අයෝධ්‍යා

ඉන්දියාවේ පැරණි නගරයකි. උත්තර කෝසල ජනපදයේ පැරණිම අගනුවරයි. එක්සත් ප්‍රාන්තයේ ගෝග්‍රා හෙවත් සරයු ගඟබඩ පිහිටා ඇත. හින්දුවරුන්ගේ ප්‍රධාන ශුද්ධස්ථාන 7න් එකක් යුධකොට යටත්කොටගත නොහැකි පුරය යන අරුතින් අයෝධ්‍යා යන නාමය ලබාදී ඇත. විනීතා යනුවෙන් හින්දුන් හැඳින්වූයේ ද ෂචේ  (sha-che)යනුවෙන් ෆාහියන් හිමි හැඳින්වූයේ ද (සිං. වි. කෝෂයේ II වන කාණ්ඩයේ අයෝධ්‍යා යටතේ බලන්න. ටොලමි විසින් සොගෙඩා(sogeda) යනුවෙන් හැඳින්වූයේ ද (ඉහත මූලාශ‍්‍රය ම බලන්න) මේ නගරයමැ’යි විශ්වාස කෙරෙයි. එහෙත් මහාචාර්ය විමල්.ජී. බලගල්ල මහතාට අනුව ෆාහියන් හිමි ෂචේ යනුවෙන් හැඳින්වූයේ සාකේත නුවරයි. (බලගල්ල විමල් .ජී. 1999. 61 පිටුව සහ 122 පිටුව) පූජාවලියේ ද අයෝධ්‍යාව පිළිබඳව සඳහන් වෙයි. (පූජාවලිය ඤණවිමල සංස්කරණය 2002. 108 පිටුව) ඉක්ෂ්වාකු භූමි, රාමපූරි, කෝසල ආදී නම් වලින් ද මෙම නගරය හැඳින් වුණු වග සිංහල විශ්වකෝෂය කියයි. රාමායනයට අනුව එකල ෆයිසාබාද් නගරයේ උප නුවරක් වූ අයෝධ්‍යාව කොසොල් රටේ (වත්මන් අවුද් ප්‍රදේශය) අගනුවර වී ඇත.  අයෝධ්‍යාවේ බෞද්ධ මෙන්ම දේවාගමික මධ්‍යස්ථාන ද පැවතී ඇත. නටබුන් බවට පත් වූ ගොඩනැගිලි වලට අයත්  ප්‍රතිමා සහ කැටයම් කළ කුළුණු ආදිය මේ ප්‍රදේශයේ පුරාණ ශ‍්‍රී විභූතිය පිළිබඳව නිහඬ සාධක සපයයි. මුස්ලිම් පල්ලි හා ජෛන විහාර අද පවා විද්‍යමාන ය.