අයුධ්‍යා/අයුතියා

තායිලන්තයේ (පුරාණ සියම් දේශය) පැරණි අගනුවරයි. සිජොන් තේජන් නමින් සියම් වැසියෝ හඳුවන්නේ ද මෙම ප්‍රදේශයම ය. විශාලත්වය ව. සැ. 976ක් පමණ වේ. 1350දී පමණ අයුධ්‍යාව සියම් දේශයේ අග නගරය වූ පසු රාජානුග්‍රහය ඇතිව එහි බෞද්ධාගමික කලා ශිල්ප වර්ධනය විය. 1767 දී බුරුම ආක්‍රමණයෙන් කලාකෘති හා ගොඩනැගිලි රාශියක් විනාශ වුව ද එ්වායේ නටබුන් අද ද දැකගත හැකිය. ක්‍රි.ව. 1350-1369 කාලයේ මේ නගරය ගොඩනැංවූ රාමාධිපති හෙවත් රාමතිබොදි රජු නගරය මැටි පවුරකින් වට කළ අතර එ් තුළ හා අවට දාරුමය (දැව) ගොඩනැගිලි කරවන ලදී. 1549දී රජ වූ චක්‍රපත් රජු නගරය වටා ගඩොල් පවුරක් ඉදිකළේ ය. අයුධ්‍යා නටබුන් අතර ශ්‍රී සරපෙත් විහාරයේ නටබුන් විශේෂ වේ. සිංහල හා බුරුම ගෘහනිර්මාණ ලක්‍ෂණ වල සම්මිශ‍්‍රණයක් දැකියහැකි වීම එම විශේෂත්වයට හේතුවයි. මෙම විහාරයේ ස්ථුප වල පේසා වළලූ සහ ගර්භය ලංකාවේ දාගැබ් අනුකරණය කර තනා ඇති වග පෙනේ. විහාරයේ සුවිසල් ම දාගැබ දෙවන රාමාතිබොදි රජු විසින් සිය පියාණන්ගේ හා වැඩිමල් සොයුරාගේ භෂ්මාවශේෂ තැම්පත්කොට 1491 දී නිමකර ඇති වග පිළිගැනීම යි. සිංහල ථුප ක්‍රමයට දාගැබ් ගොඩනැගීම දෙවන රාමාතිබොදි රජ සමයේ දී වඩාත් ප්‍රචලිත වුව ද ලංකාවේ හා තායිලන්තයේ මෙම දාගැබ් අතර හඳුනාගතහැකි වෙනස්කම් ද පවතී. ඉතා උස් කොත් කැරුල්ලත් , භර්මිකා (කොත් කැරුල්ලේ වළලූ) හා ඡුත්‍ර පාදය හමුවන ස්ථානය වටා කෙටි කුළුණු පෙළක් පිහිටීම ත් මෙසේ හඳුනාගත හැකි ආකාරයේ වෙනස්කම් ය. 15වන සියවසේ පමණ පටන් ඉදි වූ අයුධ්‍යා ගොඩනැගිලි බොහොමයක් ශෛලියෙන් වඩාත් සමීප වන්නේ ක්මේර් (කාම්බෝජ) ගෘහනිර්මාණ ශිල්පයට ය. අයුධ්‍යාවට අයත් ලොජබූරි හි නටබුන් වලින් එ් වග සනාථ වෙයි. සියම් මූර්ති කලාව උසස් දියුණුවක් ලැබුයේ ද අයුධ්‍යා රාජධානි සමයේදී ය. මුලදී ථේරවාදී බුදු සමය ප්‍රචලිතව පැවතිය ද පසුකාලීනව මහායාන බුදු සමය වඩාත් ප්‍රචලිත වූයෙන් මහජන වන්දනාමානය පිණිස බුද්ධ ප්‍රතිමා හා දේව ප්‍රතිමා ඉදිකරන ලදී. ශ්‍රී සරපෙත් විහාරය අසල ඇති වැඩ සිටින බුදුරුව ප්‍රා මංගල පබිත්‍ර නමින් හැඳින්වෙයි. ලෝකඩ මාධ්‍යයෙන් අඩි 50ක් උසින් යුතුව නිමවා ඇත. 1767දී බුරුම ආක්‍රමණ හේතුවෙන් විනාශ වී ගිය නිසා කැබලි වශයෙන් බැංකොක්හි වට්ජෙතුපොන් චෛත්‍යයේ තැම්පත් කළේ දෙවැනි රාමාතිබෝධි රජු විසින් කරවා රන්තහඩු වලින් ආවරණය කරන ලද බුද්ධ ප්‍රතිමාවකි. බෞද්ධාගමික විහාරාරාම නටබුන් හා කලාකෘති වලට අමතරව තායිලන්තයෙන් හින්දු සමයට අයත් ශිව හා විෂ්ණු දේව ප්‍රතිමා ද හමු වී ඇත. එ්වා දැනට බැංකොක්හි ජාතික කෞතුකාගාරයේ සහ ලන්ඩන් නුවර වික්ටෝරියා ඇල්බට් කෞතුකාගාරයේ තැම්පත්කර ඇත. අයුධ්‍යා ගොඩනැගිලි සැරසිලි අතර ශෛලමය කැටයම් සුලභ වේ. කාම්භෝජ මූර්ති ශෛලීන් අනුගමනය කර ඇති මෙම මූර්ති අතර ප්‍රාජෙදි විහාරයේ පිට බිත්තියක නිමවා ඇති බුද්ධශ‍්‍රාවකයන් සත්දෙනෙකු නිරූපණය කෙරෙන කැටයම අග්‍රගණ්‍ය වෙයි.