අමරාවතී දාගැබ

භාරතීය සංස්කෘතික ඉතිහාසය මෙන් ම ලෝක බෞද්ධ ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී මේ දාගැබ පිළිබඳව නිතැතින්ම අවධානය යොමුකෙරේ. එසේ වීමට ද හේතු ගණනාවක් තිබේ.

මෙය පිහිටා ඇත්තේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි ය. ආන්ද්‍රා ප්‍රදේශයට අයත් නාගර්ජුන කොණ්ඩ භට්ටිද්‍රෝල, ඝණ්ඨශාල, පෙඩ්ඩාමඩ්ඩූර්, ගරිකපාඩ්, ගුමදිදිරු ආදී ස්ථාන වල ද බෞද්ධ ස්තූප ඇතත් ඒ එකක් හෝ අමරාවතී ථූපය තරම් උසස් නොවන්නේ යැයි සිංහල විශ්වකෝෂ කියයි. කෙසේ වෙතත් දැනට නටබුන්ව විනාශ වී ගොස් ඇති මේ ථූපය පුරාණයේ කෙසේ පැවතුණේ ද යන්න පිළිබඳ සාධක ඉතිරිව තිබේ. අවට ස්තූප වල ස්වරූපය ද මේ පිළිබඳව ලියැවී ඇති වාර්තා ද චෛත්‍යය ආශ්‍රිතව කළ කැණීම් වලදී සොයාගත් කරුණු ද අනුසාරයෙන් ස්තූපයේ පුරාණකාලීන ආකෘතිය මේ යැයි නිශ්චිත නිගමනයකට එළඹෙන්නට දැනට හැකිව තිබේ. මෙහිදී විශේෂයෙන් ම ඉවහල් වූයේ චෛත්‍ය ආශ්‍රිත කැණීම් වලදී හමුවුණු කැටයම් පුවරු වල ඇති ථූප රූප සටහන්ය.

