අජාතශතෘ (අජාසත්ත)

ක්‍රි. පූ. 490-458පමණ, එනම් බුදුන් වහන්සේට සමකාලීනව ඉන්දියාව පාලනය කළ බිම්බිසාර රජු ගේ හා කොසොල් රජු ගේ සොයුරිය වූ කෝසල දේවිය ගේ පුත්‍රයා ය. මොහුට කුණීක යනුවෙන් අප්‍රකට නමක් ද විය. පුරාණ ග්‍රන්ථ අනුව මොහු ශිශුනාග පරපුරට අයත්ය. එහෙත් බෞද්ධ ග්‍රන්ථ අනුව මොහු හර්යංක වංශිකයෙකි. අශ්වඝෝෂයන්ගේ බුද්ධචරිතයේ ද මහාවංසයේ ද සඳහන් වන්නේ මොහු හර්යංක වංශිකයෙකු බවයි. පීතෘඝාතකයෙකු ලෙස බෞද්ධ සාහිත්‍යයේ මොහු පිළිබඳව සඳහන් කොට ඇත. පසු කාලීනව බුදු සමයේ අනුග්‍රහකයෙකු බවට පත් වූ මෙතුමා පළමුවන ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා සියලූ පහසුකම් සම්පාදනය කළේය. මේ පිළිබඳව සමන්තපාසාදිකාවේ රසවත් විස්තරයක් සඳහන් වේ. සමන්තපාසාදිකාවට අනුව, සප්තපර්ණී ගුහාද්වාර මණ්ඩප වර්ණනාව.අජාසත් රජු විසින් විශ්වකර්ම දිව්‍යපුත්‍රයාගේ නිර්මාණයක් හා සමානව, මැනවින් බෙදන ලද භික්ති ඇති, ස්ථම්භ ඇති , පියගැටපෙළ ඇති, නා නා විධ මල්කම් ලියකම් වලින් ව්සිතුරු කළ රජභවනෙහි අසිරිය අභිභවනය කරනා ආකාරයේ පමණක් නොව දිව්‍යවිමාන ශෝභාවට අපහාස කරන්නාක් වැනි වූ ද සිරිකතගේ වාසස්ථානයක් වැනි වූ ද දෙව් මිනිසුන්ගේ ඇස් නමැති පක්‍ෂීන්ට බැසීමට සුදුසු එකම තොටක් වැනි වූ ද ලෝකයේම ඇති මනහර බව කැටිකළාක් වැනි වූ ද සියල්ලෝ දැකිය යුතු වූ ඉතා හරවත් මණ්ඩපයක් කරවා නොයෙකුත් මල්දම් එල්ලීම නිසා වෑහෙන්නා වැනි වූ මනහර වියනක් ඇත්තාවූ ද රුවනින් විසිතුරු වූ මැණික් ඔබ්බවන ලද තලයක් වැනි වූ ද නොයෙක් පුෂ්පෝපහාරයෙන් විචිත්‍ර ලෙස මැනවින් නිමවන ලද භූමි කර්මාන්ත ඇත්තා වූ ද එම මණ්ඩපය බ‍්‍රහ්ම විමානයක් සේ සමානව සැරසීය.(විපස්සි හිමි, රඹුක්වැල්ලේ, 2005 පිටු 144-145) කොසොල් රජු සිය සොයුරිය බිම්බිසාර රජුට විවාහ කොට දුන්නේ දායාදය වශයෙන් කාසි ජනපදය ද ලබා දෙමිනි. එහෙත් අජාතශතෘ බිම්බිසාර රජු මරා සිය නැගණිය වැන්ඳඹුවක බවට පත් කළ නිසාත් ඒ ශෝකයෙන් ඇය ද නොබෝ කලකින් ම කළුරිය කළ නිසාත් කොසොල් රජු කාසි ජනපදය යළි තමාට පවරා ගත්තේය. සිය මවට දායාදය වශයෙන් ලැබුණු කෘෂි ග්‍රාමය(කාසි ජනපදය) මෙලෙස යළි පවරා ගැනීම කෙරේ උරණ වූ අජාසත් රජු සිය මාමණ්ඩිය වු බිම්බිසාර රජු සමග යුද්ධයකට සැරසුණේය. එහෙත් මේ ආරවුල සමගි සම්මුතියකින් කෙළවර වූයෙන් කාසි ජනපය යළි අජාසත් රජුට ම ලැබුණි. කොසොල් රජු ගේ දියණිය වූ වජිරා කුමරිය අජාසත් රජුගේ මෙහෙසිය බවට පත් වූවාය. මුල් කාලීනව තිබු දැඩි ස්වභාවයෙන් තරමක් මිදුණු අජාසත් රජු බුදු දහමට අනුග්‍රහ දක්වන්නෙක් බවට පත් විය. ඊට අනුව අසූමහ සව්වන් වෙනුවෙන් දාගැබ් කරවා අහඅටක් මහ විහාර ද ප්‍රතිසංස්කරණය කරවූ බව සඳහන් වේ. දහසය වසක බිහිසුණු යුද්ධයකින් පසු ලිච්ඡුවි හෙවත් වජ්ජි රාජ්‍යයත්, ඊට පසු චණ්ඩපජ්‍යොත රජු විසින් පාලනය කළ අවන්ති රාජ්‍යයත් අජාතශතෘ විසින් සිය රාජ්‍යයට ඇඳා ගන්නා ලදී. මගධය උතුරු ඉන්දියාවේ ප්‍රබලතම රාජ්‍යය බවට පත් කළ අජාතශතෘ පාඨලීපුත්‍ර අගනුවර සියල් රැකවල් සහිතව ආරක්ෂා කළේය. පීතෘ ඝාතනය පිළිබඳව පසුකාලීනව ඔහු තුළ උපන් ශෝකය තුනී කර ගැනීම සඳහා ජීවක වෛද්‍යවරයාගේ උපදෙස් පිට බුදුරදුන් සොයා ගිය අජාසත් ඉන් පසු සිය ජීවිතය වෙනස් කර ගත්තේය. දෙවන ධර්මසංඝායනාවට පූර්ණ අනුග්‍රහ දක්වා බුදු සසුනේ ප්‍රබල දායකයෙකු බවට පත් විය.සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු මෙතුමා යළිත් යුද්ධයකට සැරසුණේය. ඒ සර්වඥ ධාතු හිමි කර ගැනීම සඳහා මල්ල රජදරුවන් සමග ය. එහෙත් එම යුද්ධය ද්‍රෝණ බමුණාගේ මැදහත්වීමෙන් මගහැරුණි. එහි දී සමාදානයෙන් ලබා ගන් සර්වඥ ධාතු නිධන් කොට රජගහනුවර මහා දාගැබක් බැන්දවීය.(පසු කාලයේ අශෝක රජු අසූ හාරදහසක් වෙහෙර විහාර සඳහා සර්වඥ ධාතු ලබා ගත්තේ මේ දාගැබෙනි) ජෛන මූලාශ‍්‍ර අනුව මෙතුමා මහාවීර තුමාගේ අනුගාමිකයෙකි.ජෛනයන්ට ද මිත්‍රව සර්වාගමික පක්ෂපාත බවින් යුක්තව කටයුතු කළ බව ඊට අනුව සිතාගත හැක. පීතෘ ඝාතක අජාසත් රජු අවසානයේ සිය පුත් උදායින් අතින් මරණයට පත් වූ අතර ඔහුගේ පරපුරේ බොහොමයක් රජවරු ද මෙලෙස සිය දරුවන් අතින් මරුමුවට පත් විය.