අක්බර් නාම/ අක්බර් නාමා

ඉන්දියාවේ මූගල්වරුන්ගේ යටගියාව පිළිබඳ තොරතුරු සඳහන් වන මූලාශ‍්‍රයකි. අක්බර් අධිරාජයාගේ නියමය පරිදි අබුල් ෆස්ල්(1551  -1602) විසින් රචනා කරන ලද්දකි. සිය පාලන සමයේ උත්කර්ෂවත් සිද්ධි, ජයග්‍රහණ හා අධිරාජයාගේ ආධිපත්‍යය පිළිබඳව තොරතුරු ඇතුළත් කොට කෘතියක් කරන ලෙස අබුල් ෆස්ල් ලැබූ නියෝගය ඔහු ඉතා විශිෂ්ට ලෙස ඉටු කළේය. දේශපාලනඥයෙක්, තානාපතියෙක් හා සෙන්පතියෙක් ද වූ අබුල් ෆස්ල් අක්බර්ගේ මිත්‍ර රාජ්‍ය සේවකයෙක් ද විය. ඔහුගේ දිනවකවානු සටහන් කිරීම් පිළිබඳව ඉතිහාසඥයෝ සෑහීමකට පත්වෙති. ඒවා නිවැරදි යැයි පිළිගනිති. පැරණි ලියවිලි රැසක් කියවා, රාජ්‍ය සේවකයන්ගේ හා රජු ඇසුරු කළවුන්ගෙන් තොරතුරු ලබාගෙන, අක්බර් රජු විසින් ම පිහිටවූ රාජ්‍ය ලේඛනාගාරයේ සහය ලබාගනිමින් ඔහු විසින් කළ මේ උසස් කෘතිය මූගල් ඉතිහාසයේ ගරුකටයුතු කෘතියකි.