අමරාවතී දාගැබ ඉදිකර ඇත්තේ ක්‍රි.පූ.200 තරම් කාලයේ ය. එහෙත් ආරම්භයේ දී කුඩා ස්තූපයක් වූ මෙය ක්‍රි.ව. දෙවැනි සියවසේ දී පමණ විශාල කොට බඳවා (කංචුකයක් කරවා) ඇති බව පුරාවිද්‍යාත්මකව සනාථ වී ඇත. පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ ථූපය වඩාත් විශාල කොට බැඳවූයේ ද විසිතුරු කැටයමින් සැරසූයේ ද එය මහායානිකයන් අතට පත්වීමෙන් පසු බවයි. විශේෂයෙන්ම මහායාන බෞද්ධාගමික දාර්ශනිකයෙකු වූ නාගර්ජුන හිමියන් මේ ප්‍රදේශයේ වැඩවාසය කරන සමයෙහි මෙහි බොහොමයක් සංවර්ධන කටයුතු සිදුකෙරෙන්නට ඇති බව විශ්වාස කෙරේ. කෙසේ වුව ද දක්ෂිණ භාරතීය හින්දු රාජ්‍යයන් අමරාවතිය ද වසා පැතිර ගිය පසු අමරාවතියේ පරිහානිය ඇරඹුණි. විශේෂයෙන් ම ක්‍රි.ව. 8,9 සියවස් වලට පසු ක්‍රමයෙන් හිස ඔසවන චෝළ අධිරාජ්‍යයට මෙය ගොදුරු වන්නට ඇතැයි සැක කෙරේ. එහෙත් චෛත්‍යය තිබූ ස්ථානයෙන් ඉවත් කර හින්දු දේවාල තැනීමට තරම් චෝළයන් හෝ දකුණු ඉන්දීය හින්දු පාලකයන් සාහසික වී නැති බැව් ද සඳහන් කළ යුතුය. චෛත්‍යය හා ඒ ආශ්‍රිත වෙහෙරවිහාර ආදියට අනුග්‍රහ නොකර සිටීම මෙහි පරිහානිය ඛෙහෙෙවින්ම බලපාන්නට ඇතැයි සිතිය හැක. 19 (1816) වන ශතවර්ෂයේ දී මේ චෛත්‍යයේ නටබුන් බ්‍රිතාන්‍ය නිළධාරියෙකු වූ කර්නල් මැකන්සි මහතා විසින් ගවේෂණය කිරීමෙන් පසු යළි මේ දෙසට දෙස්විදෙස් අවධානය යොමුවිය. එහෙත් ඒ වනවිටත් චෛත්‍යය අතිශය පරිහානියට පත්ව තිබුණි. මැකන්සි මහතා පළමුව දුටුවේ ගඩොළු ගොඩක් හා කැඩීබිඳී ගිය ගල් වැටකුත් ඒ මත විසිර තිබූ ශෛලමය කුලූණු කිහිපයකුත් පමණි. එහෙත් මෙය ගරාවැටුණු චෛත්‍යයක් බැව් සනාථ වූ පසු යාබද ප්‍රදේශ වල චෛත්‍යයන් සමග සසඳා බලා අනුමාන නිගමන වලට එළඹෙන ලදි. ඊට අනුව පුරාවිද්‍යාඥයන් ගණනය කළේ චෛත්‍යය අඩි 160ක පමණ විෂ්කම්භයක් හා අඩි 90-100 ත් අතර උසකින් යුක්ත වන්නට ඇත කියාය. සාංචියේ ස්තූප සැලැස්මට ආසන්න හැඩයකින් යුතු යැයි මුලදී අනුමාන කළ ද පර්යේෂණ වලින් පසුව හෙලි වූයේ මෙහි සාංචි භාර්හුට් චෛත්‍යය වලට වඩා වෙනස් ලක්ෂණ ද ගැබ්ව පවතින බවයි. මුල්කාලීනව චෛත්‍යය හීනයානික බෞද්ධයන් සතුව පැවතියදී එක්වුණු ලක්ෂණ මෙන්ම පසුකාලීන මහායානික ලක්ෂණ ද මේ චෛත්‍යය ආශ්‍රිතව දැකිය හැකිය. එහෙත් ඒ ආශ්‍රිතව ඇති කැටයම් ඵලක බොහෝ ඒවා අයත් වන්නේ මහායානික යුගයටම ය. කෙසේ වෙතත් හීනයානික ලක්ෂණ මෙන්ම මහායානික ලක්ෂණ ද යන දෙවගයම එකම කැටයම් පුවරුවක දක්නට ලැඛෙන අවස්ථාත් ඇති නිසා පුරාවිද්‍යඥයෝ මේ පිළිබඳ තවදුරටත් විමසුම් කරති. එකම කැටයම් පුවරුවෙහි බුදුරදුන් වෙනුවට විවිධ සංකේත යෙදූ අවස්ථා ද බුදුරුව මනුෂ්‍යරූපකායෙන් යෙදූ අවස්ථා ද ඇත. (ගුරුගේ, ආනන්ද.පී. 1962 දඹදිව බෞද්ධ කලාව පිටුව 39)

