දෙදණ බිම ඔබා ඊට නමස්කාර කරන මිනිස් රුවක් ද සහිත තඹ පතක් පරිනිර්වාණ චෛත්‍යය තුළින් හමුවී ඇත. එහි ඇති සටහනට අනුව එය එහි තැම්පත් කොට ඇත්තේ ”හරිබල” නමැති භික්‍ෂුව විසිනි. (විහාර රාශියකට අධිපති හරිබල නමැති භික්‍ෂුව මෙම තඹ පත්‍රය පරිනිර්වාණ ථූපයෙහි නිධන් කළේ ය.)
වනයෙන් වැසී තිබුණු කුන්වාර් කාකොට් නමැති උස්භූමිය ආශ‍්‍රිතව 1876 දී එ්. සී. කාර්ලයිල් කළ පර්යේෂණයක දී ගරා වැටුණු බිත්ති වලට යටවී තිබූ පරිනිර්වාණ බුද්ධප්‍රතිමාව සොයාගත් අතර පසුව එය මහත් පරිශ‍්‍රමයෙන් යථා තත්ත්වයට පමුණුවා පරිනිර්වාණ විහාරයෙහිම තැම්පත් කරන ලදී. මෙම ප්‍රතිමාව ද ‘හරිබල් ’ නමැති භික්‍ෂුව විසින් කරවූවකැ’යි ශිලා ලේඛනයකට අනුව නිගමනය කර ඇත.නගරය අවටින් ස්තූප 13ක හා සංඝාරාම ගණනාවක නටබුන් සොයාගෙන ඇත. පරිනිර්වාණය සිදු වූ තැන, ද්‍රෝණ බමුණා ධාතු බෙදූ තැන ආදී වශයෙන් මෙම ථූප ගොඩනංවා ඇතැ’යි සැලකේ.