අග්‍රා

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ පිහිටි පළාතකි. වර්ග සැතපුම් 1861ක් පමණ වන මේ ප්‍රදේය මැදින් යමුනා නදිය ගලා යයි. මෙහි ප්‍රධාන නගරය ද අග්‍රා නම් වේ. එය යමුනා නදියෙහි දකුණු ඉවුරෙහි පිහිටා ඇත. අග්‍රාව ගොඩනැංවූයේ මුස්ලිම් වරුන් විසිනි. ක්‍රි. ව. 1500 දී සිකන්දාර් ලෝදි මෙහි සිය රජමාළිගය ඉදි කළ අතර 1526 දී බාබර් රජු අග්‍රාව සිය පාලනයට නතු කර ගත්තේය. එහෙත් අග්‍රාව බලකොටුවක් කර ගනිමින් උතුරු හා මධ්‍යම ඉන්දියාව පාලනය කළේ මහා නරපති අක්බාර් අධිරාජයා විසිනි. එ් කෙසේ වෙතත් අග්‍රාවේ ස්වර්ණමය යුගය වන්නේ ෂා ජහාන් මෝගල් අධිරාජයාගේ පාලන කාලයයි. අග්‍රාව ගෘහනිර්මාණ ශිල්පයට ම කැප කළ නගරයකැයි සිතෙන තරමට ම එහි මනෝ නන්දනීය නිමැවුම් ඇත්තේය. එ් අතරින් ලෝ පුරා සංචාරක සිත් අමන්දානන්දයට පත් කළ නිමැවුම වන්නේ ටාජ්මහල් නම් ධවල වර්ණ මන්දිරය යි. මෙය ලෝකයේ මහා පුදුම අතරින් ද එකකි. ප්‍රේමයේ සදාතනික සිහිවටනය සේ සැලකෙන මෙය ෂා ජහාන් රජු විසින් සිය මුම්ටාස් දේවී නම් බිසව වෙනුවෙන් ඉදි කළ සොහොන් ගෙයකි. (මේ පිළිබඳ වැඩි විසිතර ටාජ්මහල පිළිබඳ විස්තරයේ ඇතුලත් කරමු.) මීට අමතරව ෂා ජහාන් රජු විසින් ම කරවූ මෝතිමස්ජිද්(මුතු පල්ලිය) -ජමාමස්ජිද් -දිවානි ආම් නම් මගුල්මඩුව -දිවානිඛාස් -ඛාස්මහල් -මුසාමන් බර්ජ් -යමුනාවෙන් එතෙර ඇති (නූර්ජහාන් බිසවගේ පියාගේ) සිහිවටන ගොඩනැගිල්ල -නගරයෙන් තරමක් ඈතට වන්නට සිකන්දරාහි පිහිටා ඇති මහා අක්බාර් සිහිවටනය ද අතිශය වැදගත් නිර්මාණ වේ. මෝගල් ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ හදාරන්නෙකුට මේ පිළිබඳ දැනුම අතිශය වැදගත් වනු ඇත .