චෛත්‍යය ලක්ෂණ-අර්ධ ගෝලාකාර හෙවත් බුබ්බුලාකාර හැඩයට තැනූ චෛත්‍යයේ හර්මිකාවෙන් වටවුණු කොටසේ චක්‍ර කුලූනු දෙකක් ද තවත් සැරසිලි ආකාර නිමැවුමක් ද වෙයි. චෛත්‍යයේ ගර්භය විසිතුරු කැටයමින් සරහා තිබුණේ වී නමුදු යම් තේමාවකට අනුව තෝරාගත් සිද්ධි ඒවායේ නිරූපණය කෙරුණි. මල්වැල් නෙළුම් මල් ආදියෙන් අලංකාර වුණ මේ ගරාදි වැටේ තැන තැන තිබුණු වෘත්තාකාර කැටයම් ඵලක වලින් බුද්ධ චරිතයේ විවිධ අවස්ථා නිරූපණය වේ. ගරාදි වැට හරහා ස්තූප ප්‍රදක්ෂිණා මළුවට දොරටු සතරක් සිව් දිගින් ඇත්තේ ය. එහෙත් මේ දොරටු ඇසුරෙහි සාංචියේ මෙන් තොරණ දක්නට නොලැබේ. ලංකාවේ ස්තූප වලට පසුකාලීනව එක් වූ වාහල්කඩත් සාංචියේ තොරණත් අතර අවස්ථාවක් දැක්වෙන නිර්මාණයක් චෛත්‍ය ගර්භය වටා සිවු දිගින් දැකිය හැකි වෙයි. කුලූණු 5කින් පමණ සමන්විත වන එය වාහල්කඩ තරම් දියුණු භාවයට පත්ව නැතත් සාංචි තොරණට වඩා පරිණතව හා චෛත්‍යයට වඩාත් සමීපව පිහිටා ඇත. අමරාවතී චෛත්‍යයේ හැඩය නිර්ණය කිරීමට උපස්තම්භක වූ ගල්පුවරු කැටයමේ ද මේ කුලූණු පහේ සැරසිල්ල දක්නා ලැබේ.එහි දොරටුව දක්වා ඇත්තේ සිංහ රූපයක් සහිත හිසක් සහිත කුලූණු හතරකිනි. (මෙම ගල්පුවරු කැටයම ඉන්දීය මදුරායි කෞතුකාගාරයේ තැම්පත් කොට තිබේ. අමරාවතී චෛත්‍යපුවරුව නමින් හැඳින්වෙන්නේ මේ පුවරුවයි. එහි නිරූපණය වන්නේ චෛත්‍යයකට පුදපූජා පවත්වන දේවතා සමූහයකි.)

අමරාවතියේ විශේෂ ලක්ෂණයක් වූයේ ගරාදි වැට සේ ම චෛත්‍ය බඳ ද විසිතුරු කැටයමින් සැරසීමයි. මේ සැරසීම් සඳහා යොදාගත්තේ හුණුගල්පුවරු කැටයම් ය. එහෙත් මේ කැටයම් පුවරු වලින් බහුතරයක් පසුකාලීන ජනයා විසින් හුණු පිළිස්සිමට යොදාගත් නිසා කැටයම් පුවරු වලින් කිහිපයක් හැර සෙසු ඒවා විනාශ වී ගොසිනි. ඉතිරිව ඇති කැටයම් පුවරු ස්වල්පය දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැම්පත් කර ඇත.

අමරාවතී ස්තූප කැටයම්- අමරාවතී ස්තූපය සපුරාම වාගේ හුණුගල් කැටයම් පුවරු වලින් ආවරණය කොට තිබුණි. මේ නිසා චෛත්‍යය ආශ්‍රිතව ඉතා සංකීර්ණ හා විසිතුරු පරිසරයක් ගොඩනැගී තිඛෙන්නට ඇත. විශේෂයෙන්ම මහායානික ආභාසය ලැබූ කැටයම් පුවරු ඉතා සංකීර්ණ හා විසිතුරු බවින් යුතුවීම නිසා ඒ තත්ත්වය තව තවත් උද්දීපනය වන්නට ඇත. චෛත්‍ය බෙඳහි මතු නොව චෛත්‍යය ප්‍රදක්ෂිණාපථය ආශ්‍රිත ගල්ගරාදි වැටේ ද කැටයම් නිමවා තිබුණි. ගරාදි වැටේ සිරස් කණු වල ඇති කැටයම් වලින් ද නිරූපණය වූයේ බුද්ධ චරිතයේ අවස්ථාවන් ය. ආනන්ද පී ගුරුගේ මහතා කියන්නේ එබඳු එක් ගල්කණුවක බුද්ධ  චරිතයට අදාළව මහාභිනිෂ්ක්‍රමණය, බුද්ධත්වය, මංගල ධර්මදේශනාව හා පරිනිර්වාණය දැක්වෙන බවයි. එය පැරණි බෞද්ධ සම්ප්‍රදායක් වුවත් මෙහිදී ශිල්පියා බුද්ධෝත්පත්තිය මගහැර ඇතැයි ද ඒ මහතා කියයි.

