අලහබාද් ප්‍රශස්තිය

සමුද්‍රගුප්ත රජු පිළිබඳව කළ ප්‍රශස්තියකි. උතුරු ඉන්දියාවේ අලහබාද්හි පිහිටා තිබේ. මෙය අශෝකරජු විසින් කරවූ ලිපියක් සහිත ටැඹක අනෙක්පස මෙම ලිපිය කොටවා ඇත. අඩි 35ක් උස කුලූනකි. ප්‍රශස්තිය පේළි 33කින් යුක්තය. ක්‍රි. ව. 330-375 අතර කාලයට අයත්ය. උත්තර බ්‍රාහ්මී හෝ ගුප්තාක්ෂර වලින් පැරණි සංස්කෘත බසින් ලියා ඇත. මෙහි පිටපත රචනාකොට ඇත්තේ මහා කවි හරිෂේනයන් විසිනි. (ලිපියේ 32වන පෙළෙහි ඇති වැකිය ඊට සාධක වෙයි. ‘ඛාද්ද්‍යතපිකිකස්‍ය මහාදණ්ඩනායක ධ‍්‍රැවභූතිපුත්‍රස්‍ය සාන්ධිවිග්‍රහහිකකුමාරාමාත්‍යම හා දණ්ඩනායක හරිෂේනස්‍ය සර්ව්වභූතහිතසුඛායස්තු…’) මහා දණ්ඩනායක තිලභට්ටයන් විසින් ශිලා ලිපිය කරවා ඇත. මෙම ලිපියේ වැදගත්කම් කිහිපයකි. ගුප්ත අධිරාජ්‍යය පිලිබඳව තොරතුරු ලබා ගැනීමට ඇති ප්‍රධාන පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රය වන්නේ ද මෙය යි. සමුද්‍රගුප්තයන් විසින් විශාල අධිරාජ්‍යයක් ගොඩනැගීමට ගත් උත්සාහය මෙම ලාපිය අනුව වටහා ගත හැක. රුද්‍රදේව, මතිල, නාගදත්ත වැනි රජවරුන් නව දෙනෙකු පරාජය කරමින් දැක්වූ යුධ කාර්ය කුශලතාව මෙයින් වර්ණනිතය. නැගෙනහිර බෙංගාලයේ ‘සමතට’, ඇසෑමයේ ‘ඩවාක’ ‘කාමරූප’ නේපාලයේ ‘කාර්තිපුර’ යන රාජ්‍යයෝ ද මොහුගේ ආඥාව පිළිගත්හ. කුෂාණ වංශයේ දේවපුත්‍ර පරපුරේ නායකයෝ ද, බොහෝ ශක නායකයෝ ද, සිංහල දේශයේ රජු ද පඬුරු දීමෙන් මොහුගේ බලය පිළි ගත්තෝය. මෙවැනි තොරතුරු රැසක් මෙම ප්‍රශස්ති ලිපියෙන් හෙළි කරගත හැක.