අථර්ව වේදය

අථර්වන් වේදය. වේද ග්‍රන්ථයකි. වාසනාව උදා කරන ඉන්ද්‍රජාලය යන අරුත අථර්ව යන්නෙන් ගම්‍ය වේ. ගීතිකා 731කි. මණ්ඩල 20කි. පද්‍ය 6000කි. මෙම කෘතියේ සමස්ත අරමුණ නම් යක්ෂ, ප්‍රේත, පිසාච ආදී අමනුෂ්‍යයන් සතුටුකොට, මිතුරන්ට ආශිර්වාද කොට, සතුරන්ට ශාප කිරීම යි. මෙම ග්‍රන්ථයෙන් ආර්ය සමාජය ක්‍රමයෙන් සංකීර්ණ වූ ආකාරය අධ්‍යයනය කළ හැක. මේ නිසා ආර්යයන් ඉන්දියාවට සංක්‍රමණය වී දීර්ඝ කාලයක පසු හා ඔවුන් ස්වදේශීය ඉන්දියානුවන් හා සම්මිශ‍්‍රණය වූ පසු මෙය සංගෘහිත වන්නට ඇති උගත්හු විශ්වාස කරති. ඥන  කර්ම  උපාසන  යන කොටස් තුනට බෙදා ඇත. එවක පොදු ජනයා අතර පැවති යන්ත‍්‍රමන්ත‍්‍ර රාශියක් ද  මායාකාරී වශීකරණ ආදිය ද, ලෙඩ සුව කිරීම, ගොවීන්ට ආශිංසන කිරිම, විවාහ ආදිය පිළිබඳ ස්තෝත්‍ර ගීතිකා  ද මෙහි ඇතුළත් නිසා පොදු ජන විශ්වාසයන් පිළිබඳව ද මේ ඇසරෙන් තොරතුරු ගවේෂණය කළ හැක. මේවා සියල්ල ඍෂි භාෂිතයන් නොවේ . වෛදික රජවරුන් පත් කිරීම පිළිබඳ තොරතුරු ද, සංග්‍රාම වල දී රජවරුන්ට ජය ගෙන දෙන ආකාරයේ හා සේනා දිරිගන්වන ආකාරයේ යන්ත‍්‍ර මන්ත‍්‍ර ආදිය ඇතුළත් වන නිසා මෙහි ඓතිහාසික අගයක් ද ඇත්තේය. මීට අමතරව මෙහි විවිධ බ්‍රාහ්මණ පවුල් ගැන ද තොරතුරු ඇතුළත් වේ. ආර්යන් උතුරු ඉන්දියාවේ නැගෙනහිර දෙසට විහිදී ගිය ආකාරයත්, ඍග්වේද සමාජයේ පැවති බහුදේවවාදය සර්වේශ්වරවාදය දක්වා වෙනස් වූ ආකාරයත් මෙහි සඳහන් වේ.  මගධය පිළිබඳව පළමුව සඳහන් වන්නේ ද අථර්වන් වේදයේ ය. ඍග් වේදයේ නොදැක්වෙන අංග නම් කොටසක් පිළිබඳව ද අථර්වන් වේදයේ සඳහන් වේ. මොවුන් සෝන් හා ගංගා නදී තීර වල පදිංචිව සිටියහ.