ඒ කෙසේ වෙතත් අමරාවතියේ බෞද්ධ කැටයම් පුවරු ප්‍රධාන කොටස් දෙකකට ඛෙදිය හැකිවෙයි.  ඒ මහායානික ආභාසය ඇති කැටයම් හා හීනයානික ආභාසය ඇති කැටයම් වශයෙනි. හීනයානික ආභාසය ඇති කැටයම් ඵලක මුල් යුගයේ කැටයම් ඵලක සේ හැඳින්වීමේ වරදක් නැත. භාරුත් සාංචි ආදී සම්ප්‍රදායන් අනුව යමින් මේවායේ බුදුරුව වෙනුවට බුද්ධ සංකේත දක්වා තිබේ. බෝධි වෘඬ, ධර්මචක්‍ර, ස්තූප, ශ්‍රීපාද ලකුණු ආදිය එසේ යොදා ඇත. එබඳු කැටයම් බහුතරය ක්‍රි.ව. දෙවන සියවස තුළ දී නිර්මාණය කරන ලද්දේ වී නමුදු බුද්ධරූපය මනුෂ්‍යරූපකායෙන් දැක්වීමඇරඹූ යුගයේ ද එසේ සංකේතානුසාරයෙන් ඉදිරිපත් කිරීමෙන් පෙනී යන්නේ වෙනත් කරුණකි. එනම් මුල් කාලීනව සැබැවින්ම බුදුරුව මනුෂ්‍ය රූපකායෙන් දැක්විම බුදුන් වහන්සේට කරන නිග්‍රහයක් සේ සැලකූ බවත් එහෙත් පසුකාලයේ බුදුරුව විවිධ සංකේතානුසාරයෙන් දැක්වීම රටාවක් වූ බවත් ය. කෙසේ වුව ද මේ මුල් යුගයට අයත් කැටයම් ඵලක චෛත්‍ය ගර්භයේ මෙන්ම ගරාදි වැටේ ද දක්නට ලැඛෙයි. ගරාදි වැටෙහි වර්ග අඩි 1700ක ප්‍රමාණයක් කැටයමින් ආවරණය කර තිබි ඇත. ඒ අතරේ ද බුද්ධ සංකේත තිඛෙන්නට ඇත. ආසියාවේ බෞද්ධ කලා ශිල්ප පිළිබඳ අගනා කෘතියක් කළ පූජ්‍ය තිරාණගම රතනසාර හිමි සඳහන් කරන්නේ මේ බෞද්ධ සංකේත අවස්ථාවට උචිත ලෙස අමරාවතී කලාකරුවන් විසින් යොදා ඇති බවයි. (බලන්න, උන්වහන්සේ ලියූ බෞද්ධ ස්තූප කෘතිය 25 පිට) එපමණක් නොව උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ චෛත්‍ය ආයකයක් බඳු ස්තම්භ පහෙන් සිද්ධාර්ථ උත්තෝත්පත්තිය, මහාභිනිෂ්ක්‍රමණය, මහාසම්බෝධිය හෙවත් බුද්ධත්වය, මංගල ධර්මදේශනය හා මහාපරිනිර්වාණය නිරූපිත බවය. ස්තම්භ පහෙන් මැද ස්තම්භය තරමක් උස් නිසාත් ඉන් සම්බෝධිය සංකේතවත් කරන නිසාත් මේ මතය පිළිගැනීමට දුෂ්කර නැත.

අමරාවතී කැටයම් ඵලක වලින් බුද්ධ චරිතයේ අවස්ථා රැසක් නිරූපණය වේ. මහාභිනිෂ්ක්‍රමණය හා නේරංජනා ගංගාවෙන් එතෙරවීම, සුජාතාවගේ කිරිපිඬු දානය, බුද්ධත්වය, නන්ද කුමරු හා ජනපදකල්‍යාණිය, දම්සක්පැවතුම් සුතුරදෙසීම  මහාපරිනිර්වාණය ආදිය ඒ අතර වෙයි. නාලාගිරි දමනය දැක්වෙන   වෘත්තාකාර පනේල කැටයම ද ප්‍රසිද්ධය. ඊට හේතුව එහි දක්නට ලැඛෙන අඛණ්ඩකථන ශෛලියේ  නිර්මාණය මනා සම්පිණ්ඩනයක් සහිතව දක්වා තිබීමයි. ඊට අමතරව මේ කැටයම් ඵලක වල ජාතක කතාවන්හි අවස්ථා යැයි අනුමාන කළහැකි නිර්මාණ  ද පැරණිභාරතීය ගැමි දසුන් ද දැකිය හැකි වෙයි.

