අංගුලිමාල චෛත්‍යය

පුරාවිද්‍යාත්මකව නිශ්චිත වශයෙන් හඳුනාගෙන නැතත් මේ නමින් හැඳින්වෙන්නේ බුද්ධ කාලීන ඉන්දියාවේ සිටි අංගුලිමාල නම් දාමරික බමුණු පුත්‍රයා බුදුරදුන් වෙත පැහැද මහණව රහත් බවට පත් වූ තැන හෝ පිරිණිවන් පා වදාළ තැන ඉදි කළ ස්ථූපය යි. ඉහත ස්ථාන දෙකෙහි ම චෛත්‍ය තිබූ බැව් ෆාහියන් හිමි සඳහන් කර ඇත. අංගුලිමාල මිථ්‍යාමතය අත්හළ තැන චෛත්‍යයක් ඉදි කොට තිබුණේ යැයි හ්‍යුං සියෑං හිමි පවසයි. කෙසේ නමුදු මේ කිසිවක් නිවැරදිව හඳුනාගෙන නොමැත. ඉන්දියාවේ පුරාවිදු පර්යේෂණ කළ ඇලෙක්සැන්දර් කනිංහැම් මහතාත් ආචාර්ය හෝයි මහතාත් මේ පිළිබඳව මත දෙකක සිටිය හ.