මෙවා අතරින් මහායාන යුගයට අයත් නිර්මාණ වල ක්‍රියාශීලී මානව ඉරියව් ලාලිත්‍යාවන් ආදි ලක්ෂණ දක්නට ලැබේ. කැටයම් ඵලක වලට අමතරව අමරාවතී නටඹුන් අතර තිබි බුද්ධප්‍රතිමා කිහිපයක් ද හමුවී තිබේ. ක්‍රි.ව  දෙවන හෝ තෙවන ශතකයන්ට අයත් මේවා කිරිගරුඬ හෝ ගල් මාධ්‍යයෙන් නිමවා තිබේ. මේ බුද්ද ප්‍රතිමා වල ගන්ධාර හා මඵුරා කලා සම්ප්‍රදායන් දෙකේ ලක්ෂණ දක්නට ලැඛෙන නමුදු ඊට ආවේණික මාර්ගයක ගමන්කොට ඇත. උෂ්ණීෂය දැක්වීමේ දී උත්තර භාරතීය සම්ප්‍රදායෙන් මිදී ඇත. සාමාණයයෙන් කෙස් රොදක් ඉහලට එසැවී ඇති ආකාරයට සමානව එය දක්වා ඇතත් ගන්ධාර කලා සම්ප්‍රදායට වඩා වෙනස් ය. කෙස් කුණ්ඩලාකාරව දක්වා ඇත. සිවුර පොරවා ඇත්තේ ද ඒකාංශ කොට ය. රැළි සහිත මුත් ගන්ධාර රැලි තරම්රළු, ගැඹුරු නැත. ලාලිත්‍යයක් ද සියුම් බවක් ද දක්නට ලැබේ.

අමරාවතී ස්තූපය සංරක්ෂණය-ස්තූප සංරඬණය ක්‍රි.ව. 1959දී පමණ ඉන්දීය පුරාවිද්‍යාදෙපාරතමේන්තුව මැදිහත් වීමෙන් අරඹන ලදී. ඊට පෙර මේ බිමෙහි කණිංහැම්, එලියට්, සැවෝයි, ලෝංහර්ස්ට්, රාමචන්ද්‍රන්, සුබ්‍රාමනියම් වැනි පුරාවිද්‍යාඥයෝ පර්යේෂණය කොට තිබුණි. 1958 සැප්තැම්බර් මස 23වන දා ආචාර්ය  ආර්. සුබ්‍රමනියම් මහත්මා විසින් මතුකොටගත් ගල්පුවරුව (5×2 ප්‍රමාණයේ)  ඇතැම්විට පර්යේෂණ කටයුතු සඳහා උත්තේජනයක් සපයන්නට ඇත. මන්දයත් ඒ ගල්පුවරුව ධාතු තැම්පත් කළ යන්ත්‍රගලකට සම එකක් වීම නිසා ස්තූපයේ මුඛ්‍ය පූජා වස්තුව සොයා ගැනීමට සමසේ ඔවුන් සිතන්නට ඇත. ස්තූපය ප්‍රතිසංස්කරණ සැලසුම සකස්කළේ ද ස්තූප බිමේ තිබී හමු වූ ගල්පුවරුවක තිබූ චෛත්‍යය අනුරුව අනුවය.

චෛත්‍යය ක්‍රි.පූ. 200දී ගොඩනැංවූ බිම දක්වා යෑමට පස් ස්ථර 3ක් ඉවත්කළයුතු වූ අතර ඉන්පසු ප්‍රකෘතිමත් කිරිම අරඹන ලදී. පුලුමායි රජුට අයත් ලිපියක් ද මෙහි තිබී හමු වී ඇත.

අමරාවතී කලා සම්ප්‍රදාය